Colombo Today Local News

එජාප ලොක්කන්ට එරෙහිව සපුපෙළ හිටගනී… මලික්ගේ වැය ශීර්ෂයට එජාප 18කගේ ඡන්දය නෑ…

ආණ්ඩුවේ අමාත්‍යවරුන්ගේ වැරැදි තිබෙනවා නම් ඊට එරෙහි වෙමින් ආණ්ඩුව යහමඟට ගැනීම වෙනුවෙන් එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් ගෙන යන අරගලය සමඟ මේ වනවිට එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනකු ඒකමතිකව පෙළගැසී සිටින බව එම පක්ෂයේ රත්නපුර දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රි හේෂා විතානගේ මහතා ප්‍රකාශ කළේය.

ආණ්ඩුව යහමඟට ගැනීමේ අරගලය නොනවත්වා ඉදිරියට ගෙන යෑමට 01 වැනිදා රාත්‍රි කොළඹට රැස් වූ එම පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් 18 දෙනාම ඒකමතිකව තීරණය කළ බවද හේෂා විතානගේ මහතා පෙන්වා දෙයි.

ඉදිරි අය _ වැයේදී සංවර්ධන උපායමාර්ග, ජාත්‍යන්තර වෙළෙඳ සහ විද්‍යා තාක්ෂණ හා පර්යේෂණ අමාත්‍ය මලික් සමරවික්‍රම මහතාගේ වැය ශීර්ෂයේදී මෙම මන්ත්‍රිවරුන් 18 දෙනාම ඡන්දය දීමෙන් වැළැකී සිටින බවද හේෂා විතානගේ මහතා සඳහන් කළේය. මෙම 18 කණ්ඩායමට එක්වීම සඳහා තවත් පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන් සාකච්ඡා කරමින් සිටින බවද විතානගේ මහතා සඳහන් කරයි.

මලික් සමරවික්‍රම අමාත්‍යවරයාට අමතරව තවත් කැබිනට් අමාත්‍යවරුන් කිහිපදෙනකුගේම ක්‍රියාකලාපයන් පිළිබඳව තම කණ්ඩායම දැඩි ලෙස අධ්‍යයනය කරමින් සිටින බවද පෙන්වා දුන් විතානගේ මන්ත්‍රිවරයා තවත් ප්‍රබල කැබිනට් අමාත්‍යවරයකු රැකියා ලබාදීම සම්බන්ධයෙන් ගෙනගිය වැඩපිළිවෙළ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ගේ දැඩි දෝෂ දර්ශනයට ලක්වී තිබෙන බවද කීවේය.

මෙම කැබිනට් අමාත්‍යවරයා විසින් පසුගිය අවුරුදු තුනහමාර තුළ එම අමාත්‍යාංශය යටතේ රැකියා අවස්ථා 3500ක් ලබාදී ඇතත් එම වසර තුනහමාරටම එක් පාර්ලිමේන්තු මන්ත්‍රිවරයකු වෙනුවෙන් ලබාදී තිබෙන්නේ රැකියා අවස්ථා 2ක් පමණක් බවත් මෙය පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රිවරුන්ට සිදුකළ බරපතළ අසාධාරණයක් බවත් විතානගේ මහතා පෙන්වා දෙයි.

මෙම කාරණය පිළිබඳව පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම අදාළ කැබිනට් අමාත්‍යවරයාගෙන් විමසීමටත් ආණ්ඩු පක්ෂ මන්ත්‍රි කණ්ඩායම් රැස්වීමේදී ප්‍රශ්න කිරීමටත් සූදානමින් සිටින බවද ඔහු සඳහන් කරයි.

එක්සත් ජාතික පක්ෂයේ පසුපෙළ පාර්ලිමේන්තු මන්ත්‍රි කණ්ඩායම මෙම සටන ගෙනයන්නේ ජනාධිපති මෛත්‍රිපාල සිරිසේන මහතාට හෝ හිටපු ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාට හෝ දේශපාලන වාසි ලබාදීමට නොවන බවත් එක්සත් ජාතික පෙරමුණ ආණ්ඩුව නිසි මඟට ගැනීම වෙනුවෙන් මෙම අරගලය සිදුකරන බවත් හේෂා විතානගේ මහතා අවධාරණය කළේය.

– mawbima

Related posts

ඡන්ද පොලට ජංගම දුරකථන රැගෙන ඒම තහනම් – පොලිස් මාධ්‍ය ප්‍රකාශක

colombotoday

මෙරට ජනගහනයෙන් 23.4% දුම්බොන්නන්.. එයින් 3%ක් පාසල් සිසුන් !

colombotoday

කැලණියේදී අන්තරේට ප්‍රහාරයක්

colombotoday

මම ක්‍රිකට් ඇමති නොවේ.. සියලුම ක්‍රීඩා කටයුතු ගැන සොයා බලනවා – නව ක්‍රීඩා ඇමති නාමල් කියයි

colombotoday

ඉන්දීය නාවික හමුදා සබ්මැරීනයක් කොළඹ වරායට

Admin

හමුදාව යටතේ ඇති ඉඩම් නිදහස් කරනවා, යුධ අපරාධකරුවන්ට අනිවාර්යෙන්ම දඩුවම් දෙනවා ! – රවුෆ් හකීම් තමිල්ණාඩුවේදී කියයි

colombotoday