featuredTop StoriesUncategorized

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – පළමු කොටස

ලොක්ඩවුන් එක ඉවරවෙලා සති තුනක් ඇති. ශැංග‍්‍රිලා එක ඉස්සරහා බෝම්බයක් පිපිරුවා. ඒක සීරියස් කේස් එකක් උනේ එතනින් පටන් අරන් පැය බාගයක් ඇතුලත රට පුරාම බෝම්බ වැලක් පත්තු වුණ නිසා. මඩකලපුවේ මුස්ලිම් පල්ලි දෙකක, මීගමුවේ කතෝලික පල්ලියක සහ තරු පන්තියේ හෝටලයක, වැල්ලවත්තේ සිවනේශන් කෝවිලේ සහ බුද්ධාගමේ පූජ්‍යස්ථාන දෙකකත් ප‍්‍රසිද්ධ යුද හමුදා කඳවුරු සංකීර්ණයකත් එකවර බෝම්බ පිපිරුණේ මිනිසුන් දෙතුන්දාහක් මරාගෙන. සුළු වෙලාවකින් රටම භීතියෙන් ඇලලී ගිය අතර ජාත්‍යන්තර මාධ්‍ය වල පවා නිව්ස් හෙඩ්ලයින් පිරුණේ ශ‍්‍රී ලංකාව පිළිබඳ පුවත් වලින්.

සිද්ධිය වුණ සැනෙකින් ජාතික මාධ්‍යයේ බ්‍රේකින් නිවුස් එකක් ගියා රටපුරා ඇඳිරි නීතිය පනවමින්. ඒ එක්කම ලොක්ඩවුන් මුල් කාලේ වගේ රටපුරා හදිසි තත්වයකුත් ප‍්‍රකාශ වුණා. අර්චනා ඒක දැනගත්තේ නිවුස් ඇලට් එකකින්. එතකොට එයා හිටියෙ ෆැකල්ටි කැන්ටින් එකේ තේකක් තොලගගා, ලොග් වෙන්නෙ නැති ෆේස්බුක් එකට බැන බැන. අරුන්දතී නිව්ස් එක දැන ගත්තෙ අර්චනාගෙන්. ආරංචිය දැනගත්ත ගමන්ම අරුන්දතීගේ පපුව පත්තු වෙලා ගියා.

‘‘දෙයියනේ සසල’’

ඇයට මතක් උනේ දින ගානකින් නොදැකපු පෙම්වතාව.
ඒ වෙලාවෙ සසල වික‍්‍රමනායක හිටියෙ පක්ෂ කාර්යාලෙ. පක්ෂ කාර්යාලෙට ගිණි අරන් තිබුණ. නායකතුමා කට්ටිය සන්සුන් කරන්න උත්සාහ කරන අතරෙ පක්ෂ සාමාජිකයො ටික පිස්සො වගේ කෑ ගහමින් හිටිය.

‘‘උන් පතිනායකව අරන්’’

පාසල් සහ විශ්ව විද්‍යාල දින නියමයක් නැතිව වසා දැමෙන බවට නිවේදනය වුණා. හදිස්සියෙ අතට අහුවුණ ලට්ට ලොට්ට ටිකත් අරගෙන, ගෙදර එන බව දැනුම් දීල තාත්තටත් කෝල් එකක් දීපු අර්චනා ඌබර් එකක් දාගෙන ගෙදර යන්න ලෑස්ති වුණේ අරුන්දතිත් එක්ක. අරුන්දතීට ඒ වෙලාවේ යන්න එන්න තැනක් තිබුණෙ නෑ. ඒ නිසා අර්චනා යෝජනා කරා අරුන්දතීට තමන් එක්ක ගෙදර යමුයි කියල. ඉස්සරත් නිවාඩු දවස් වලට එසයින්මන්ට් කරන්න අර්චනාගෙ ගෙදර ගිහින් අරුන්දතීට පුරුදුයි.

වාහනේ යන අතරේ අර්චනා දිගින් දිගටම නිවුස් ඇලට් බැලුව. ෆේස්බුක්, වට්ස්ඇප් වගේ සෝශල් මීඩියා සේරම වගේම ගොඩක් නිවුස් සයිට් බ්ලොක් කරල ඒ වෙනකොට. දෙයක් දැනගන්න ලැබුණේ එහෙන් මෙහෙන් නිවුස් ඇප් එකකින් විතරයි. ඒ අතරේ තිබුණ එක ප‍්‍රවෘත්තියක් දැකල අර්චනාගෙ කට ඇරුණ.

