Colombo Today Local NewsHot News

පිස්සු හුටංලා එක්වී රේගුවට කරනා විනේ

රත්තරන් බිත්තර දමනා කිකිළියක මරා බිත්තර සියල්ල එකවර ලබා ගැනීමට ක‍්‍රියා කළ ගැමියකු පිළිබඳව කතාවක් තිබේ. පැරැුණි කතාවෙන් වර්තමානයට තිබෙන ආදර්ශය වන්නේ මෙවැනි පිස්සු හුටන්ලා අපේ සමාජයේද සිටින බව සිහි තබා ගැනීමයි. විවෘත ආර්ථිකය යනුවෙන් සිතූ පැතූ සම්පත් ලබා දෙන බව කියූ ක‍්‍රමය දශක හතරකට ආසන්න කාලයක් ක‍්‍රියාත්මක කළ පසු හංස ගී ගයමින් සිටී. මේ හමුවේ රටේ පාලකයන් කරන්නේ එදාවේල ගැටගසා ගැනීමට කුමක් හෝ පිස්සු හුටන් දෙයකි.

ශ‍්‍රී ලංකා රජයේ මුළු ආදායම දළ දේශීය නිෂ්පාදිතයක් ලෙස 2000දී 18% පමණ සිට දැන් 11% පමණ දක්වා පහත වැටී ඇත. ජනතාව ආර්ථික වශයෙන් අන්ත අසරණ වීම පමණක් නොව රජයද ආදායම් ලබා ගැනීමට නොහැකි අන්ත අසරණ තත්ත්වයකට පත්ව තිබෙන බව මෙයින් පැහැදිලි වේ. මෙම පසුබිම තුළ වුවත්, රන් බිත්තර දමන කිකිළියක හා සමාන අන්දමින් ක‍්‍රියා කරන දෙපාර්තමේන්තුවක් තිබේ. ඒ, ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවයි. මුදල් අමාත්‍යවරයාගේ පූර්ණ අවබෝධය සහිතව ක‍්‍රියාත්මක කෙරෙමින් තිබෙන්නේ මේ කිකිළිය මරා දැමීමේ සැලැස්මකි. දැන් රේගු වෘත්තීය සමිතිවලට සිදු වී තිබෙන්නේ පිස්සු හුටන්ලාගෙන් රන් බිත්තර දමන කිකිළියක බඳු වූ රේගුව බේරා ගැනීමට ය.

රජයට බදු ආදායම් උපයා දෙන ප‍්‍රධාන ආයතන තුන වන දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව, සුරා බදු දෙපාර්තමේන්තුව සහ ශ්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව අතුරින් වාර්ෂිකව වැඩි ම ආදායමක් උපයා දෙන්නේ ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුවයි. පසුගිය වසරේ සුරා බදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 105,265ක් උපයා දී තිබිණ. දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 421,154ක් සහ ශ‍්‍රී ලංකා රේගු දෙපාර්තමේන්තුව රුපියල් මිලියන 787,889ක් බදු වශයෙන් උපයා දී තිබීමෙන් මෙම තත්ත්වය ඉතා හොඳින් පැහැදිලි වේ. පසුගිය වසරේ දී රජය ලබාගෙන තිබෙන මුළු ආදායම රුපියල් මිලියන 1,454,878ක් තරම් මෙම මුදල සමඟ සසඳන විට රේගුව උපයා දී තිබෙන මුළු ආදායම රජයේ මුළු ආදායමෙන් සියයට 54.15ක් වී ඇත.

