Colombo Today Local News

ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන්. ඇසින් දුටු සාක්ෂි මෙන්න

“ගෝඨාභයගේ ඇමෙරිකානු පුරවැසිභාවය අවසන්.” බව පාර්ලිමේන්තු මන්ත්‍රී උදය ගම්මන්පිල මහතා පවසනවා. මාධ්‍ය වෙත ප්‍රකාශයක් ලබා දෙමින් වැඩිදුරටත් ඒ මහතා සඳහන් කර සිටියේ…..

ආණ්ඩුවේ පච මෝලේ පෙරේදා පත්තරේක ප්‍රධාන සිරස්තලය තමයි ඇමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරපු මෑතකාලීන වාර්තාවේ ඇමරිකානු පුරවැසිකම  අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛණයේ ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නම සඳහන් වන්නේ නැහැයි කියන එක. නමුත් නම සඳහන් නොවීම පුදුමයට හේතුවක් නොවෙයි. නම තිබුණ නම් තමයි පුදුමේ. ගෝඨාභය රාජපක්ෂ මහත්තයා අමෙරිකානු පුරවැසිකම අත් හැරීම සම්බන්ධයෙන් වන අවසාන ලේඛනය එතුමාට රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් එවන්නේ පසුගිය 2019 මැයි මාසයේ. රාජ්‍ය දෙපාර්තමේන්තුව පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ නාම ලේඛනය ඉදිරිපත් කරන්නේ 2019 මාර්තු මාසයේ 31 වන දින දක්වායි. 2019 මැයි මාසයේ පුරවැසිකම අත්හල ගෝඨාභය රාජපක්ෂ මහතාගේ නාම මාර්තු 31 වන දා ට කලින් පුරවැසිකම අත්හළ පුද්ගලයන්ගේ නාමලේඛනයේ තියෙන්නෙ කොහොමද ?  එහෙම තිබ්බනම් තමයි පුදුමය. ඒක නොතිබීම සම්බන්ධයෙන් අපි පොඩ්ඩක්වත් පුදුම වෙන්නේ නැහැ.

ජුනි මස 30 වන දා වන විට පුරවැසිකම අත්හල පුද්ගලයන්ගේ වාර්තාව ලබන මාසයේ මුල අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව නිකුත් කරනවා. අන්න ඒ වාර්තාවට ඔය වාර්තාවට දුන්න ප්‍රසිද්ධියෙම ලබාදෙන්න කියලා ආණ්ඩුවේ පච මෝලෙන් අප ඉල්ලා සිටිනවා.

ප්‍රශ්නය

ඔබතුමා විශ්වාස කරනවාද ඒ කාලය වන විට ගෝඨාභය රාජපක්ෂ මැතිතුමාගේ නම එම පුරවැසිකම අත්හළ නාමලේඛනයේ පවතීවි යැයි කියලා

පිළිතුර

අනිවාර්යෙන්ම තියෙන්න ඕනේ.  මොකද එතුමන්ගේ පුරවැසිභාවය අත්හැරීමෙ ලේඛන මම මගේ ඇස් දෙකෙන්ම දැක්කා. එහෙම දැක්කා අය ඇත්තේ අතලොස්සයි. ඒ අතලොස්ස අතරින් එක්කෙනෙක් මම. ඒ නිසා මට බය නැතුව කියන්න පුළුවන් එතුමන්ගේ පුරවැසිභාවය ඉවත් කිරීමේ ක්‍රියාවලිය 100% සම්පූර්ණයි. පුරවැසිභාවය අත්හැරිමේ අවසාන ක්‍රියාවලිය වන්නේ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුව විසින් පුරවැසිභාවය අත්හැරීමේ සහතිකය නිකුත්  කිරීමයි. එම සහතිකය මැයි මාසයේ ලැබුණා.