……………………………………..

බෝම්බෙ පිපිරුණේ හරියටම හතයි පනස් පහට. මිනිස්සු ගොඩක් රස්සාවල් වලට යන වෙලාව. බෝම්බෙ පිපිරෙන්න විනාඩි විස්සකට කලින් කමාන්ඩෝ එකෙන් පාර ක්ලියර් කරගෙන ගියා. කලින් දවසෙ ශැංග‍්‍රිලා එකේ කන්ෆරන්ස් එකකට ගිය ජනාධිපති ජාවත්තෙ නිල නිවාසෙ ඉඳන් ජනාධිපති මන්දිරේට යන වෙලාව. හැබැයි ඒ වෙලාවෙම හිතාගන්න බැරි විදිහට පාරවල් ට‍්‍රැෆික් උනා. දැන් ඉස්සර වගේ ජනාධිපතිට උනත් පාරවල් බ්ලොක් කරගෙන යන්න බෑ. මිනිස්සු ඩිමොක‍්‍රසි ඉල්ලල කෑ ගහනව. කොහොම උනත් බෝම්බෙ එතනට ගෙනාපු විදිහවත්, බෝම්බෙ ගෙනාපු කෙනෙක් ගැනවත් කිසිම දෙයක් සීසීටීවී වලින්වත් හොයා ගන්න බැරි උනා. ඒක එහෙම පිටින්ම අබිරහසක්.

……………………..

ඊට හරියටම පැයකට කලින්, ඒ කියන්නෙ හයයි පනස් පහ වෙනකොට ජනාධිපතිතුමා හිටියෙ ජාවත්ත ෆ්ලැට් වල, නිල නිවාසෙ. පිටත් වෙන්න තිබුණෙ හරියටම හතයි පහට. හැමදේම හරිද කියල බලල කණ්නාඩියෙන් මූණ දිහා බලපු ජනාධිපතිතුමා පෞද්ගලික පිස්තෝලේ ලෝඩ් කරල සේෆ්ටි ලොක් එක දාගෙන ඉනේ ගහ ගත්තෙ ජාතික ඇඳුම ඇඳ ගන්න ගමන්. අද දවසේ කරන්න තියෙන වික‍්‍රමාන්විත ක‍්‍රියාදාමය ගැන හිතෙනකොට ඔහුගෙ ඇඟේ මයිල් කෙළින් වුණා. පහල කෝට් යාඞ් එකේ ඔහුගෙ නිල රථ පෙළ නවත්වල තිබුණ. ජනාධිපතිතුමා නැග්ගෙ සෙඩෑන් එකට. ප‍්‍රියස් දෙකයි, බීඑම් එකයි. ඩිෆෙන්ඩර් දෙක ඉස්සරහින් ජේඩ් බයික් හතරක ස්පෙෂල් ෆෝසස්ල හිටියෙ ලයිට් යුනිෆෝම් එකෙන් සැරසිලා. හොන්ඩා සීබීආර් දෙකකුයි ෆියට් එකකුයි රතු පාට ඇක්වා එකකුයි කලම්බු ජුවලරි ස්ටෝර් හරියෙදි, ලිබර්ටි එක ගාවදි සහ ගෝල් ෆේස් එක හරියෙ ට‍්‍රැෆික් එකේදි ජනපතිතුමාව ගාඩ් කරේ සිවිල් වාහන විදිහට. ඒවගෙ පාට, නිශ්පාදිත වර්ශය සහ ලියාපදිංචි අංකය දවසින් දවස වෙනස් වුණා. සමහර වෙලාවල් වල මගදි වාහන පේලියට එකතු වෙන රජයේ දෙපාර්තමේන්තුවක හයි රූෆ් කේඩීඑච් එක පිරිල හිටියෙ කොමාන්ඩෝ සෙබලූන්ගෙන්. ගාලූ පාරෙ උදේ හවස යන කිසිම කෙනෙක් දැනගෙන හිටියෙ නෑ මේ යන්නෙ ජනාධිපතිතුමා බව. ගොඩක් අය හිතුවෙ රජයේ ප‍්‍රබල ඇමති කෙනෙක් තමයි මේ යන්නෙ කියල. ඒත් ජනාධිපතිතුමා කැම්පස් එක ළඟ වට රවුම හැරිල යද්දිත්, ආර් ඒ ද මෙල් පාරෙදිත්, ගෝල් රෝඩ් එකේදිත් වාහනේ අඩ අඳුරු වීදුරු අතරින් තමන්ගෙ ජනතාව දිහා බලාගෙනයි ගියේ. පාරවල් බ්ලොක් කරගෙන මහා ආරක්ෂාවක් දාගෙන මිනිස්සුන්ට කරදර දිදී යන ගමනට වඩා මේ රහසිගත ගමනෙන් ඔහු අපූරු වින්දනයක් ලැබුව.

