Colombo Today Local News

උතුරු කොරියාවට ශ්‍රී ලංකාවෙන් සම්බාධක.. නියෝග කඩකළොත් වසර 25කට හිරේ !

උතුරු කොරියාව මත සම්බාධක පැනවීමට ශ්‍රී ලංකා රජය රෙගුලාසි නිකුත් කර ඇතැයි වාර්තා වේ.

රජය මෙම පියවර ගෙන ඇත්තේ න්‍යෂ්ටික ,රසායනික සහ ජෛව අවි ප්‍රගුණනය කිරීම සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්ෂක කවුන්සිලයේ යෝජනාවකට අනුවය. මෙම නියෝග නිකුත් කර ඇත්තේ විදේශ අමාත්‍ය තිලක් මාරපන මහතා විසිනි.

ජාත්‍යන්තර සාමයට සහ ආරක්ෂාවට තර්ජනයක් එල්ල කරමින් උතුරු කොරියාව කරනු ලබන න්‍යෂ්ටික අවි හා න්‍යෂ්ටික වැඩසටහන් අත්හරින තුරු සහ බැලිස්ටික් මිසයිල හා න්‍යෂ්ටික මිසයිල වැඩසටහන්වලට සම්බන්ධ සියලු ක්‍රියාකාරකම් අත්හිටුවන තුරු උතුරු කොරියාව සම්බන්ධයෙන් සම්බාධක පනවන ලෙසට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සාමාජික රටවලට දැනුම් දී තිබේ.ඒ අනුව එහි සාමාජිකයකු වන ශ්‍රී ලංකාව මෙම පියවර ගෙන තිබේ.

ශ්‍රී ලංකාව සහ උතුරු කොරියාව 1970 සිට රාජ්‍ය ත්‍රාන්තික සම්බන්ධතා පවත්වාගෙන ගියද රටවල් දෙකම නේවාසික දූත මණ්ඩල පවත්වන්නේ නැත.
රෙගුලාසි අනුව සම්බාධක පනවනු ලබන බවට වගබලා ගැනීම සඳහා ආරක්ෂක අමාත්‍යංශයේ උපදෙස් මත විදේශ ඇමතිවරයා විසින් නිසි බලධාරියකු පත් කරනු ඇත.

මෙමගින් න්‍යෂ්ටික වැඩපිළිවෙලට සම්බන්ධ කිසිදු උපකරණයක් උතුරු කොරියාවේ පුද්ගලයකු වෙනුවෙන් භාවිතය, හුවමාරු කිරීම,ගබඩා කිරීම,ප්‍රවාහනය කිරීම,තොග රැස්කිරීම,අත්පත් කරගැනීම,ළඟ තබාගැනීම,නිෂ්පාදනය ,මේ හා සම්බන්ධ සේවා සැපයීම හෝ සහාය ලබාදීම,උපදෙස් ලබාදීම,තාක්ෂණික පුහුණුව ලබාදීම,මූල්‍යමය සේවා සැපයීම,වත්කම් සැපයීම හා ලබාගැනීම මෙරට සහ විදේශගත ශ්‍රී ලාංකිකයින්ට තහනම් කර තිබේ.

උතුරු කොරියාවට ඉන්ධන සේවා සැපයීම ,නැව් බද්දට හෝ කුලියට ලබා දීම හෝ නැව් කාර්ය මණ්ඩලය කුලියට ලබාදීම ද මෙමගින් තහනම් කර තිබේ.උතුරු කොරියානු මූල්‍ය ආයතනවලට ලංකාවේ නව ශාඛා, අනුබද්ධ ආයතන හෝ නියෝජිත කාර්යාල විවෘත කිරීමට ඉඩ නොදෙනු ඇත.

