Colombo Today Local News

සිංහල බෞද්ධයා රැකුණොත් මේ රටේ සෙසු ආගම්වලත් ආගමික නිදහස රැකෙයි – අගමැති

මේ රටේ වාසය කරන සියලුම ජාතීන්වල ජනතාවගේ හා සියලුම ආගම්වල නිදහස තහවුරු කරන්නෙ සිංහල බෞද්ධ ජනතාව බව  අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා ප්‍රකාශ කරයි.

අද (04) පස්වරුවේ සුගතදාස ගෘහස්ත ක්‍රීඩාංගනයේ පැවති ස්වාමීන් වහන්සේලා පන්දහසක් නමකට පාලි ත්‍රිපිටකය, සම්පූර්ණ අත්ත කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරපු ටැබ් පරිගණක බෙදා දීමේ අවස්ථාවට එක්වෙමින් අග්‍රාමාත්‍යවරයා මේ බව අවධාරණය කළේය.

බෞද්ධ ශාසනය මේ රට තුළ ශක්තිමත් කරන්න අති විශාල දැනුම් සම්භාරයක් අඩංගු ටැබ් පරිගණක බෙදා දීම සමස්ත ජාතියම නගා සිටුවීමේ මෙහෙවරක් ලෙස තමා සළකන බවත් එහිදි අග්‍රාමාත්‍යවරයා පැවසීය.

මහා ශාසනික මෙහෙවරට ලබා දිය හැකි සෑම සහයෝගයක්ම ලබාදෙන බවට තමන් ප්‍රතිඥා දෙන බවත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා වැඩිදුරටත් ප්‍රකාශ කළේය. 

එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ අග්‍රමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා,


අපි කවුරුත් අද දවසේ සහභාගී වෙලා ඉන්නෙ වචනයෙන් කියල නිම කරන්න බැරි තරම් වැදගත් උත්තුංග කාරණාවකට. 

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනයේ අනුශාසක ගෞරවණීය මාන්කඩවල නන්දරතන ස්වාමීන් වහන්සේගේ මැදිහත් වීමෙන් සම්පූර්ණ පාලි ත්‍රිපිටකය, සම්පූර්ණ අත්ත කතා, පාලි සිංහල ශබ්දකෝෂය ඇතුළු තවත් පොත්පත් විශාල ප්‍රමාණයක් අන්තර්ගත කරපු ටැබ් පරිගණක ගරු ස්වාමීන්වහන්සේලා පන්දහසක් නමකට පූජා කිරීම තමයි මෙතන සිද්ධ කෙරෙන්නෙ. 

නවීන තාක්‍ෂණයේ ආදිනව ගැන අපි ඕන තරම් කතා අහලා තියෙනවා. විශේෂයෙන්ම පරිගණක තාක්‍ෂණය හරහා බාල පරම්පරාව නොමග යවනසුලු බොහෝ දේවල් ඔවුන් වෙතට යන ආකාරය ගැන කතාබහ ඇතිවෙලා තියෙනවා. 

නමුත් නවීන තාක්‍ෂණය කොයි තරම් ප්‍රයෝජනයි ද කියන කාරණය අපට වැටහෙන්නෙ මේ වගේ අවස්ථාවල. පාලි ත්‍රිපිටකය සහ අත්ත කතා අච්චු ගහලා පොත් හැටියට මේ ප්‍රමාණයෙන් බෙදා හරින එක ඇත්ත වශයෙන්ම ප්‍රායෝගික නෑ.

නමුත් නවීන තාක්‍ෂණය ප්‍රයෝජනයට අරගෙන අපිට පුළුවන් සෑම භික්ෂූන් වහන්සේ නමක් සතුවම සම්පූර්ණ ත්‍රිපිටක හා සම්පූර්ණ අත්ත කතා තියෙන බවට වග බලාගන්න. 

බුදු දහම බිහිවුණේ ලංකාවේ නෙවෙයි. නමුත් නිර්මල ථේරවාද බුදුදහම රැකුණෙ ලංකාවෙයි. පාලි ත්‍රිපිටකය කියන්නෙ ලෝක බුද්ධිමය උරුමයේ වැදගත් කොටසක්. 

අපට තාක්‍ෂණය පාවිව්චි කරල සම්පූර්ණ පාලි ත්‍රිපිටකය සහ අත්ත කතා මේ විදියට බෙදල දෙන්න පුළුවන් වෙන එක නවීන තාක්‍ෂණයේ ආශ්චර්යක්. මේ තාක්‍ෂණය අපි බුදු දහමේ උන්නතිය සඳහා පාවිච්චි කරන්න ඕනෙ. 

