Colombo Today Local News

අගමැති කොතරම් පාරම්බෑවත් “ඉට්කා” අත්සන් කරන්න ඉඩ දෙන්නෑ – ලාල් කාන්ත

lal kantha 121

එට්කා ගිවිසුමට කවුරු පක්ෂ වුණත්, පාර්ලිමේන්තුවේ සම්මත කළත්, රනිල් වික්‍රමසිංහ කෙතරම් පාරම්බෑවත් එම ගිවිසුම මේ පොළොවේ ක්‍රියාත්මක කිරීමට කිසිදු ඉඩක් නොතබන බව ජාතික වෘත්තීය සමිති මධ්‍යස්ථානයේ සභාපති ජනතා විමුක්ති පෙරමුණේ දේශපාලන මණ්ඩල සභික කේ. ඩී. ලාල්කාන්ත මහතා අවධාරණය කරයි.

හන්දියේ චණ්ඩියා, චොප්පෙ වගේ කෑගහන රනිල්ට වඩා චණ්ඩියෙක් මහින්ද. ලොකුම චණ්ඩියා ගෝඨාභය, බැසිල්ගේ ඔළුවට උඩින් කපුටෙක්වත් ඉගිළුණේ නෑ. මේ අය මට්ටු කරන්න එදා ජනතාවට පුළුවන් වුණා නම් රනිල් කියන්නේ මහා චණ්ඩියෙක් නෙවේ යැයි ලාල්කාන්ත මහතා පෙන්වා දුන්නේය.

වෘත්තීය සමිතිවලට, මාධ්‍ය ආයතනවලට, මාධ්‍යවේදීන්ට රාජපක්ෂ රෙජීමයට කඩේ යන බවට ලේබල් ගහන වික්‍රමසිංහ මහත්තයට අපි කියනවා එක වෘත්තීය සමිතියකට අත තියන්න එපා. එදාට සමස්ත වෘත්තීය සමිති සියල්ල මහා වැඩ වර්ජනයකට සූදානම් වෙනවා යැයි ඒ මහතා අවධාරණය කෙළේය.

ආණ්ඩුවෙන් පිට සිටින සියලු පක්ෂ මේ ගිවිසුමට එරෙහි විය යුතුයි. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ ඡන්ද බලා සිටින මෛත්‍රිපාල මහතා සමඟ ඉන්න මහත්වරුන් මේකට විරුද්ධ නොවුණොත් ඔවුන් සදාකාලික යූ.එන්.පී.කාරයෝ බවට පත්වෙනවා නොඅනුමාන යැයිද හෙතෙම පැවැසුවේ ඊයේ (25දා) මරදාන සමාජය හා සාමයික කේන්ද්‍රයේ පැවැති මාධ්‍ය හමුවේදීය. එම අවස්ථාවට අන්තර් සමාගම් සේවක සංගමයේ සභාපති, ජ.වි.පෙ. දේශපාලන මණ්ඩල සභික වසන්ත සමරසිංහ, ලංකා ගුරු සේවා සංගමයේ ප්‍රධාන ලේකම් මහින්ද ජයසිංහ ඇතුළු මහත්වරු කිහිපදෙනෙක් සහභාගි වූහ.

ලාල් කාන්ත මහතා වැඩිදුරටත් කරුණු දක්වමින් මෙසේ කීය,

‘මේ දිනවල රනිල් වික්‍රමසිංහ අගමැතිවරයා බජාර් එකේ චණ්ඩියා වගේ තමයි මේ සම්බන්ධව කතා කරන්නේ. ඔහුගේ අංග චලනය, මූණේ ඉරියව්, පාර්ලිමේන්තුවෙත්, ඉන් පිටතත් මොකාට අඳින්නද හදන්නේ කියල අපිට පැහැදිලියි. එක වෙලාවක ‘එට්කා’ ගැන ඔහු ප්‍රකාශයක් කළා ‘අපිට පාර්ලිමේන්තු බලය තියෙනවා, කවුරු විරුද්ධ වුණත් ඒක අස්සන් කරනවා කියලා. මේකට විරුද්ධව වෘත්තිකයෝ එළියට බැස්සම කියනවා නැති ගිවිසුමකට මේ කෑගහන්නේ කියලා. එහෙනම් කවුරු විරුද්ධ වුණත් අස්සන් කරන්න හදන ගිවිසුම මොකක්ද කියලා අපි අග්‍රාමාත්‍යවරයාගෙන් අහනවා.