උතුරු කොරියානු රාජ්‍ය තාන්ත්‍රිකයන් ,උතුරු කොරියානු රාජ්‍ය නියෝජිතයින් ,රාජ්‍ය හෝ නියෝජිත නිල කාර්යාලවල සේවය කරන උතුරු කොරියානු ජාතිකයින්, උතුරු කොරියා වෙනුවෙන් හෝ එහි නියෝග මත ක්‍රියා කරන විදේශීය ජාතිකයින් සහ උතුරු කොරියාවට සම්බන්ධ අනෙක් පුද්ගලයින් නෙරපා හැරීම සඳහා රජයට නිර්දේශ කිරීමේ බලය රෙගුලාසි පනවන බවට සහතික කිරීම සඳහා පත් කරන ලද බලධාරියාට ඇත.

තහනම් කර තිබෙන ක්‍රියාකාරකම් සම්බන්ධ බවට තහවුරු වුවහොත් උතුරු කොරියානු රජයේ ආයතන හෝ උතුරු කොරියානු සේවකයින් ශ්‍රී ලංකාවේ පවත්වාගෙන යනු ලබන අරමුදල් ,මූල්‍ය වත්කම් සහ ආර්ථික සම්පත් තහනම් කිරීමට මෙම නිසි බලධාරියාට බලය ඇත.

මෙම රෙගුලාසිවලට අමතරව එක්සත් ජාතීන්ගේ සංවිධානය විසින් නිකුත් කරනු ලැබ ඇති අනෙකුත් රෙගුලාසි ද ශ්‍රි ලංකා රජය ප්‍රකාශයට පත් කළේය.

මෙම රෙගුලාසි මගින් න්‍යෂ්ටික ,රසායනික හෝ ජෛව අවි නිෂ්පාදනය,අත්පත් කරගැනීම,ළඟ තබාගැනීම .වැඩි දියුණු කිරීම ,ප්‍රවාහනය ,හුවමාරු කිරීම , භාවිතය හෝ ඒ හා සම්බන්ධ දෑ ශ්‍රී ලංකාව තුළ බෙදාහැරීම තහනම් කරනු ලැබ තිබේ.

සාමය සඳහා වූ ක්‍රියාකාරකම් සඳහා රසායනික හා ජීව විද්‍යාත්මක ආයුධ ආශ්‍රිත අමුද්‍රව්‍යය ශ්‍රී ලංකාව තුළ අපනයනය,තැනින් තැනට ගෙනයාම,නැවකින් නැවකට ගෙන යාම හෝ ප්‍රතිඅපනයනය අදාළ ලිඛිත නීතියට අනුව සිදු කෙරෙනු ඇත.

මෙම රෙගුලාසි යටතේ වැරදි කරනු ලබන පුද්ගලයකු මහාධිකරණයේ නියෝග අනුව වසර 25 දක්වා වූ සිර දඬුවමක් හෝ රුපියල් මිලියන පහකට වඩා නොවැඩි දඩයක් හෝ එම දඩුවම් දෙකම හෝ ලැබීමට යටත් වෙයි.

Lankadeepa

Related posts

ගැටලු විසඳන්න බලධාරීන්ගේ මැදිහත්වීමක් නැහැ… – මහජන සෞඛ්‍ය පරීක්ෂකවරු අදත් වර්ජනයේ..

Admin

තවත අමනුෂ්‍යයන් පිරිසක් මඩකලපුවෙන් මතුවෙයි… කොරෝනා නිරෝධායනයට එරෙහිව පාරවල් අවහිරකර උද්ඝෝෂණය කරයි !

colombotoday

උපාධිධාරීන් 50,000කට සහ අඩු ආදායම්ලාභීන් 100,000 කට රැකියා : සේවයට වාර්තා කිරීම සැප්තැම්බර් 01

colombotoday

නව පාර්ලිමේන්තුව අගෝස්තු 20 වන දා කැඳවේ

colombotoday

ජන බල විරෝධයේ දිනේෂ්, නාමල්, විමල්, ගම්මන්පිල ඇතුළු මන්ත්‍රීන් 11ක් අත්අඩංගුවට ගැනීම නියෝග…

colombotoday

මුහුදු බඩ මාර්ගයේ දුම්රිය ප්‍රමාදයි

Admin