පසුගිය අප්‍රේල් මාසයේ 29 වෙනිදා පැවැති රූපවාහිනී වැඩසටහනකට එක්වෙමින් ගෝඨාභය රාජපක්ෂ මැතිතුමා විසින් කිව්වා පුරවැසිභාවය අත් හැරීමේ ක්‍රියාවලිය 90% අවසන් තවත් එක් ලේඛනයක් එන්නට තියනවා කියලා. එතුමා ඒ කිව්වේ අප්‍රේල් 29 වැනිදා තත්වයයි.  ඒ එන්නට තිබූ ලේඛනය පුරවැසිකම අත්හැරීම පිළිබඳ අමෙරිකානු රාජ්‍ය දෙපාර්තමේන්තුවෙන් නිකුත් කරනු ලබන සහතිකයයි. එය මැයි මාසයේ ලැබුණා. දැන් එතුමා තවදුරටත් ඇමරිකානු පුරවැසියෙක් නොවෙයි. තවදුරටත් මේ සම්බන්ධයෙන් එන්නට ලියුම් නැහැ. ලැබෙන්නට තියෙන ලියුම් ඇවිල්ලා එම කාරිය100% සම්පූර්ණ කරලා ඉවරයි.

ප්‍රශ්නය

පොදුජන පෙරමුණ සහ ශ්‍රී ලංකා නිදහස් පක්ෂය අතර සිදුවෙන සාකච්ඡා ඉක්මනින්ම අවසන් කරන්නට ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ මධ්‍යම කාරක සභාව තීරණය කළ බව සඳහන් වෙනවා. ජනාධිපති අපේක්ෂකයා තීරණය කිරීමේ කටයුතුවලට පෙර එම සාකච්ඡා අවසන් කිරීමට තීරණය කළ බවයි සඳහන් වන්නේ.  ඔබතුමා මේ දකින්නේ කොහොමද ?

පිළිතුර

සාකච්ඡා ඉක්මණින් අවසන් වීම කාටත් හොඳයි.  හැබැයි මෙතෙක්කල් ඉතිහාසය පුරාම සිදු වූ සිද්ධිය තමයි ප්‍රධාන පක්ෂ විසින් තමන්ගේ ජනාධිපති අපේක්ෂකයා නම් කරනවා. අනෙකුත් පක්ෂවලට විකල්ප කීපයක් තියෙනවා.  එකක් තමයි එම ඉදිරිපත් කරන අපේක්ෂකයෙකුට සහාය පල කරන්න කැමති නම් එසේ සහය පල කිරීම. එසේ සහාය දීමට නොහැකියාවක් තිබේ නම් තමන්ගේ අපේක්ෂකයෙක් ඉදිරිපත් කිරීම.  මේ දෙකම කළ නොහැකි නම් නිසොල්මනේ සිටීම. ශ්‍රී ලංකා නිදහස් පක්ෂය කියන්නේ 2018 පෙබරවාරි මාසයෙන් පස්සේ තවදුරටත් මේ රටේ ප්‍රධාන පක්ෂ දෙකට අයිති පක්ෂයක් නොවේ. එනිසා ඔවුන්ට මා ඉහතින් කියූ ක්‍රියාමාර්ගයක් ගන්නට සිදු වෙනවා. 

ප්‍රශ්නය

අගවිනිසුරුවරයා  මේ වන විටත් එක්සත් ජාතීන්ගේ නියෝජිත සමුළුවකට සහභාගි වී සිටින බවට පාලිමේන්තුවේ ඊයේ දින ප්‍රකාශ වුණා. ඔබතුමන් මේ පිළිබඳව මොකක්ද හිතන්නේ?

පිළිතුර

එක්සත් ජාතීන්ගේ රැස්වීමේ නිදහස පිළිබඳ විශේෂ නියෝජිතවරයා ශ්‍රී ලංකාවට පැමිණෙන අවස්ථාවේදී රතු පස්වල සිද්ධිය සහ කටුනායක සිද්ධිය පිළිබඳව නඩුව විභාග කරන මහාධිකරණ විනිසුරුවරුන්ව හමුවී සාකච්ඡා කිරීමට අවශ්‍ය බව දැනුම් දීලා. අග විනිසුරුතුමන් සහ එම නඩුවලට අදාළ විනිසුරුවරුන් හමුවීමට මේ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයාට අවස්ථාව ලබා දෙන්න යැයි අප විදේශ අමාත්‍යාංශයෙන් අධිකරණ අමාත්‍යාංශය වෙත දැනුම් දී  තියෙනවා. 