අද රනිල් වික්‍රමසිංහ වෘත්තීය සමිතිවලට, මාධ්‍ය ආයතන සහ මාධ්‍යවේදීන්ට ලේබල් ගහනවා රාජපක්ෂ රෙජීමයට කඩේ යෑම කියලා. අපි දන්නවා එතුමා රාජපක්ෂ රෙජීමයත් එක්ක කරපු දේවල් වගේම අද ඔහුගේ කැබිනට් එකේ වැඩිපුර ඉන්නෙත් රාජපක්ෂ රෙජීමයේ පිරිසක් කියලා. මේ ආකාරයට ලේබල් ගහන්න ඔහුට කිසි අයිතියක් නෑ. ‘එට්කා’ ගිවිසුමට ප්‍රබල හඬක් නඟපු රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට පහර දුන්නෙත් රාජපක්ෂ රෙජීමයට කඩේ යෑම කියලා. අපි කියනවා වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයට වඩා දැනෙන, බරපතළ ප්‍රබල හඬක් අපේ වෘත්තීය සංගම් එළියට බැස්සොත් තිබෙන බව. ඉන්ජිනේරු, ජල සම්පාදන, වෛද්‍ය මේ කවුරුත් පාරට බැස්සොත් කාටවත් ඒ හඬ යටපත් කරන්න බැරි බව අපි මේ ආණ්ඩුවට පෙන්වා දෙනවා.

අගමැති වික්‍රමසිංහ මේ හදන්නේ මහා වැඩවර්ජනයක් කරවන්නයි. හන්දියේ චණ්ඩියා, චොප්පෙ වගේ කතා කළාට, කෑල්ලක් අල්ලාගෙන කෑගැහුවට වැඩක් නෑ. ඒ වගේම අපි අවධාරණය කරනවා එක වෘත්තීය සමිතියකට අත තියන්න එපා. එහෙම වුණොත් සමස්ත වෘත්තීය සමිති සියල්ලට පාරට බහින්න සිද්ධ වේවි කියලා.
රනිල්ට වඩා චණ්ඩියෙක් මහින්ද. ලොකුම චණ්ඩියා ගෝඨාභය, බැසිල්ගේ ඔළුව උඩින් කපුටෙකුටවත් ඉගිළෙන්න බැරි තත්ත්වයක් තිබුණේ. එදා මහින්ද රාජපක්ෂ පාලනයේ ඇතැම් ක්‍රියාවන්ට එරෙහිව ජනතාව පාරට බැහැලා ජයග්‍රහණ ලබා ගත්තා නම් ඊට සාපේක්ෂව රනිල් වික්‍රමසිංහ ජනතාවට ඒ තරම් දෙයක් නොවෙයි.

වික්‍රමසිංහ ලිච්ඡවී පාලනයට කටයුතු කරනවා කිව්වා වගේම ඒ දේවල් සහ මේ දේවල් එතුමා අවබෝධ කරගත්තොත්, එතුමාටත් රටටත්, හොඳයි.

මොන කතා කිව්වත් මේ ගිවිසුමෙන් සිද්ධ වෙන්නේ ඉන්දියාවෙන් මෙරටට සංක්‍රමණය කරන්න හැකි අවස්ථාව සැකසීමක්. ලංකාවේ අයටත් එහෙම පුළුවන්ලු. අපේ රටේ කවුරුත් ඉන්දියාවට පැනලාවත් යනවද? භාණ්ඩ වෙළෙඳපොළ අත්පත් කර ගන්න ඉඩ හදපු 1977 විවෘත ආර්ථිකය හදපු ජේ. ආර්. ජයවර්ධනගේ ඉඳලා අද දක්වා රට පාලනය කරන පාලකයෝ මේකට වගකියන්න ඕනෑ.