……………………………………….

‘‘හ්….’’

අර්චනාගෙ හුස්ම ගිලුණ.

‘‘ඇයි?’’

අරුන්දතී ඇහුවෙ අර්චනාගෙ මූණට එබෙන ගමන්.

‘‘ප‍්‍රසිඩන්ට්ට බෝම්බ තියල’’

‘‘වට්’’

‘‘අනේ අචී සසල’’

අරුන්දතී හඬා වැටෙන්නට වුණා.

‘‘එයාල පහුගිය දවස් වල ලොකු දේකට ලෑස්ති වෙනව කියල මට දැනි දැනී තිබුණෙ. මං ඇහුවට කිසිම දෙයක් කිවුවෙ නෑ. මට බයයි අචී’’

යුවතියට තම මිතුරිය වෙනුවෙන් කියන්නට දෙයක් සිතාගන්නට බැරි වුණා. ඇය මිතුරියගේ හිස තම උරහිසෙහි හොවාගෙන අතගාන්නට වුණේ ඇගේ සිතට සැනසීමක් එක් කරන අටියෙන්.

…………………………….

ඇමතුම් ලැබී සුළු වේලාවක් ඇතුළත පක්‍ෂයේ දේශපාලන මණ්ඩලය රැස්වුණා. වට මේසයේ එක් පුටුවක් හිස්ව තිබුණු අතර ඒ පුටුවේ වෙනදා අසුන් ගෙන සිටින ආනන්ද පතිනායක සහෝදරයාට අත් වී ඇති ඉරණම පිළිබඳ තර්ක විතර්ක පිරිස අතරේ පැන නැගෙමින් තිබුණා. නායකතුමා සිටියේ තම සුදු පැහැති යටි රැවුල අත ගාමින් කෑ කෝ ගසන සහෝදරවරුන් දෙස බලා සිටිමින්. ඔහු ඉවසිල්ලෙන් සිටියේ තම දේශපාලන මණ්ඩල සභිකයින් නිෂ්ශබ්ද වන තෙක්. ඔවුන්ගේ ගාලගෝට්ටිය මදක් අඩු වූ පහු ඔහු සිය ගැඹුරු කටහඬ අවදි කළා.

‘‘සහෝදරවරු ඔක්කොම නිෂ්ශබ්ද වෙමුකො. අපි නිෂ්ශබ්ද වෙලා මේ පවතින තත්වය ගැන සාකච්ඡුා කරොත් හොඳයි නේද?’’

හඳවල් එක්වරම නතර නොවූ නමුත් කෙමෙන් කෙමෙන් එකිනෙකාගේ මිමිණිලි නෑසෙන්නට වුණා. එයින් දිරිමත් වූ නායකතුමා දිගටම කතා කරන්නට වුණා.

‘‘සහොදරවරු, අපි කෑ කෝ ගහ ගන්න එක නෙමෙයි කරන්න ඕනෙ මේ වෙලාවෙ. අපි පියවරක් ගම්මු. කෝ, තාම වෙරිෆයි කරල නෑනෙ කිසි දෙයක්. මං හිතන්නෙ සහෝදරවරු බොරුවට කලබල වෙලා’’

‘‘එහෙනන් කෝ පතිනායක සහෝදරය’’

ආනන්ද අත්තනායක ඇසුවේ වට මේසයේ හිස් වී ඇති පුටුව දෙස අත දික් කරමින්.

‘‘මේ මේ, පතිනායක සහෝදරය….’’

නායකතුමා ගොත ගසන්නට වුණා.

‘‘පතිනායක සහෝදරයව මං යැවුව පක්ෂෙ දේශපාලන වැඩකට කරතොට. මං හිතන්නෙ සහෝදරයට වෙලාවට එහෙන් පිටත් වෙන්න බැරි උනා. මට විශ්වාසයි පතිනායක සහෝදරය කිසිම කරදරයක් නැතුව ආපහු එන බවට. මේක වැරදි ආරංචියක්’’

‘‘ඒක වෙන්න බෑ’’

ආනන්ද අත්තනායක නැවතද කියා සිටින්නට වුණා.