විනිෂ්චකාරවරයෙකු විසින් අසන නඩුවක් පිළිබඳව වෙනත් කිසිවකු සමග සාකච්ඡා කිරීම අපේ නීතිය අනුව ඔහුට තහනම්. අගවිනිසුරුටවත් ඒ සම්බන්ධයෙන් ප්‍රශ්න කරන්නට බැහැ. ජනාධිපතිට හෝ පාර්ලිමේන්තුවට වත් ප්‍රශ්න කරන්නට බැහැ. එහෙම නම් එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා යැයි කියන ඔය ක්ලෙමන්ට් කියන හාදයා කොහේ ඉන්දියන් ආවද ? කොහොම කෙනෙක්ද? කියන්න අපි දන්නේ නැහැ. ඒ හාදයට ඇති අයිතිය මොකක්ද ජනාධිපතිතුමන්ට පාර්ලිමේන්තුවට කරන්නට බැරි වැඩක් කරන්න. දැන් මෛත්‍රීපාල සිරිසේන මහත්තයා අයින් කරලා ක්ලේමන්ට් මේ රටේ ජනාධිපති කරල ද ? එහෙමත් නැත්නම් ක්ලෙමන්ට් මේ රටේ අගවිනිසුරු ද කියන ප්‍රශ්නය අපට අහන්නට වෙනවා.

මේ ආණ්ඩුව අධිකරණයේ ස්වාධීනත්වය විජාතිකයන්ට පාවා දී අවසන් බවට මෙය හොඳ නිදසුනක්. මීට කලිනුත් ඇමෙරිකාව විසින් අපේ අධිකරණයට සිදුකළ බලපෑම් සම්බන්ධයෙන් අප පාර්ලිමේන්තුවේදී මතු කළා. මෙම සිද්ධියෙන් නැවත වතාවක් අප රට අධිකරණය විජාතිකයන්ගේ ග්‍රහණයට හසු කිරීමේ වෑයමක ආණ්ඩුව යෙදී සිටින බව ඔප්පු කරනවා. 

ප්‍රශ්නය

මහින්ද රාජපක්ෂ මැතිතුමන් කියලා තිබ්බා එතුමන්ගේ කාලයේත් අගවිනිසුරුතුමා විදේශගතවී ඇති බව

පිළිතුර

අගවිනිසුරුතුමන්ට විදේශගත වීමට හෝ ලෝකයේ නීතිය පිළිබඳ නව ප්‍රවණතාවයන් පිළිබඳ සාකච්ඡා කරන්නට, නව තාක්ෂණය යොදා ගැනීම සම්බන්ධයෙන් සාකච්ඡා කරන්න කිසිදු ප්‍රශ්නයක් නැහැ. අපට ප්‍රශ්නය තියෙන්නේ විභාගයට බඳුන් වී ඇති නඩුවක් සම්බන්ධයෙන් නඩුව අහන විනිශ්චකාරවරයා සමඟ කතා කරන්නේ මොන රටේද? සුනිල්  නම් කියයි එංගලන්තේ එංගලන්තේ ලංකාවේ එහෙම වෙන්නේ නෑ කියලා. මෙවැනි සිද්ධියෙන් නම් තුන් ලෝකෙ කොතනකවත් සිද්ධවෙලා නෑ. 

ප්‍රශ්නය

ඔහුට මෙම අවස්ථාවට සහභාගි වෙන්න කියලා විදේශ අමාත්‍යංශයේ ලේකම්වරයා තමයි ඉල්ලීමක් කර ඇති බව සඳහන් වන්නේ. ඔහුට බලයක් තියෙනවද අගවිනිසුරුතුමන්ගෙන් මෙහෙම ඉල්ලීමක් කරන්න ?

