අප ත්‍රස්තවාදය පරදවා ජයග්‍රහණය ලබාගත්තේ 2009 මැයි මස 19 වන දිනදීය. ඉන්පසු සෑම වසරකම මැයි මස 19 වනදා “විජයග්‍රහණ පෙළපාළිය” පවත්වා සටනේදී මියගිය, ආබාධිත වූ සහ යුද වැද ජීවත් වන රණවිරුවන්ට උපහාර පුද කරන ලදී. මන්ද, ඔවුන් නොවන්නට රටේ ජනතාවට තවදුරටත් ජීවත් වීමේ නිදහස අහිමි වන බැවිනි. එදා ස්වාමියා සහ බිරිඳ එකට ගමන් කළේ නැත. ගමන් ගියේ වෙන වෙනමය. මන්ද, ගමන් කළ වාහනයේ බෝම්බයක් පිපුරුණොත් තම දරුවන්ට මව සහ පියා දෙදෙනාම අහිමි වන බැවිනි. පාසල් යන දරුවාගේ බෑගය පවා එදා පරීක්‍ෂාවට ලක්විය. මව්වරු සහ පියවරු මුර ක්‍රමයට තම දරුවන් රැකගැනීමට පාසල් ආරක්‍ෂා කළහ. මායිම් ගම්මානවල අහිංසක වැසියන් බුරුතු පිටින් ඝාතනය විය. ඒ භීෂණයෙන් රට මුදවා ගැනීමට රණවිරුවෝ 29,000 ක් මාතෘ භූමිය වෙනුවෙන් දිවි පිදූ අතර 14,000 ක් පමණ පූර්ණ ආබාධිත තත්ත්වයට පත්වූහ. විජයග්‍රහණ පෙළපාළිය පැවැත්වූයේ එසේ තම දිවි කැප කරමින් මරුවාට අත වනමින් ජාති භේදයකින් තොරව ලක්වාසී සමස්ත ජනතාවටම නිදහස ලබාදී රටේ සාමය ස්ථාපිත කිරීමට ලොව බිහිසුණුම ත්‍රස්තවාදය පරාජය කළ එවන් රණවිරුවන්ට උපහාර දැක්වීමටය. එය කළගුණ සැලකීමකි. වර්තමාන සාමය අතීතයේ උත්තරීතර කැපවීමක ප්‍රතිඵලයක් බව මතක් කරදීමකි. අනාගත සාමය අතීතයෙන් උගත් පාඩම් මත රඳා පවතින බවට ඉඟියකි.
කෘතවේදීත්වය අංශුමාත්‍රයක් හෝ හදවතේ තිබෙන, ශිෂ්ට සම්පන්න දේශප්‍රේමී සියල්ලන්ම එවන් විජයග්‍රාහී උපහාර උළෙලක් අගය කරති. නමුත් වර්තමාන රජය මෙවර එම විජයග්‍රහණ පෙළපාළිය පැවැත්වීම පිළිබඳව මෙතෙක් තීරණයක් ගෙන ඇති බවත්, පෙනෙන්නට නැත. (එසේ තිබේ නම් මේ වනවිට පෙරහුරුවන් පවත්වන බැවිනි.) ගියවර මෙම උත්සවය සම්බන්ධයෙන් රජයේ මැති ඇමැතිවරු ප්‍රකාශ කළේ එවන් රණවිරු උපහාර වසරක් පාසා පවත්වන විට ඉන් දෙමළ ජනතාවට චිත්ත පීඩාවන් ඇති වන නිසා එවන් උත්සව පැවැත්වීමෙන් වැළකිය යුතු බවය.