මේ අනුව හරිනම් කළ යුත්තේ රේගුවේ තිබෙන කුමක් හෝ අඩු ලුහුඬුකම් ඉවත් කරමින් ඉතා හොඳින් ආරක්ෂා කිරීමට පියවර ගැනීමය. එසේ වුවත් රේගුවේ ස්වාධීන පැවැත්ම මහත් හිසරදයක් වී තිබෙන දේශපාලන කෙරුමන් කිහිප දෙනෙක් ම හවුල් ආණ්ඩුවේ සිටිති. ඔවුන්ගේ මූලික අභිප‍්‍රාය වී ඇත්තේ ලැබෙන පළවෙනි මොහොතේදී රේගුවට ෂොට් එකක් දී බිම හෙළීමයි. තම තමන්ගේ ජාවාරම් ඉතා ම නිදහසේ කරගෙන යාමට හැකි වන්නේ එවිටයි. දේශපාලන කෙරුමන් විසින් හෙමින් සීරුවේ යටි උගුලකින් රේගුවට මාරාන්තික ෂොට් එකක් දීමට කටයුතු කර තිබෙන්නේ මේ නිසා ය. වර්තමානයේ ක‍්‍රියාත්මකව පවතින රේගු ආඥා පනත මුළුමනින් ම අහෝසි කර දමා අලූතින් රේගු පනතක් ගෙන ඒමට කමිටුවක් පත් කර තිබීම අදාළ යටිඋගුල වේ. කමිටුව පත් කර ඇත්තේ මුදල් ඇමතිවරයායි. ඒ අනුව සකස් කළ පනත් කෙටුම්පත පසුගිය අපේ‍්‍රල් මස මුදල් ඇමතිවරයාට භාර දී ඇති බව වාර්තා වේ. මේ සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් වෘත්තීය සමිති පහක් එක්ව පිහිටුවාගෙන තිබෙන රේගුව සුරැකීමේ සංවිධානය විසින් හෙළි කරගෙන තිබේ. සමස්ත ලංකා රේගු සේවා සංගමය, ශ‍්‍රී ලංකා රජයේ වෘත්තීය සමිතිය, රේගු පරීක්ෂක නිලධාරීන්ගේ සංගමය සහ වාප්පු නිලධාරීන්ගේ සංගමය යන වෘත්තීය සමිති මෙසේ ඒකරාශී වී ඇත. ඔවුන් පෙන්වා දී තිබෙන බරපතල ම කරුණක් වන්නේ නව රේගු පනතක් සකස් කිරීමට පත් කර තිබූ කමිටුව දූෂිත එකක් වීමයි. මේ වන විට වයස අවුරුදු 80ක් පමණ වන රේගුවෙන් විශ‍්‍රාම ගිය නිලධාරීන් දෙදෙනෙකු සහ එවැනි ම වයස්ගත නීතීඥවරයෙකු කමිටුවට පත් කර සිටියේ ය. අදාළ නීතීඥවරයා රේගු නඩුවල දී විත්තිකරුවන් වෙනුවෙන් දිගට ම පෙනී සිටි අයෙකු බව හෙළි කර තිබේ. මෙවැනි පුද්ගලයන් සකස් කරන පනත් කෙටුම් පතක් රේගුව සුරැකීමට ඉවහල් වේ ද? නැතහොත්, විදේශ වෙළෙඳාමට සම්බන්ධ ජාවාරම්කරුවන් පිරිසකගේ සහ පාතාල කල්ලිවල අපේක්ෂා ඉටු කිරීම වෙනුවෙන් වේ ද? යන්න කොයි කාටත් සිතා ගත හැකි ය.

සාමාන්‍ය ජනතාවට අතැඹුලක් සේ පෙනෙන බොහෝ දේවල් මේ රටේ බලය දරන පාලකයන්ට නොපෙනීම පසුගිය වසර 68ක් පුරා සිදුව තිබෙන දෙයකි. යහපාලනයේ නාමයෙන් දිවුරා පොරොන්දු දී බලයට පැමිණි උදවිය කරන්නේ ද එයමයි. රේගුව සුරැකීමේ සංවිධානය ඉදිරිපත් වී පාලකයන්ට කෙළමෝලෙන් ඇන පෙන්වා දෙන්නේ ඇතිව තිබෙන අනතුරේ බරපතලකම ය. එම සංවිධානය ජනාධිපතිවරයා වෙත යවා තිබෙන ලිපියකින් ඉතා වැදගත් කරුණු පෙන්වා දී ඇත.