පිළිතුර

ඇත්ත වශයෙන්ම එම ලිපියේ සඳහන් වෙන්නෙ එම විනිශ්චකාරවරුන් සහභාගි කරවන්න කියලා. වැඩ බලන විදේශ ලේකම්වරයා අධිකරණ අමාත්‍යාංශයේ ලේකම්වරයාට ලිපිය යවලා තියෙනවා. අපට තිබුණු තොරතුරු අනුව පෙරේදා සවස 3.00 ට මෙම විනිශ්චකාරවරුන් සහ එක්සත් ජාතීන්ගේ විශේෂ නියෝජිතයා අතර සාකච්ඡාවකට වෙලාවක් වෙන්කර තිබෙනවා. නමුත් කථානායකතුමන් ඊයේ දින පාර්ලිමේන්තුවේ දී සඳහන් කළ එම රැස්වීම සිදු නොවුණු බව. ඒ වගේම එවැන්නක් සිදුවීමට ඉඩ තබන්නේ නැති බව. නමුත් අප මේ පිළිබදව  පාර්ලිමේන්තුවේ මතු කළේ නැතිනම් මෙලහට සාකච්ඡා පැවතිලා නඩු තීන්දු දෙන්නේ කොහොමද කියල අහලා, මෙහෙම දුන්නොත් හොඳයි නේද කියලා තමයි ඔය සාකච්ඡා ඉවර වෙන්නේ. 

ප්‍රශ්නය

ඉදිරි ජනාධිපතිවරණයට ඉදිරිපත්වීම සම්බන්ධයෙන්  ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන්ගේ අදහස කුමක්ද ?

පිළිතුර

ගෝඨාභය රාජපක්ෂ මැතිතුමන් ස්ථිර ප්‍රතිපත්තියක ඉන්නවා.  එතුමා මීට කලින් කිව්වා මම සූදානම් ඔබ සූදානම්ද කියලා. ඒ කියන්නේ එතුමා සූදානම් වුනේ ගොඩක් කලින්.  අපි සූදානම් කියන එක නිල වශයෙන් එතුමන්ට දැනුම්දීමක් තමයි අගෝස්තු මාසයේ එකොළොස් වැනිදා සිදු කරන්නේ. 

ප්‍රශ්නය

ඒ කියන්නේ ඒක ස්ථීරයි

පිළිතුර

100% ස්ථිරයි

ප්‍රශ්නය

අර නම් පහත් කියවෙනවා කියපු එක ගැන ඔබතුමා මොකද කියන්නේ ?

පිළිතුර 

නම් පහක් යෝජනා වුණා.  ‍රජාතන්ත්‍රවාදී සමාජයක ඒක එහෙම තමයි. ඇමරිකාවේත් හිලරි ක්ලින්ටන් සහ බැරැක් ඔබාමා අතර පාක්ෂිකයන්ගේ ඡන්දයෙන් තමයි අපේක්ෂකයා තෝරා ගත්තේ.  සුළු ඡන්ද සංඛ්‍යාවකින් හිලරි ව පරාජය කරලා බැරක් ඔබාමා අපේක්ෂකයා වුනා. ඉන් පස්සේ හිලරි ඇතුළු සියලු දෙනා එකතුවෙලා ඔබාමා දිනවූවා. අපිත් එහෙම තමයි.  නම් පහක් ඉදිරිපත් වුණත් එක නමයි තෝරාගෙන තිබෙන්නේ. එයාට අන් සියලු දෙනා සහයෝගය දෙනවා. 

මෙම අවස්ථාව සඳහා දෙහිවල ගල්කිස්ස නාගරික මන්ත්‍රිනී ධර්මා කෝට්ටේගොඩ මහත්මිය සහ මොරටුව නාගරික මන්ත්‍රි කුමාර රාජරත්න යන මහත්වරුන් ද එක් විය.

Related posts

කාදිනල් තුමත් ශ්‍රී දළදා මහ මළුවට එයි… අන්තවාදයට එරෙහිව සිංහල බොදු/කිතුණු, හින්දු, සියල්ල අත්වැල් බැදගනී…

colombotoday

කෝප් කමිටුව ගිනි ගනියි – හොරු රකින්න එජාපයෙන් වෙනම වාර්තාවක්

colombotoday

මුලතිව්, කෝපාපිලව් ප්‍රදේශයෙන් හමුදාව ඉවත් වේ

colombotoday

බෝගස්වැ‍ව අහිංසකයන් වෙනුවෙන් හඩනැගූ පියනන්ද හිමිට උසාවියෙන් වරෙන්තු !

colombotoday

ජාතික ව්‍යවසාය සංවර්ධන අධිකාරියේ සභාපති අනුෂ්ක ගුණසිංහ ඉල්ලා අස්වෙයි

colombotoday

හදිසි විදුලිය මිලදී ගැනීමකට කොමිෂන් සභාවේ අවසරය

colombotoday