අදත් රනිල් ඔහුගේ මධ්‍යකාලීන ආර්ථික ප්‍රතිපත්තියේ කොටසක් මේ ක්‍රියාත්මක කරන්න යන්නේ. රනිල් වික්‍රමසිංහ මහත්තයා මේ ගිවිසුම හරහා කරන්න උත්සාහ කරන දේ නියත වශයෙන්ම පරද්දන්න අපි කටයුතු කරනවා. කවුරු පක්ෂ වුණත්, පාර්ලිමේන්තුවේ සම්මත වුණත් මේවා ගේන්න දෙන්නේ නෑ. ජනතාව දැනගන්න ඕනෑ මේක දේශපාලන ප්‍රශ්නයක් කියලා.

තමන්ට දේශපාලන වශයෙන් අභියෝග නොවන කිසිම ප්‍රශ්නයකට ආණ්ඩුව මැදිහත් වෙන්නෙ නෑ. අපි මේ ආණ්ඩුවෙන් පිට ඉන්න සියලු පක්ෂවලින් ඉල්ලන්නේ දේශපාලන අභියෝගයක් හැටියට සලකා මීට එරෙහිව කටයුතු කළ යුතුයි කියලා.

අනාගතයේ ශ්‍රී ල. නි. ප. ඡන්ද බලාගෙන ඉන්න මෛත්‍රිපාල මහතා සමඟ ඉන්න මහත්වරු මේකට විරුද්ධ නොවුණොත් ඔවුන් සදාකාලිකවම හංසයාද නැතිනම් යූ. එන්. පී. බවට පත්වෙයි. අප මේ එට්කා වැඩපිළිවෙළට මුළුමනින්ම විරුද්ධ විය යුතුයි. මහජන මතය නිසා රනිල් වික්‍රමසිංහට මේ සම්බන්ධව නිහඬව කටයුතු කරන්න නොහැකි වෙලා තියෙනවා. ඒ නිසාම ඔහු වෘත්තිකයන්ට සාකච්ඡා ගිවිසුමක් දුන්නා. ඔහු මාර්තු 15 කියලා දිනයක් දීලා තියෙනවා. අපි දන්නෙ නෑ හරියටම ඒ මොකක්ද කියලා. එදාට මේ අරගලවලට විරුද්ධ වෙන අයට එරෙහිව තමනුත් කට්ටිය පාරට බස්වන්න සූදානම් කියලා අගමැතිවරයා කියනවා. එදා චේන්, බෝතල්, පොලු දීලා මිනිස්සු පාරට බස්සපු යූ. එන්. පී. ඉතිහාසය අපිට මතකයි. ඒ ක්‍රමය තමයි මහින්ද රාජපක්ෂ අනුකරණය කළෙත්. යූ. එන්. පී. යේ ප්‍රතිපත්තිය බල්ලො මරලා හරි සල්ලි හොයන එක.

Related posts

යහපාලනයට බැට දුන් චීන තානාපති විදේශ කටයුතු අමාත්‍යාංශයට කැදවා තරවටු කරන්න යයි !

colombotoday

ගෑස් සිලින්ඩරයක මිල රු. 200 – 300 කින් පහතට

colombotoday

විදුලිය කපා බන්ධනාගාරයට දැමූ නිසා අජිත්.පී පෙරේරා කිපෙයි.. මහ අඩව්වක් අල්ලයි.. අද තවත් ඇමති ධුරයක දිවුරයි

colombotoday

කැබිනට් මණ්ඩල සංශෝධනයක්! ප්‍රබලයන් රැසකට ඇමතිධුර අහිමි වෙයි

colombotoday

පෝලීම්වල ඉන්න එපා. ගෘහස්ථ ගෑස් අද බෙදා හරින්නේ නැහැ – ලිට්‍රෝ සමාගම

colombotoday

වැට් බදු සංශෝධන පනතට කැබිනට් අනුමැතිය

colombotoday