වසර දෙසියයකටත් වැඩි ඉතිහාසයක් ඇති රේගු දෙපාර්තමේන්තුවේ ඉතිහාසය පුරා ම කලින් කලට පැන නැඟුණු කාලීන අවශ්‍යතාවයන්ට අනුව යාවත්කාලීන වෙමින් පැමිණි රේගු ආඥා පනත අපේ රට තුළ ක‍්‍රියාත්මක ඉතාමත් බලසම්පන්න පනතකි. මෙහි ඇති බලය, “අපේ රටේ ජනතාවත්, එහි තිබෙන ස්වාභාවික පරිසරයත් රටේ ආර්ථික ක‍්‍රියාවලිය ඇතුළු සමස්ත ජන ජීවිතයක් ආරක්ෂා කරන ආර්ක්ෂිත දැලක් වශයෙන් ක‍්‍රියාත්මක වෙනවා.” යනුවෙන් සංෂිප්තව පැහැදිලි කර දී ඇත්තේ සමස්ත ක‍්‍රියාවලියේ දිග පළලයි.

රත්තරන් බිත්තරය දමන කිකිළියගෙන් ඔබ්බට ගොස් රේගුව ඉටු කරමින් සිටින ජාතික කාර්යභාරය මෙයින් මනාව පැහැදිලි වන්නේ පරිසරය ආරක්ෂා කිරීම, ජනජීවිත ආරක්ෂා කිරීම සහ ආර්ථිකය යන කරුණුවලිනි. නමුත් පිස්සු හුටන්ලා කරන්නට යන්නේ මෙසේ ආරක්ෂා කිරීම නම් නොවේ. රටක් හැටියට ලෝකය වටේ හි`ගමනේ යන විට ජාත්‍යන්තර මූල්‍ය අරමුදල හෝ ලෝක බැංකුව ලබා දෙන නියෝග ඉටුකරමින් මේ කිකිළිය මරා බිත්තර ගැනීමට උගුල් ඇටවීමයි. මෙලෙස උගුල් ඇටවීමට ද සෘජු ඉතිහාසයක් තිබේ. වසර 2002 සිට 2004 දක්වා පැවති රනිල් වික‍්‍රමසිංහගේ නායකත්වයෙන් යුත් එක්සත් ජාතික පක්්ෂය ආණ්ඩුව සමයේ ක‍්‍රියා කළ ආකාරයයි. රේගු දෙපාර්තමේන්තුව, සුරාබදු දෙපාර්තමේන්තුව සහ දේශීය ආදායම් බදු දෙපාර්තමේන්තුව යන දෙපාර්තමේන්තු තුන එකට පූට්ටු කර ආදායම් අධිකාරියක් පිහිටුවීමට කුරුමානම් ඇල්ලීමයි.

වර්තමාන හවුල් ආණ්ඩුව එයින් ද ඉදිරියට ගොස් තවත් මහා නස්පැත්තියක් කිරීමට දැන් සියල්ල සැලසුම් කර අවසන් ය. අගමැතිවරයා පසුගිය සතියක පාර්ලිමේන්තුවේ දී හෙළි කළේ මෙම වසර අවසන් වන විට විනිමය පාලන නීති රීති විශාල වශයෙන් ඉවත් කරන බවයි. රේගු ආඥා පනත සම්පූර්ණයෙන් ඉවත් කර අලුත් පනතක් ගෙන එ්මට කැසකවන්නේ මෙවැනි පසුබිමක බව ද අමතක නොකළ යුතු ය. රේගුව සුරැකීමේ සංවිධානය ජනාධිපතිවරයාට පෙන්වා දී තිබෙන තවත් කරුණක් මෙසේ ය.

විවිධ කූට උපක‍්‍රම මගින් රජයට අය විය යුතු බදු මුදල් නොගෙවීම මඟින් හා විවිධ නීති විරෝධී ජාවාරම් මඟින් ප‍්‍රකෝටිපතියන් වී සිටින ජාවාරම්කරුවන්ට රේගු ආඥා පනත විශාල හිරිහැරයක් වී තිබේ. පසුගිය මහින්ද රාජපක්ෂ මහතාගේ පාලන කාලය තුළ මෙම තත්ත්වය වේගයෙන් වර්ධනය වූ අතර, ඔබතුමා ප‍්‍රමුඛ යහපාලන ආණ්ඩුව බලයට ආ මොහොතේ පටන් ව්‍යාපාරික බෝඞ්ලෑල්ලකට මුවා වූ ජාවාරම්කරුවෝ ඔවුන්ට හිසරදයක් වී ඇති රේගු දෙපාර්තමේන්තුව විනාශ කිරීමට දිවා ? නොබලා කුමන්ත‍්‍රණ පිට කුමන්ත‍්‍රණ කරමින් සිටිති.