ලබුනෝරුව කන්ද ආරණ්‍ය සේනාසනය ඇතුළු මහා සංඝරත්නය බුදු දහම විකෘති වීමට ඉඩ නොදීම සඳහා ගෙන යන මේ වැඩපිළිවෙළ සමස්ත ලෝකවාසී බෞද්ධ ජනතාවගේම ඇගයීමට ලක්වෙන්න ඕන.
 
මාන්කඩවල නන්ද රතන ස්වාමීන් වහනේසේ මේ සමරු කලාපයේ පෙන්නල දීල තියෙනව සම්බුද්ධ ශාසනය අභියෝගයට ලක් වූ අවස්ථාවල රාජ්‍ය පාලකයන්ටත් ගිහි ප්‍රජාවටත් ඒ අභියෝගය ජය ගන්න මහා සංඝරත්නය නායකත්වය දීපු ආකාරය ගැන. 

මේ මෑතකත් ඒ වගේ අවස්ථාවක් අපි පහු කෙරුවා. උන්වහන්සේ ඒ ගැනත් යම් සඳහනක් කරලා තියෙනවා. පසුගිය ජනාධිපතිවරණයේ ප්‍රතිඵල දිහා බැලුවම පේනවා බෞද්ධකමට හා පොදුවේ සිංහලකමට විරුද්ධ මෙහෙයුම් කොයිතරම් බලගතු විදියට ක්‍රියාත්මක වුණා ද කියල. 

රටට එරෙහි බලවේග ඒ දරපු උත්සහය සාර්ථක වුණානම් සිංහල ජාතියට අත්වන ඉරනම කුමක් ද කියන එක ගැන අපි සියලු දෙනාම හොඳින් කල්පනා කරලා බලන්න ඕන.

මේ අභියෝග වලින් අපි තවත් ශක්තිමත් වෙන්න ඕන. මහාවංශයේ සඳහන් වෙන විදියට වලගම්බා  රජ්ජුරුවන්ගෙ කාලෙ පාලි ත්‍රිපිටකය ලේඛනගත කෙරුවෙත් නිර්මල ථේරවාද බුදුදහමට එල්ල වුණු අභියෝගයක් නිසා. 

එදා ඒ සිදු වුණු ලේඛණගත කිරීම නිසා තමයි අද අපි මහ ලෝක උරුමයක ආරක්‍ෂකයන් බවට පත් වෙලා ඉන්නෙ. ඉතිං අභියෝග කියන්නෙ නරක දෙයක්මත් නොවෙයි. 
ඒකෙන් තමයි ජාතියක් පන්නරය ලබන්නෙ. අපි පහුගිය අවුරුදු පහේදි අත්දැකපු දේවල් නිසා, අපේ ජාතික හැඟීම් තවත් ශක්තිමත් වුණා.

සිංහලයා මෝඩයා කැවුම් කන්න යෝධයා කියපු ඒ යුගය පහුගිය නොවැම්බර් 16 වෙනිදා අවසන් වුණා. අතිපූජ්‍ය මහ සංඝරත්නය එහි දී මූලිකත්වය ගත්ත ආකාරය ගැන මම මෙතන අලුතින් කියන්න ඕන නැහැ. 

මහා සංඝරත්නයේ ඓතිහාසික කාර්යභාරය ඉහළින්ම සිදු වුණු බව විතරක් මම කියන්නම්. බෞද්ධ ශාසනය රැක ගැනීම සිංහල ජාතිය රැක ගැනීම, රටේ ඒකීයභාවය රැක ගැනීම කියන මේ සියල්ල එකට බැඳුණු දේවල්. 

අපේ ඉතිහාසය තුළ ඉතාමත්ම පැහැදිළිව පේන්න තියෙන කාරණය තමයි සිංහල බෞද්ධයා රැකුණොත් තමයි සෙසු ආගම්වලටත් මේ රටේ ආගමික නිදහස රැකෙන්නේ කියන එක. මේ රටේ වාසය කරන සියලුම ජාතීන්වල ජනතාවගේ හා සියලුම ආගම්වල නිදහස තහවුරු කරන්නෙ සිංහල බෞද්ධ ජනතාවයි. “

Related posts

කෝටි 700 දියමන්තිය කොල්ල කෑ මධූෂ්ගේ ගෝලයා අල්ලයි… කොල්ලය සිදුවූ හැටි හෙළිවෙයි…

colombotoday

වඳ දොස්තර CID භාරයට !

colombotoday

අදත් දුම්රිය ගමන්වාර කිහිපයක් අවලංගුයි

Admin

නව ඇමෙරිකානු ජනපතිට ජනාධිපති ගෝඨාභය රාජපක්ෂගෙන් සුබ පැතුම්

colombotoday

අත්අඩංගුවට ගැනීම වළක්වන්නැයි කුරුණෑගල නගරාධිපතිගෙන් අධිකරණයට පෙත්සමක්

colombotoday

විශේෂ පොලිස් මෙහෙයුමකින් 3880ක් අත්අඩංගුවේ

colombotoday