Colombo Today Local News

සහරාන්ගේ සැලසුම වී ඇත්තේ 2020 නිදහස් දිනයේදී ප්‍රහාර එල්ල කිරීමටයි.

පාස්කු දින ප‍්‍රහාරය එල්ල කළ අන්තවාදී ආගමික ත‍්‍රස්ත කල්ලිය එම ප‍්‍රහාරය එල්ල කිරීමට සැලසුම් කර ඇත්තේ 2020 වසරේ ජාතික නිදහස් දින උත්සවයට බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුව මෙතෙක් කරන ලද විමර්ශනවලදී හෙළිකර ගෙන ඇත.

ප‍්‍රහාරය එල්ල කිරීම සඳහා මරාගෙන මැරෙන කණ්ඩායමක් සහ ආයුධ පුහුණුව ලැබූ කණ්ඩායමක් වශයෙන් කණ්ඩායම් දෙකක් සූදානම් කිරීමටත් නිදහස් දින උත්සවයට ප‍්‍රහාර එල්ල කරන ගමන් විදේශිකයන් රැඳී සිටින සුඛෝපභෝගී හෝටල්වලට ප‍්‍රහාරයක් එල්ල කිරීමට සැලසුම් කර ඇති බවත් හෙළි වී තිබේ.

2020 ට පෙර පාස්කු දින ප‍්‍රහාරය එල්ල කර ඇත්තේ බුදු පිළිම කැඞීම ඇතුළු සිද්ධීන් කිහිපයක් සම්බන්ධයෙන් පොලිසිය විමර්ශන ආරම්භ කිරීමත්, සමග සහරාන් සම්බන්ධයෙන් ද තොරතුරු හෙළිකර ගැනීම නිසා බව ද පැවසේ. ත‍්‍රස්ත කණ්ඩායමක නායකයා ප‍්‍රථමයෙන් මියයෑම සිදුනොවන නමුත් සහරාන් විසින් නායකත්වය දී කණ්ඩායමේ අනෙක් සාමාජිකයන්ට ආදර්ශයක් පෙන්නුම් කරමින් මියයන බවට පවසා බෝම්බ පුපුරුවා ගෙන ඇතැයි ද හෙළිකර ගෙන ඇත.

පාස්කු ප‍්‍රහාරය සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන සිටින සැකකරුවකුට චෝදනා දහයකට වඩා ගොනුකළ හැකි බව අපරාධ පරීක්‍ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙක් ‘දිවයින’ පුවත්පතට පවසා ඇත. එක් අයකුට එපමණ ප‍්‍රමාණයක් චෝදනා ගොනු වන්නේ පාස්කු ප‍්‍රහාරයෙන් මියගිය සහ තුවාල ලැබූ 800 කට අධික පිරිසකට අදාළව හා බුදු පිළිම කැඞීම, වනාතවිල්ලූව අවි අත්අඩංගුවට ගැනීම, වවුනතිව් පොලිස් නිලධාරීන් දෙදෙනකු ඝාතනය කර අවි පැහැර ගැනීම, කබීර් හෂීම් ඇමැතිවරයාගේ රියැදුරු නස්මින්ට වෙඩි තැබීම, තහනම් සංවිධානයක සාමාජිකයන් වීම ඇතුළු අපරාධ රැුසක් සම්බන්ධයෙන් බව ද හෙතෙම කීය. මෙම චෝදනා ගොනු කිරීම අත්අඩංගුවේ පසුවන බොහෝ පිරිසකට සිදුවනු ඇතැයි ඔහු කීය.

සහරාන් ඇතුළු කල්ලිය ත‍්‍රීමා ඇප් එක භාවිත කරමින් සම්බන්ධතා පැවැත්වීම නිසා ඔවුන් සිටින ස්ථාන පිළිබඳ තොරතුරු සොයා ගැනීම ප‍්‍රමාද වූ බවත්, සහරාන් අයි.එස්.අයි.එස්. සංවිධානය සමඟ සබඳතා පවත්වා නැති බවත් හෙළිකර ගෙන ඇත. සිරියාවේදී අයි.එස්.අයි.එස්. සාමාජිකයන් සමග මියගිය පිරිස අතර සිටි ශ‍්‍රී ලාංකික පුරවැසියකු වූ නිලාම් නමැති පුද්ගලයා සහරාන් ත‍්‍රස්ත කණ්ඩායම සමග සබඳතා පවත්වා නැති බවත් නිලාම් මියයෑමෙන් පසු සහරාන් නිලාම්ගේ පවුලේ අය සමග අන්තර් ජාලය හරහා සබඳතා ගොඩනගාගෙන සිට ඇති බවත් හෙළිකර ගෙන ඇත. සහරාන් දැඩි ආගම් මතවාදියකු බවත්, ඔහු අයි.එස්.අයි.එස්. ක‍්‍රියාකාරකම් අන්තර්ජාලය හරහා ලබාගෙන පුහුණු පංති පවත්වා ගෙන ගොස් ඇති බවත් හෙළි කරගෙන ඇත.

සහරාන් දැඩි ආගම්වාදියකු වුවත් ඔහු මෙහෙයවා ඇත්තේ දැනට අත්අඩංගුවේ පසුවන නවුෆර් නමැති මවුලවිවරයා බව ද හෙළිකර ගෙන ඇත. බුදු පිළිමවලට හානි කළ ජමාතේ ඉස්ලාම් සංවිධානයත් සහරාන් නායකත්වය දැරූ ජාතික තවුහිද් ජමාත් සංවිධානයත් ඒකාබද්ධ වී ඇත්තේ අලූත්ගම හා දිගන සිද්ධිවලින් පසුව බව ද හෙළි වී තිබේ.

මේ වන වන විට පාස්කු ප‍්‍රහාරයට සම්බන්ධ ප‍්‍රධාන සැකකරුවන් අත්අඩංගුවට ගෙන සිටින අතර, මෙහි ආභාෂය ලැබූ තවත් අය ඇතැයි සැකකරන පොලිසිය ඔවුන් අත්අඩංගුවට ගැනීමට වැඩිදුර විමර්ශන සිදුකරයි.

Related posts

ඉදිරි සංවර්ධන සැලසුම් සහ ප්‍රතිපත්ති ගැන ලෝක බැංකු නියෝජිතයන් සමග සාකච්ඡාවක්

Admin

සන්ධාන මන්ත්‍රීන් දෙදෙනෙක් විපක්ෂයට….

colombotoday

මහාචාර්ය චන්න ජයසුමනගේ කතාව විකුර්තියක් – ගෝඨාගේ මාධ්‍ය ප්‍රකාශකගෙන් සහ මහාචාර්යවරයාගෙන් සටහන්

colombotoday

19 සංශෝධනය යටතේ අගමැති ඉවත්කළ නොහැකියි

colombotoday

මහ බැංකු වාර්තාව ඛේදවාචකයක්. රුපියල අවප්‍රමාණයෙන් ණය බර කෝටි 83,600කින් වැඩි වෙලා

colombotoday

NSBM වලටත් වෛද්‍ය පීඨයක්

Admin