කිසිදු පක්ෂ භේදයකින් හෝ වෘත්තීය භේදයකින් තොරව වෘත්තීය සමිති පහක් එක් වී රේගුව සුරැකීමේ සංවිධානය පිහිටුවාගෙන තිබෙන්නේ පවතින තත්ත්වයේ බරපතලකම දන්නේ ඔවුන් වන නිසාමයි. යම් හෝ හේතුවක් නිසා පවතින රේගු ආඥා පනත අහෝසි කර මෙම කෙටුම්පත මත පදනම්ව රේගු පනතක් සෑදුවහොත්, එය කලින් කී ජාවාරම්කරුවන්ට කිසිදු බයක් සැකක් නැතිව ජාවාරම් කරගෙන යෑමට ඉඩ සලසා දීමක් වනු ඇත. එය ඒ තරම් ම බරපතල කෙටුම්පතකි. අපට ලැබී තිබෙන තොරතුරුවලට අනුව මෙම කෙටුම්පත සකස් කිරීම සඳහා පෙර කී නිලධාරීන් දෙදෙනා සහ නීතීඥවරයා වෙනුවෙන් රුපියල් ලක්ෂ 90ක පමණ මහජන මුදල් වැය කර තිබේ.

කඩිමුඩියේ අලූත් රේගු පනත් ගෙන ඒමට මුදල් ඇමතිවරයාට තිබෙන අවශ්‍යතාව කුමක්දැයි ප‍්‍රශ්නයකි. අතිවිශාල මූල්‍ය අපරාධයක් කළ බවට චෝදනා එල්ල වී සිටින අර්ජුන් මහේන්ද්‍රන් අවසාන තත්පරය දක්වා ම ආරක්ෂා කිරීමට නොසැලී ක‍්‍රියා කළේ අගමැති රනිිල් වික‍්‍රමසිංහයි. මෙය පූර්වාදර්ශය කර ගනිමින් මුදල් ඇමති රවී කරුණානායක කඩිමුඩියේ රේගු ආඥා පනත පරසක්වළ ගැසීමට වලිකන බව දැන් පැහැදිලි වේ. මේ නිසා ඇතිව තිබෙන්නේ රේගුව සම්බන්ධයෙන් මොහොතක් හෝ අපතේ නොයැවිය යුතු තත්ත්වයකි. රේගුව සුරැකීමේ සංවිධානය වහා ම ඉදිරිපත්ව ජනාධිපතිවරයාට කරුණු පැහැදිලි කර ඇත්තේ මේ නිසා ය. ඔවුන් වැඩි දුරටත් ජනාධිපතිවරයාගෙන් ලිඛිතව ඉල්ලා ඇත්තේ මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට අවස්ථාවක් ලබා දෙන ලෙසයි.

මේ වන විට අලුතින් කෙටුම් පත් කර තිබෙන පනත මඟින් මතු වී තිබෙන අනතුරු කිහිපයක් රේගුව සුරැකීමේ සංවිධානය විසින් පෙන්වා දී ඇත.

1* නීති විරෝධී ආනයනකරුවන්ට පනවා ඇති දණ්ඩනයන් ළිහිල් කිරීම නිසා රජයට එකතු වන බදු ආදායම පහළ යනු ඇත.

2* රටේ ජාතික ආරක්ෂාවට තර්ජනයක් විය හැකි දේවල් රට තුළට පැමිණීමට ඉඩකඩ විවර වේ.

3* මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්ට ඇති බාධාවන් ඉවත් වීම නිසා විශාල වශයෙන් මත්කුඩු ඇතුළු මත්ද්‍රව්‍ය රට තුළට ගෙන එනු ඇත.

4* ලෝක වෙළෙඳපොළේ ඇති මිල අඩු භාණ්ඩ රට තුළට නිදහසේ ගලා ඒම තුළින් දේශීය කර්මාන්තවලට හා රැකියා නියුක්තිකයන්ට විශාල බලපෑමක් එල්ල වනු ඇත.