සාමාන්‍ය දෙමළ ජනතාවට නම් එවන් උත්සවවලින් කිසිදු පීඩාවක් හෝ වේදනාවක් ගෙන නොදෙන බැව් අපි දනිමු. මන්ද, තමන් ත්‍රස්ත ග්‍රහණයට මැදි වී ජීවත් වූ කාලයේ තම දරුවන් බලෙන් බඳවා ගැනීම, නොඉසිලිය හැකි බදු බර පැටවීම, පැය 02 ක් තුළ පරම්පරාගතව ජීවත් වූ නිවෙස් හැර යාමට සිදුවීම යනාදී අනේක විධ දුක් කන්දරාවන් විඳි අන්දම ඔවුන්ගේ මතකයේ රැඳී ඇති බැවිනි. එසේ නම් සිත රිදෙනවා නම් රිදෙන්නේ යුද්ධයෙන් අන්ත පරාජයට පත්වූ ත්‍රස්තයින්ගේ සහ ඒ අයට උදවු කළ දෙමළ ඩයස්පෝරාව/ බෙදුම්වාදීන්ගේ සහ ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ජාතිද්‍රෝහීන්ගේ පමණි. යුද්ධයේ විජයග්‍රහණයට වචනයකින් හෝ දායකත්වයක් නොදැක්වූ, යුද්ධය කවදාවත් දිනිය නොහැකි යැයි අනාවැකි කියූ, තවලම, සුදුනෙළුම් වැනි ව්‍යාපාරයන්ගෙන් යුද කරන සෙබළා අධෛර්යට පත් කළ වර්තමාන පාලකයෝ මෙම උපහාර උළෙල අවලංගු කරන්නේ නම් එය ස්වකීය මුළු දිවියම රට වෙනුවෙන් කැප කළ රණවිරුවා පමණක් නොව සාමය අගයන දේශප්‍රේමී සමස්ත ජනතාවම දෙමළ බෙදුම්වාදීන්ට පාවාදීමක් වනු නිසැකය.
ගිය වසරේ මෙම උත්සවයට සමගාමීව උතුරේ මහ ඇමැති විග්නේෂ්වරන් යුද්ධයේදී මියගිය ත්‍රස්තවාදීන් සැමරු අන්දම අපට මතකය. ඔහු ඒ නින්දිත ක්‍රියාව කළේ ඊට එරෙහිව නිකුත් කර තිබූ අධිකරණ නියෝගයක් ද තුට්ටුවකට මායිම් නොකරය. හිටපු ආරක්‍ෂක ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ මහතා අපරාධ විමර්ශන ඒකකයට කැඳවූ දින ඊට විරුද්ධත්වය පෑ ගරුතර මහා සංඝරත්නය ඇතුළු මැති ඇමැතිවරු රැසකට විරුද්ධව පොලිසිය නඩු පැවරුවේ තුන් දෙනකුට පමණක් අදාළව තිබූ අධිකරණ නියෝගය ඉදිරිපත් කරමිනි. එසේ කටයුතු කළ පොලිසිය අධිකරණයට පිටුපෑ විග්නේෂ්රන්ට විරුද්ධව නඩු නොපැවරීම තුළින් පෙන්වූයේ දෙමළ බෙදුම්වාදීන් කෙරෙහි රජයේ ඇති නිවට නියාලු යටහත් පහත්භාවය මිස වෙන දෙයක් නොවේ.
විජයග්‍රහණ පෙළපාළි සම්බන්ධව සැක මතු කරන පාලකයින්ට සහ එය නොපැවැත්විය යුතු යැයි මත පළ කරන “රාජ්‍ය තාන්ත්‍රික බුද්ධිමතුන්” යැයි කියා ගන්නා පිරිස්වලට කිවයුතු දෙයක් ඇත. එනම් විජයග්‍රහණ පෙළපාළි යුද්ධය ජයග්‍රහණය කළ සෑම රටක්ම මහත් වූ අභිමානයෙන් පවත්වන බවය. එසේ පවත්වන සැමරුම් උත්සවවලින් යුද්ධය පරාජය වූවන්ගේ සිත් පෑරෙනවාය යන මතය පෙරදැරි කරගෙන එදාමෙදා තුර එවන් ජයග්‍රහණ සැමරුම් පැවැත්වීම නවතා නොදමා ඇති බවයි.