‘‘මගෙ කොල්ලෙක් ඉන්නව, නේවි කමාන්ඩර් ගාව. මිනිහ සහතික කරලම කියනව පතිනායක සහෝදරයව ඊයෙ හාබර් බේස් එකට ගෙනාව කියල. වන් ෆෝ සී ටූ එකේ දාගෙන පතිනායක සහෝදරයට වධ දීල තියෙනව. ඒ වෙලාවෙ බ්‍රිගේඩියර් රවිප‍්‍රිය ස්කොඞ්ඩ් එකක් එක්ක ඇවිත් පතිනායක සහෝදරයව අරං ගිහින් තියෙනව. මේක වෙරිෆයි කරපු නිවුස් එකක් නායක තුමා’’

‘‘මොනව?’’

නායකතුමා නැවතත් නිකට අතගාන්නට වුණා. ඔහුගේ කොඳු ඇට පෙළ දිගේ සීතල විදුලියක් ගලා ගියා.

‘‘සමහර විට කොල්ලට වැරැද්දක් උනා වෙන්න පුලූවන්’’

ඔහු පැවසුවේ තම කැළඹුණු මුහුණ අන්‍යයන්ගෙන් වසන් කර ගනිමින්.

‘‘නෑ… කිසිම වැරදීමක් නෑ නායක සහෝදරය. අපිට තියෙන ප‍්‍රශ්නේ, එහෙම කොහොමද පිළිගත්තු පක්ෂෙක සාමාජිකයෙක් අත්අඩංගුවට ගන්නෙ. අරන් වද දිදී හංගගෙන ඉන්නෙ. මොකද්ද එතැන තියෙන ප‍්‍රජාතන්ත‍්‍රවාදෙ?’’

ආනන්ද අත්තනායක අසා සිටියේ වේගී උස් ස්වරයෙන්. නායකතුමා රැවුල අත ගෑවා.

‘‘මේ රටේ ප‍්‍රජාතන්ත‍්‍රවාදෙ ගැන අපිට පහුගිය අවුරුදු තිහ හතළිහ පුරාම අත්දැකීම් තියෙනවනෙ සහෝදරවරු. අපි දැන් කල්පනා කරල බලන්න ඕනෙ අපි මොකද්ද කරන්නෙ කියන කාරණේ ගැන’’

මේ අවස්ථාවේ නායකතුමා අතැති නවීන පන්නනේයේ ජංගම දුරකථනය හැඬවුණේ ඔහුගේ කතාවට බාධා කරමින්. ඇමතුම සම්බන්ධ කරමින් එය කණෙහි තබාගත් නායක තුමා අනෙක් පසින් ඇසෙන කටහඬ වෙත සවන් යොමු කළ අතර ඔහුගේ මුහුණ වෙනස් වන්නට ගත වුණේ සුළු වේලාවයි.

‘‘දෙයියෝ සාක්කි’’

ඔහු ඇමතුම විසන්ධි කරමින් කියා සිටින අතර ඔහුගේ කටහඬෙහි තැති ගත් ස්වරයක් ගැබ් වුණා.

‘‘ජනාධිපතිතුමාව මරල’’

දෙවන කොටසෙන් අනිද්දා හමුවෙමු!

Related posts

ජාතියකට විශේෂ උවමනා ඉටුකරන වෙලාවක් නෙවෙයි මේක. හිතන්න ඕනි ජිවත් වෙන අය ගැනයි. වැලලෙන්න හදන අයට අගමැතිගෙන් පිළිතුරු

colombotoday

අපට බෞද්ධ ඡන්ද නැතිවුණේ හාමුදුරුවෝ හිරේ දාපු නිසයි.. පරාජයට හේතු හරීන් අගමැති ඉදිරියේ දිගහරී

colombotoday

දේශබන්දු මාගේ නිවසේ නැත! කරුණාකර ඔබේ ඇඳ යට පරීක්ෂා කරන්න

colombotoday

ක්ලබ් වසන්ත ඝාතනයේ සැකකරුවන් අධිකරණයට රැගෙන එයි

Admin

කොවිඩ් නම් පුච්චන්න. කොවිඩ් නැත්නම් වලලන්න. | අලි සබ්‍රි ඕනෑවට වැඩි. මේ ආණ්ඩුව තනියෙන් කනවා. | ඥානසාර හිමියෝ කියති.

colombotoday

රට පෙරළූ “ආප්පය” රුපියල් 5කින් නගී… භාණ්ඩ 6කට උපරිම මිල සීමා

colombotoday