Colombo Today Local News

ඉස්ලාම් පෙළ පොත් ආපසු කැදවයි

6,7, 8, 10 සහ 11 ශ්‍රේණිවල සිසුන්ට මේ වන විට ලබා දී ඇති ‘ඉස්ලාම් ධර්මය‘ පෙළ පොත ඉවත් කර ගැනීමට අධ්‍යාපන ප්‍රකාශන දෙපාර්තමේන්තුව පියවර ගෙන තිබේ.

මෙම පොත්වල අන්තර්ගතයේ ඇති ඇතැම් වචන සම්බන්ධයෙන් ‘එක රටක් එක නීතියක්‘ ජනාධිපති කාර්ය සාධක බළකායේ සහ ආරක්ෂක අමාත්‍යාංශය යටතේ ඇති ආරක්ෂක අධ්‍යයන ආයතනයේ දැනුම් දීම අනුව මෙම පියවර ගෙන ඇත. එම වචන අන්තවාදී අදහස් ඉස්මතු කරන බව පැවසේ.

අධ්‍යාපන ප්‍රකාශන කොමසාරිස් ජනරාල් පී.එන්. ඉලප්පෙරුම ජාතික සහ පළාත් සභාවන්ට අයත් පාසල්වල විදුහල්පතිවරුන්ට දැනුම් දී ඇත්තේ සිංහල සහ දෙමළ භාෂාවලින් යුත් මෙම පෙළ පොත් සිසුන්ගෙන් යළි ලබා ගන්නා ලෙසය. දැනට පාසල්වලට ලැබී සිසුන්ට බෙදාහැර නොමැති එම පොත් ද දෙපාර්තමේන්තුවට එවන ලෙස ද දන්වා ඇත.

මතභේදයට තුඩු දී ඇති එම වචන සංශෝධනය කරන තුරු සිසුන්ට බෙදා නොහරින බව ඒ මහතා ඊයේ (23 වැනිදා) පැවසීය. කළ යුතුව ඇත්තේ සුළු සංශෝධන කිහිපයක් බවත් එම වචන නිවැරැදි කිරීමෙන් පසු යළි මුද්‍රණය කර බෙදා හරින බවත් කී කොමසාරිස් ජනරාල්වරයා පාසල්වල දෙවැනි වාරය ආරම්භ කෙරෙන්නේ අප්‍රේල් මාසයේදී හෙයින් පොත් මුද්‍රණය කිරිම සඳහා ප්‍රමාණවත් කාලයක් තිබෙන බවත් පැවැසීය.

පෙළ පොත්වල කරුණු අධ්‍යයනය කර නිර්දේශ ඉදිරිපත් කිරීමට ප්‍රකාශන දෙපාර්තමේන්තුව මීට පෙර ද කමිටුවක් පත් කර තිබිණි. දෙපාර්තමේන්තුවේ සංවර්ධන කොමසාරිස් නිර්මලා පියසීලි, අධ්‍යාපන අමාත්‍යාංශයේ වතු පාසල් සංවර්ධන අධ්‍යක්ෂ එස්. මුරලිදරන්, ආගමික අධ්‍යාපන අධ්‍යක්ෂ නිමල් ධර්මසිරි, දෙමළ පාසල් සංවර්ධන අධ්‍යක්ෂ එන්. ආලාලසුන්දරම්, සහකාර කොමසාරිස් (ප්‍රකාශන) ජේ. චන්ද්‍රබාලන්ගෙන් සමන්විත වූ එම කමිටුවේ වාර්තාව අවශ්‍ය වෙනස්කම් සඳහා දෙපාර්තමේන්තුවේ ඉස්ලාම් ධර්මය විෂයය භාර නිලධාරීන් දෙදෙනකු වන එම්.ටී.ඒ. රහ්මාන් සහ අයි.ඒ.එම්. අෆ්සාන් වෙත ලබා දී තිබිණි.

-අරුණ-

Related posts

හාල්මැස්සන්, කරවල ඇතුළු භාණ්ඩ වර්ග කිහිපයක් සඳහා විශේෂ වෙළඳ භාණ්ඩ බද්දක්

colombotoday

ඇලෝසියස්‌ගෙන් මුදල් ගත් මන්ත්‍රීවරුන්ගේ නම් ගන්න වසර 30 ක්‌ යයි

colombotoday

මහමෙවුනාව අත්පත් කරගෙන සිටි සේරුවාවිල රජමහා විහාරයේ විහාරාධිපති ධූරය කොටපොල අමරකිත්ති හිමියන්ට.

colombotoday

ගෝඨාභය රාජපක්ෂ ජනපති ධුරයෙන් ඉල්ලා අස්වීමේ ලිපිය ගැන නිල ප්‍රකාශය අද

colombotoday

විදුලිබල මණ්ඩලය ප්‍රතිව්‍යුහගත කිරීමේ මාර්ග සිතියමට කැබිනට් අනුමැතිය – නව පනත මැයි අවසානේ පාර්ලිමේන්තුවට

Admin

තඹුත්තේගම A-ශ්‍රේණියේ ක්‍රීඩාංගනයක්! – යෝධ හයේ පහරවලට මග විවෘත වේ

Admin