දෙවන ලෝක මහා යුද්ධයේදී 1945 ජූලි 26 වැනිදා මිත්‍ර හමුදාවෝ ජපන් වැසියනට සාමකාමී රජයක් පිහිටුවීමට හැකි නම් ජපානයට වහාම යටත් වන ලෙස නියෝග කරන ලදී. ජපානය ඊට එකඟ නොවූ අතර ඇමෙරිකාව 1945 අගෝස්තු 06 වන දින හිරෝෂිමාවට පරමාණු බෝම්බය හෙළා නගරයේ වර්ග කි.මි. 05 ක් අළු දූවිලි කළහ. එම විනාශය දැක දැකත්, අගෝස්තු 09 වන දින නාගසාකී නගරයට තවත් පරමාණු බෝම්බයක් හෙළා ජපන් වැසියන් 40,000 ක් ඝාතනය කළහ. හිරෝහිතෝ ජපන් අධිරාජයා මිත්‍ර හමුදාවට යටත් වීමත් සමග දෙවන ලෝක යුද්ධය නිමාවට පත්විය. මේ සම්බන්ධයෙන් ඇමෙරිකානු ජනාධිපති හැරී ටෲමන් පැවසුවේ “අප පර්ල් වරාය සිද්ධියෙන් පසු අද වැනි දවසක් උදාවන තුරු සිටියා. දරුණු පැසිස්ට්වාදය නිමවුණේ අදයි.” යනුවෙනි. ජපන් සොල්දාදුවෝ විශාල සංඛ්‍යාවක් තම රට යටත් වීමේ පණිවිඩයත් සමග හරාකිරි (තම උදරය සියතින් කපාගෙන දිවි නසා ගැනීම) කරගනිමින් සිටියදීත් ඇමෙරිකාව යුද ජයග්‍රහණයේ ප්‍රීතිය භුක්ති විඳීම අතහැරියේ නැත. ඉන්පසු සැප්තැම්බර් 02 වන දින සමස්ත ඇමෙරිකාවටම “ජපානය ජය ගැනීමේ” දිනය වී තිබේ. ජපානය ජය ගැනීම හේතුවෙන් දකුණු කොරියාව සෑම වසරකම අගෝස්තු 15 වන දින රජයේ නිවාඩු දිනයක් බවට පත්කර ඇති බවද, චීනය ජපානය ජයගත් සිද්ධිය සෑම වසරකම සමරනුයේ සැප්තැම්බර් 03 වන දිනය. යුරෝපය ද වසරේ එක් එක් දිනයන්හි ජපානය සහ ජර්මනිය පරාජය කොට ලබාගත් ජයග්‍රහණය සමරන බැව් අපි දනිමු.
පරමාණු බෝම්බ හෙළීමෙන් වසර 70 කට පමණ වුවද ඉන් තවමත් පෙළෙන ජපානය අද ඇමෙරිකාවේ කුලුපග මිත්‍රයෙකි. ඇමෙරිකානු ජනාධිපති බිල් ක්ලින්ටන් 1995 දී විජයග්‍රහණ සැමරුම් උළෙලේදී “ජපානය ජයගත්” කරුණ නොපැවසීමට තීරණය කළ විට මුළු ඇමෙරිකාව පුරා ඒ සම්බන්ධයෙන් විශාල මතභේදයක් හටගත් අතර ජපන් හමුදාව යටතේ අමානුෂික වද හිංසාවන්ට ගොදුරු වූ ඇමෙරිකානු හමුදා යුද සිරකරුවන් සම්බන්ධයෙන් අසංවේදී වූ බවට ක්ලින්ටන් ජනාධිපති වරයාට දැඩි ලෙස චෝදනා එල්ල වන ලදී.
ඇමෙරිකානුවෝ තම නිදහස වෙනුවෙන් කැප වූ රණවිරුවන් වෙනුවෙන් දක්වන උත්තරීතර, කෘතවේදී ආකල්පය එයයි. අපේ රටේ පැවති යුද්ධයේදී අපේ රණවිරුවෝ කී දාහක් නම් ත්‍රස්තයින්ගේ රුදුරු වදහිංසාවලට ලක්වී මියගොස් ඇත්ද? අප අත්අඩංගුවට ගත් ත්‍රස්තයින්ව කවාපොවා නීති ප්‍රකාරව කටයුතු කරද්දී කොටින්ගේ අත්අඩංගුවට පත්වූ අපේ සෙබළුන්ගේ ඇස් ඉගිල්ලූ, රහසඟ සිඳලූ, ඇඟිලි කැපූ මළ සිරුරු මා රතු කුරුස සංවිධානය හරහා කොතෙකුත් භාරගෙන රැගෙනවිත් ඇත. ඒ රණවිරුවන් ඒ අයුරින් මියගියේ රටේ ජනතාව වෙනුවෙනි. ජාතියට නිදහස ලබාදීමේ සටනේදී එවන් කෲර අන්දමට ජීවිතය අහිමි කරගත් රණවිරුවන් ද ඇතුළුව සමස්ත ජයග්‍රහණය සමරා කරන්නා වූ මෙම උත්සවය දෙමළ කොටි ත්‍රස්තයින්ගේ හිත රිදේය යන කරුණ පාදක කොටගෙන අවලංගු කළ යුතුයැයි යමෙක් පවසන්නේ නම් ඔහුද කොටි හිතවාදියෙක්ම වියයුතු නොවේද?
