සීගිරිය, ශ්‍රීපාදස්ථානය, දළදා මාලිගාව විකිණීමට ලන්සු තැබිය නොහැකි සේම ආරක්ෂක සහ වාණිජ මර්මස්ථානයක් වූ හම්බන්තොට වරායටද ලන්සු තැබිය නොහැකි බව කොළඹ විශ්වවිද්‍යාලයේ ආර්ථික විද්‍යාව පිළිබඳ ජේයෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ලලිතසිරි ගුණරුවන් මහතා පවසයි.
ගුණරුවන් මහතා එසේ පැවැසුවේ කොළඹ ජාතික පුස්තකාල ප්‍රලේඛන ශාලාවේදී ජාතික ඒකාබද්ධතා කමිටුව විසින් පෙරේදා (21දා) සංවිධානය කර තිබූ මාධ්‍ය හමුවකදීය.
එහිදී වැඩිදුරටත් අදහස් දැක්වූ හෙතෙම මෙසේද කීය.
රටේ සියලුම ජාතික සම්පත් විකිණීමට මම එරෙහි වෙනවා. එහෙත් රටක කිසිසේත්ම විකිණිය නොහැකි දේවලුත් තිබෙනවා. සීගිරිය, සිරීපාදෙ, දළදා මාලිගාව විකුණන්න බැහැනෙ. ඒවා මිල කළ නොහැකි ජාතික වස්තූන්. ශ්‍රීපාද රක්ෂිතයේ පාරිසරික, සංචාරක කර්මාන්තය දියුණු කරනවා කියලා එය සමාගමකට විකුණන්න හැදුවා. සිංහරාජ වැසි වනාන්තරය වසර 40කට ඇමෙරිකාවට දෙන්න හැදුවා. කොහොම හරි අපිට පුළුවන් වුණා ඒවා නවත්ත ගන්න. දැන් හම්බන්තොට වරාය චීනයට විකුණන්න හදනවා.
හම්බන්තොට කියන්නේ පෙරදිග සහ අපරදිග යා කරන ලෝකයේ කාර්ය බහුලම නැව් මාර්ගය මධ්‍යයේ පිහිටි වැදගත්ම ගොඩබිම් තුඩුවයි. සිංගප්පූරුව හොංකොං රටවල් දියුණුවේ හිණිපෙත්තටම ගියේ වරාය නිසයි. සිංගප්පූරුවටත් වඩා ජාත්‍යන්තර වරායක් සඳහා ලොව තිබෙන හොඳම තැන තමයි හම්බන්තොට. අපේ පාලකයන්ට මේක අවබෝධ නොවුණට විදේශ රටවලට මේක තේරෙනවා. අපි මේ වරාය විකුණන්න හදනකොට දෙපාරක් හිතන්නේ නැතිව චීනය ඉදිරිපත් වුණේ ඒකයි. බොරු සෝබන වැඩ නවත්තල අපි මේ වරාය දියුණු කරනවා නම් ලංකාව සංවර්ධනය කරා ගෙන යන්න ඒකම ඇති.
අනිත් එක තමයි හම්බන්තොට වරාය දේශීය වශයෙන් මෙන්ම කලාපීය වශයෙනුත් ආරක්ෂක මර්මස්ථානයක්. මේ වරාය අත්පත් කරගැනීමට ඕනෑම රටක් කැමැතියි. මේක චීනයට දුන්නාම අපේ ස්වාධීනත්වය අපේ ආරක්ෂාව ඒ රටට පාවා දීමක් වෙනවා. ඉන්දියාව, ඇමෙරිකාව මේකට කැමැති නැහැ.
ඉතින් ඉන්දියාව කරන්නේ කන්කසන්තුරේ වරාය සහ පලාලි ගුවන්තොටුපොළ මිලදී ගැනීමට සැරසීමයි. ඇමෙරිකාව ත්‍රිකුණාමල වරාය ඉල්ලනවා. මේ රටවල් තුනම පරස්පර මත දරන යුද බලවතුන්. කවදහරි දවසක කිසියම් ප්‍රශ්නයක් මතු වුණොත් අපේ රටත් ජනතාවත් අනතුරේ වැටෙනවා සිකුරුයි.
මේ ආණ්ඩුව ගෙන යන ආර්ථික මෙන්ම විදේශ ප්‍රතිපත්ති හරිම දුර්වලයි. සිරිමාවෝ බණ්ඩාරනායක හිටපු අගමැතිනිය ගෙන ගිය ආර්ථික සහ විදේශ ප්‍රතිපත්ති වත්මන් නායකයන් හැදෑරිය යුතුයි. එතුමියගේ නොබැඳි විදේශ ප්‍රතිපත්තිය මෙන්ම දේශීය ආර්ථිකය සවිමත් කිරීමේ ඇයගේ දර්ශනය අපට බොහෝ පාඩම් කියා දෙනවා.
මෙහිදී මානව හිමිකම් පිළිබඳ ජේයෂ්ඨ නීතිවේදී කල්‍යානන්ද තිරාණගම, සෙමා ආයතනයේ අධ්‍යක්ෂ ක්‍රිස් ධර්මකීර්ති යන මහත්වරුද අදහස් දැක්වූහ.