5* රටේ ස්වාභාවික පරිසර සමතුලිතතාවය බිඳ වැටිය හැකි විවිධ රෝගකාරක සහිත පැළෑටි, කෘමීන් සහ සතුන් රට තුළට ගෙන ආ හැකි ය.

යනුවෙන් ඉදිරියේදී ඇති විය හැකි ව්‍යසනයන් කිහිපයක් පිළිබඳව අනතුරු අඟවා තිබේ.

බෙහෝ දෙනෙකු නොදන්නවා වුව ද, අපේ රටේ පරිසර සමතුලිතතාවය ආරක්ෂා කිරීමට රේගුව විශාල කාර්යභාරයක් ඉටු කරමින් සිටියි. මේ සඳහා අමතර නීතිමය රැකවරණ සහ බලය සපයන පනත් රැසකින් රේගුව සන්නද්ධ කර තිබේ. “ශාක නිරෝධායන පනත්” එක් නිදසුනක් ය. මේවා කොතරම් බලගතු පනත් දැයි පැහැදිලි වන සාක්ෂියක් මහින්ද රාජපක්ෂ පාලන සමයේ ලබා දී ඇත. එය නම් ජොන්ස්ටන් ප‍්‍රනාන්දු ඇමතිවරයාගේ මැදිහත් වීම මත මෙරටට පොල් ගෙන ඒමට ක‍්‍රියා කළ අවස්ථාවයි. ශාක නිරෝධායන පනත නිසා රේගුව විසින් පොල් ගෙන ඒමට ඉඩ නොදෙන ලදී. මේ නිසා රුපියල් කෝටි ගණනක් වටිනා පොල් මුහුදට හෙලූ බව කියැවිණි. එම පාලන සමයේ මෙන් ම එම පාලනයේ මුල් පෙළේ කොටස්කරුවෙකු හමුවේ පවා කෙළින් සිටගෙන නීතිය ක‍්‍රියාත්මක කිරීමට කිසියම් හෝ හැකියාවක් එදා රේගුවට තිබිණි.

දැන් යහපාලනයේ නාමයෙන් දිවුරුම් දී බලයට පැමිණි හවුල් ආණ්ඩුවේ මුදල් ඇමතිවරයා ප‍්‍රමුඛ තේරුම්කාරයන් අලුතෙන් රේගු පනතක් ගෙන ඒමට උත්සාහ කරන්නේ රේගු දෙපාර්තමේන්තුවේ කොන්ද පමණක් නොව අතපය ද කඩා දැමීමට බව ඉතා පැහැදිලි වේ. වත්මන් මුදල් ඇමති රවී කරුණානායක ඇතුළු ඇමතිවරුන් කීපදෙනෙකුට ම රේගුව මහා පිළිකාවක් බඳු වී තිබේ. මෙය කඩා ඉවත් කිරීමට විවිධ උපක‍්‍රම අනුගමනය කිරීම පිළිබඳව අපට තේරුම් ගත හැකි වේ. මෙය වෘත්තීය සමිති එකතුවකට බලපාන දෙයක් නොව සමස්ත ආර්ථිකයේත්, රටේත් අනාගතයට එල්ල කරන මරු පහරක් බව තේරුම්ගෙන ක‍්‍රියා කිරීම ජනතාවට භාර වේ.

ලංකා ඉරිදා සංග්‍රහය

Related posts

රෝහල් 600කට පුළුල් තිර රුපවාහිනී

colombotoday

මෝටර් රථයක සිර වූ 17 හැවිරිදි සිසුවා මිය යයි

Admin

මගේ පොටෝ එක අයිති පොහොට්ටුවට පමණයි !

colombotoday

ත්‍රස්තවාදී සැකකරුවන් දෙදෙනෙක් නිදහස් කරන ලෙසට විශ්වවිද්‍යාල ආචාර්යවරුන් යැයි සඳහන් කණ්ඩායමකගෙන් රජයට බලපෑම්.

colombotoday

මා හමුදා සෙබළුන් ඝාතනය කළා ඒක හැමෝම දන්න ඇත්තක් නමුත් මා අත්අඩංගුවට ගන්න බෑ..මං දැන් ප‍්‍රජාතන්ත‍්‍රවාදී පිලේ

colombotoday

නොබෙල් සාම තෑග්ග ජනපතිගෙන් ගිලිහෙයි !!

colombotoday