අපේ රටේ පැවති යුද්ධය රටවල් දෙකක් අතර හටගන්නා වූ යුද්ධයත් සමඟ සංසන්දනය නොකළ හැකි යැයිද එබැවින් ඒ රටවල පවතින යුද සැමරුම් උත්සව අපේ රටට අදාළ නොවන බැව්ද කෙනකුට තර්ක කළ හැක. අපේ රටේ පැවතියේ ජාත්‍යන්තර යුද්ධයක් නොවන බැව් සැබෑය. තිබුණේ රජයට විරුද්ධව පැවති සන්නද්ධ අරගලයකි. නමුත් එම අරගලය ක්‍රියාත්මක කළේ අතේ කැටපෝල තියාගත් කිරිකජු කොල්ලන් කණ්ඩායමක් නොවේ. එල්.ටී.ටී.ඊ. ත්‍රස්තවාදීන් යනු ලොව ම්ලේච්ඡතම සහ බිහිසුණුම ත්‍රස්තවාදී සංවිධාන ලෙස ප්‍රසිද්ධියට පත්, ලෝකයේ රටවල් 32 ක් විසින් තහනම් කළ, නවීනතම අවි ආයුධවලින් සමන්විත, සම්මුති යුද හමුදාවක් සහ නාවික බළඇණියක් සතුව සිටි, දේශීය මෙන්ම විදේශීය රාජ්‍ය නායකයන් පවා ඝාතනය කළ, මරාගෙන මැරෙන කළුකොටි බළකායකින් හෙබි පිරිසකි. ඔවුන් සතුව ඉතා ශක්තිමත් ජාත්‍යන්තර ජාලයක් තිබුණ අතර ඔවුන්ට සෘජු ආධාර කරන දෙමළ ඩයස්පෝරාව එංගලන්තයේ සහ ප්‍රංශයේ සහ කැනඩාවේ පාර්ලිමේන්තු මැතිවරණවල සමහර ආසනයන්හි තීරණාත්මක සාධකයක් ද වේ. කොටි ත්‍රස්තයින් තම අරගලය සඳහා ජාත්‍යන්තර සහයෝගය ලබාගත්තේ ද ඒ අයුරිනි. උන් වනාහි ජනාධිපතිවරු සතර දෙනෙක්ට වසර 30 ක් තිස්සේ පරාජය කළ නොහැකි වූ සංවිධානයකි. එසේ නම් මෙහි පැවතියේ රටවල් 02 ක් අතර යුද්ධයක් නොවූවද, ජාත්‍යන්තර සහයෝගය ලැබූ බලසම්පන්න සන්නද්ධ හමුදාවක් සමග පැවති බරපතළ යුද්ධයකි. යුද්ධය අවසන් වනවිට රණවිරුවෝ 29,000 ක් මියගොස් 14,000 කට අධික පිරිසක් ආබාධිත තත්ත්වයට පත්වූයේ එබැවිනි. වසර ගණනාවක් තිස්සේ භීතියෙන් ඇලළී ගිය ජනතාවට සතුටින් සාමයෙන් බියෙන් සැකෙන් තොරව ජීවත්වීමට වරම් ලැබුණේ මෙම ජයග්‍රහණය හේතුවෙනි. එසේ නම් එවැනි ජයග්‍රහණයක් සැමරීම සම්බන්ධයෙන් දෙවරක් සිතිය යුතුද?
පසුගිය රජය කාලයේ වාර්ෂික විජයග්‍රහණ පෙළපාළිය සාර්ථකව පැවැත්වූ අතර යාපනයේ විශ්ව විiාල තුළ සංවිධානාත්මකව මියගිය ත්‍රස්තයින් සඳහා පහන් පත්තු කිරීමේ වෑයම වළක්වන ලදී. මියගිය ත්‍රස්තවාදීන්ට සංවිධානාත්මකව පහන් පත්තු කරන්නේ ඊළාම්වාදීන් සහ උන්ගේ සහචරයින් මිස සාමයට ලැදි සාමාන්‍ය දෙමළ ජනතාව නොවේ. ඇමෙරිකන් ජනතාවට මරබිය ගෙනදුන් අල්කයිඩාහි ඔසාමා බින්ලාඩන් ඇමෙරිකන් මැරීන් භටයින් අතින් ඝාතනය වූද මුළු ඇමෙරිකාවම සතුටින් උද්දාමයට පත්විය. බින්ලාඩන් වෙනුවෙන්, වොෂින්ටන් විශ්ව විiාලයේ මුස්ලිම් ශිෂ්‍යයින් පිරිසක් විශ්ව විiාලය තුළ පහන් පත්තු කළහොත් කුමක් වෙයිද?
