Colombo Today Local News

කුඩු සලිඳු අතුරුදහන්

පසුගියදා අධිකරණයෙන් ඇප මත මුදා හරිනු ලැබූ මෙරට ප්‍රධානම පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවකු බව කියන ‘කුඩු සලිඳු’ සහ පාතාල කල්ලි නායක ‘පොඩි ලැසී’ හොර රහසේම රටින් පලාගොස් ඇති බවට ආරක්ෂක අංශ සැක පහළ කරයි.

මෙම අපරාධකරුවන් දෙදෙනා මුහුදු මාර්ග ඔස්සේ විදේශ රටකට පැන යන්නට ඇති බවට විශාල සැකයක් මතු වී ඇති බවද ආරක්ෂක අංශ පවසයි.

පානදුර මහාධිකරණයෙන් කුඩු සලිඳුට ඇප නියම කළ අතර සෑම මසකම පළමු ඉරිදා පෙරවරු 9- 12ත් අතර කාලයේදී අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටින ලෙස අධිකරණය නියෝග කර තිබිණි.

පසුගිය ඉරිදා (22දා) දිනයේ කුඩු සලිඳු අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව හමුවේ පෙනී සිටීමට නියමිතව තිබුණ ද ඔහු එදින එහි පැමිණ නොසිටි බව පොලිස් මූලස්ථාන ආරංචි මාර්ග පැවසීය.

කුඩු සලිඳු ඇප මත මුදා හැරීමෙන් පසු එදිනම රාත්‍රියේ (එනම් 20 වැනිදා රාත්‍රියේ) පානදුරයේ පිහිටි ඔහුගේ නිවසේ විශාල සාදයක් පවත්වා තිබූ බවට තොරතුරු ලැබී තිබේ.

එම සාදය සඳහා මත්ද්‍රව්‍ය ජාවාරම්කාරයන්, පාතාල මැරයන් ඇතුළු විශාල පිරිසක් පැමිණ සිටි බවද වාර්තා විය.

ආරක්ෂක අංශ ආරංචි මාර්ග පවසන්නේ මෙම සාදය පැවැත්වෙන විටත් සලිඳු රටින් පලා ගොස් තිබූ බවයි.

දකුණේ පාතාලයේ දරුණුම ගණයේ අපරාධකාරයකු බව කියන පොඩි ලැසී ඇප මත මුදා හරිනු ලැබුවේ ඉකුත් 09 වැනිදාය.

පොඩි ලැසී ඇප මත මුදා හැරීමෙන් පසු අතිසුඛෝපභෝගී රථ පෙරහැරකින් කොළඹ ප්‍රදේශයට ගොස් තිබිණි. එතැන් සිට මේ දක්වාම පොඩි ලැසී පිළිබඳව කිසිදු තොරතුරක් ලැබී නැතැයි ආරක්ෂක අංශ පවසයි.

රත්ගම ප්‍රාදේශීය සභාවේ සභාපති මනෝජ් මෙන්ඩිස් වෙඩි තබා ඝාතනය කිරීම ඇතුළු දකුණේ මිනිස් ඝාතන රැසක් සම්බන්ධයෙන් පොඩි ලැසීට එරෙහිව චෝදනා එල්ල වී තිබේ.

මෙරට ප්‍රධාන පෙළේ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනකු වන හරක් කටා සහ කුඩු සලිඳු මැඩගස්කරයේදී එරට පොලිසිය විසින් අත්අඩංගුවට ගෙන තිබුණේ ඉකුත් 2023 වර්ෂයේ මාර්තු 15 වැනිදාය.

පසුව මෙම මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් දෙදෙනා පොලිස් විශේෂ කාර්ය බළකායේ සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් විසින් මෙරටට රැගෙන එනු ලැබූහ.

හරක් කටා නමැති මත්ද්‍රව්‍ය ජාවාරම්කරු මේ වනවිට තංගල්ල බන්ධනාගාරයේ රඳවා සිටී.

මෙරට දරුණු ගණයේ අපරාධ කරුවකු වූ කංජිපානි ඉම්රාන් ද මීට පෙර අධිකරණයෙන් ඇප ලබාගෙන මුහුදු මාර්ග ඔස්සේ රටින් පලාගොස් තිබිණි.

හේමන්ත රන්දුණු
Divaina

Related posts

කවුරුත් සගවන අලුත්ගම ජිහාඩ් භීෂණයේ ඇත්ත කතාව (Video)

colombotoday

දින 30ක් ඇතුළත සියල්ලට විසදුම් දෙන්න.. නැතිනම් බරපතල තත්ත්වයක් – මුස්ලිම් මැති ඇමතීන් එකට එක්වී අනතුරු අගවයි

colombotoday

බදු වංචාකළ බව එටිසලාට් පිළිගනී.. “සූරා කෑ මුදල් පාරිභෝගිකයන්ට ගෙවනු” – පාරිභෝගික අයිතීන් සුරැකීමේ ජාතික ව්‍යාපාරය

colombotoday

‘රටේ අර්බුද දේශපාලකයන්ගේ බිස්නස් එකක් වෙලා… හොරාට කලින් කෙහෙල්කැන වැට පැන්නා’

Admin

රහස් පොලීසිය මාධ්‍ය දඩයමක… “ඊනිව්ස්“ හුරතල් කර “දිවයින“ අධිකරණයට !

colombotoday

ගුවන් යානා 2 කින් යුක්රේන සංචාරකයින් 320 ක් දිවයිනට

colombotoday