මියගිය අය කවුරුන් වූවත් ඒ වෙනුවෙන් ඔවුන්ගේ ඥාතීන්ට/ සගයින්ට පහනක් පත්තු කිරීමට ඉඩදීම ශිෂ්ටසම්පන්න සමාජයක් විසින් කළ යුතු දෙයක් බැවින් බින්ලාඩන් වෙනුවෙන් පහන් පත්තු කිරීම බැරැක් ඔබාමා හෝ ඇමෙරිකන් ජනතාව හෝ අනුමත කරයිද? කිසිසේත්ම නැත. ප්‍රභාකරන්ගේ සොයුරිය ඔහු වෙනුවෙන් තම නිවසේ පහනක් පත්තු කළාට අපට කිසිවක් කිව නොහැක. ත්‍රස්තයින්ගේ වුවද ඥාතීන් උන් වෙනුවෙන් තම නිවෙස් තුළ පුද්ගලිකව පහන් දැල්වීම අපට වැළැක්විය නොහැක. නමුත් සංවිධානාත්මකව එවන් දෙයක් කිරීම තුළින් වන්නේ අප ලද විජයග්‍රහණය දියාරු බවට පත්කිරීම සහ සටනේදී දිවි පිදූ/ ආබාධිත වූ රණවිරුවන් සහ එම ඥාතීන් පිළිකුලට සහ සමච්චලයට පත්කිරීමකි. එය ත්‍රස්තවාදය/ ඊළාම්වාදය සාධාරණීය කිරීමට අතහිත දීමකි. රජයක් විසින් එවන් දෙයකට අනුබල දේ නම් හෝ එය වහාම නවතාලීමට කටයුතු නොකරන්නේ නම් එයින් දිස්වනුයේ රජයේ බලහීනතාවය සහ යුද්ධය ජයගත නොහැකි යැයි මොරගෑ වත්මන් පාලකයින්ගේ කුහකත්වයයි. යුද්ධය ජයගත් රණවිරුවන් කෙරේ දක්වන අකෘතඥ, පිළිකුල් සහගත ආකල්පයයි.
නෝමැන්ඩි සතුරු වෙරළට දෙවන ලෝක මහා යුද්ධයේදී හමුදාව ගොඩබැස්සවීමේ 70 වන සංවත්සරය සැමරුවේ 2014 වසරේදීය. එදා එවකට ජනාධිපති අයිසන්හවර් පැවසුවේ නෝමැන්ඩි වෙරළට ගොඩබට සෑම සෙබළෙක්ම යුද විරුවෙක් වී හමාරයි යනුවෙනි. අපේ හමුදා එදා සතුරා රජයන වෙරළට දැඩි ප්‍රහාර මධ්‍යයේ ගොඩ බැස්ස අයුරු සහ එහිදී සිදුවූ මාරාන්තික සටන් ගැන දන්නේ කීයෙන් කී දෙනාද? පසුගිය රජය විසින් එවන් රණවිරුවන්ට ලබාදී තිබූ ඒ “වීරත්වය” මේ රජය උඳුරාගෙන ඇති අයුරු කෙතරම් ඛේදජනකද?
නාසි ජර්මානුවන් සහ ජපන් ජාතිකයින් මිලියන ගණනක් ඝාතනය වූ දෙවන ලෝක යුද්ධයෙන් පසු ඇමෙරිකානු ජනාධිපති, රුසියානු ජනාධිපති, එලිසෙබත් මහ රැජින ද ඇතුළු රාජ්‍ය නායකයින් 19 ක් සහභාගී වූ ඒ “පැසිස්ට්වාදය නිම කිරීම” අති උත්කර්ෂවත් අන්දමින් වසරක් පාසා සමරන විට සමස්ත ලෝකයේම තහනමට ලක් වූ එල්.ටී.ටී.ඊ. පැසිස්ට්වාදී ප්‍රභාකරන් සහ ඒ නරුම හමුදාව පරදා අප ලැබූ ජයග්‍රහණය අපට සැමරිය නොහැකි මක්නිසාද?
දෙවන ලෝක යුද්ධයෙන් මියගිය ලක්‍ෂ ගණනක ජර්මානුවන් සහ ජපන් ජාතිකයින් ගැන අද කවුරුත් කඳුළු හෙළන්නේ නැත. යුද්ධයෙන් පසුව අත්අඩංගුවට ගෙන ඝාතනයට ලක්වූ ලක්‍ෂ 10 ක් පමණ ජර්මානුවන් ගැන අද කුලප්පු වී දඟලන මානව හිමිකම් සංවිධාන වචනයකුඳු පවසන්නේ නැත. ජර්මානුවන්ගේ සහ ජපනුන්ගේ සිත පෑරෙන බැවින් මිත්‍ර හමුදාවන් වාර්ෂික යුද ජයග්‍රහණ සැමරුම් නැවැත්විය යුතු යැයි එක්සත් ජාතීන්ගේ මහ ලේකම් නිර්දේශ කරන්නේ ද නැත.
අද ජර්මනිය තමාව සුන්නද්ධූලි කළ රටවල් සමග ඉතා සහයෝගයෙන් කටයුතු කරයි. ජර්මානු නායිකා ඇන්ජලා මර්කල් මිත්‍ර හමුදා ප්‍රතිපත්ති අනුව ඝාතනට ලක්වූ මිලියන ගණනක ජර්මානුවන් ගැන කිසිවක් නොකියයි. බි්‍රතාන්‍ය ගුවන් හමුදා තම රටේ ඩේරඞ්සන් නගරය අළු බවට පත්කිරීම සහ සිවිල් නගරවලට ඉලක්ක බෝම්බ පතිත කිරීම ගැන මොනම ප්‍රකාශයක්වත් නොකරයි. ජෙනරල් අයිසන් හවර් විසින් ජර්මානු ජනතාවට සිරභාරයේ සිටින ජර්මානුවන්ට ආහාරදීම මරණීය දණ්ඩනයට ලක්වන වරදක් බැව් ප්‍රකාශ කළ බව ඔවුන් දනිති.
එසේ කළ මිත්‍ර හමුදාවන් අද ඔවුන්ව පරාජය කර ලැබූ ජයග්‍රහණය වසරක් පාසා සමරන විට ඔවුන් නිශ්ශබ්දව බලා සිටි. ලෝකයා එසේ හැසිරෙද්දී ලොව ම්ලේච්ඡතම ත්‍රස්තවාදය නිම කිරීම සම්බන්ධයෙන් වන සැමරුම්වලට අපට තහංචි පනවමින් තිබේ. එය එසේ වුවද උතුරේ සිවාජිලිංගම් සටනේදී මියගිය ත්‍රස්තවාදීන්ව සතියක් පුරා සමරන බවට කට මැද දොඩමින් සිටී. අද නැති වැරදි සොය සොයා මහින්ද රාජපක්‍ෂ, බැසිල් රාජපක්‍ෂ, ගෝඨාභය රාජපක්‍ෂ අත්අඩංගුවට ගැනීමට මාන බලන මෙම රජය රටට ආදරේ නම් පළමුවෙන් කළ යුත්තේ සිවාජිලිංගම් වැන්නන් සිරභාරයට ගෙන දේශද්‍රෝහී චෝදනාව යටතේ නඩු පැවරීමයි. දේශද්‍රෝහීත්වයට ඕනෑම රටක දෙන දඬුවම මරණීය දණ්ඩනයයි. එය මේ රජය යටතේ නොවුණහොත් මතු රජයක් යටතේ වුවද වියහැකි බැව් සියල්ලන්ම තේරුම්ගත යුතුය.
කරුණු එසේ බැවින් මෙවර යුද සැමරුම් උළෙල නොපවත්වන්නේ ත්‍රස්තවාදීන්ගේ සිත් රිඳේය යන කරුණ ජනතාව පිළිගන්නේ නැත. මෙම උළෙල නොපවත්වන්නේ නම් ජනතාවට පිළිගත හැකි කරුණක් ඉදිරිපත් කරන මෙන් අපි රජයෙන් ඉල්ලා සිටිමු.
රියර් අද්මිරාල් (ආචාර්ය)
සරත් වීරසේකර