ශ්‍රී ලංකාද්වීපයේ පසුගිය වසර ආරම්භය සනිටුහන් වන්නේ ජනවාරි අට ආණ්‌ඩු පෙරළියත් සමගිනි. එදින දූෂණය, අල්ලස, පවුල් පාලනය, සුදුවෑන් සංස්‌කෘතිය, ස්‌ත්‍රී දූෂණය, ශිෂ්‍ය ව්‍යාපාර හා වෘත්තීය සංගම් මර්දනය ආදී ශිෂ්ට සම්මත සමාජය විසින් සැබවින්ම පිළිකෙව් කරන සත්‍ය හෝ අසත්‍ය චෝදනා රැසක් විසින් දසකයකට සමාන මහින්ද රාජපක්‍ෂ පාලනය නිමා කරන ලදී. මේ වන විට එයට පුරා වසරකට ආසන්න කාලයක් ගෙවී ගොස් ඇත. මෙවන් අවස්‌ථාවක නව වසරේ ජාතික අභිලාෂය කුමක් වියයුතු දැයි විමසා බැලීම අතිශය කාලෝචිත වූවකි.
ජාතික ආරක්‍ෂාව
රටක අතිශය වැදගත්ම මාතෘකාව ලෙස මා සලකන්නේ තෙල්, හාල් හෝ පරිප්පු මිල නොව ජාතික ආරක්‍ෂාවයි. එය සුරක්‍ෂිත කිරීම සදහා ම රටක ජනතාව පාලකයන් පිරිසක් පත්කර ගනී. පාලකයා පත්කර ගැනීම දක්‌වා වගකීම ජනතාව දරතත් එතැන් පටන් එහි වගකීම දරනුයේ දේශපාලන නායකත්වයයි. එය පූජනීය වගකීමක් ලෙස පත්වන රජය ඉටු කරනු ඇති බව ජනතා විශ්වාසය වෙයි. එහෙත් පසුගිය වසරක කාලවකවානුව තුළ බුද්ධි අංශ ක්‍රියාකාරිකයින් හා හමුදා නිලධාරීන් වෙනත් පෞද්ගලික හෝ රාජකාරීමය කරුණු සේ හුවා දක්‌වමින් අත්අඩංගුවට ගැනීම හා ඒ තුළින් රටක ජාතික ආරක්‍ෂාවේ අතිශය වැදගත් තොරතුරු බාහිර පාර්ශ්වයන් වෙත දැනගැනීමට සැලැස්‌වීම ඉතා අවදානම් සහගත බවක් ජාතික ආරක්‍ෂාව කෙරේ ඇතිකරයි. එක්‌නැලිගොඩ සිද්ධිය හරහා අතිශය බිහිසුණු කොටි ත්‍රස්‌තයින්ගේ ග්‍රහණයෙන් රට බේරා ගැනීම සදහා හමුදා බුද්ධි අංශ ක්‍රියාකළ සූක්‍ෂම ආකාරය ලොවට හෙළි කිරීම මේ සඳහා වන එක් නිදසුනකි.
එසේම ආරක්‍ෂක හමුදා ප්‍රතිසංවිධානය කිරීමේ ව්‍යාපෘතිය හරහා බ්‍රිතාන්‍යයෙන් ලබාදෙන මිලියන ගණනක ආධාර ලබාගත හොත් ආරක්‍ෂක අංශවලට සිදුවනුයේ ඔවුන් කියන කියන අයුරින් කටයුතු කිරීමට ය.ඇතැම්විට මේ සා විශාල මුදලකින් හමුදා හා බුද්ධි අංශයන්හි සාමාජීකයිනට ලැප්ටොප් පරිගණක, අන්තර්ජාල පහසුකම්, ආකර්ෂණීය ප්‍රතිලාභ ද මතුපිටින් හිමි විය හැකිය. ඉහළ නිලයන්ට එයටත් වඩා චිත්තාකර්ෂණීය මානසික පෙළඹවීම් කිරීමේ හැකියාවක් ඇත. එසේ වූ කල තමාගේ අතවැසියන් සේ කටයුතු කරන ශ්‍රී ලාංකික ආරක්‍ෂක හමුදාවන් මගින් ඕනෑම භයානක අධිරාජ්‍යවාදී ඉලක්‌කයක් සපුරා ගැනීමට මෙමගින් අවස්‌ථාව සලසා ගත හැකිය. ඔවුන් වියදම් කරන්නේ මුදල් ය. අප ඒ මුදලට හිලව් කළ යුත්තේ මව් බිමය.
ස්‌වාධිපත්‍යය
පසුගිය ජනවාරි ජනපතිවරණයෙන් අනතුරුව ශ්‍රී ලංකාවට සතියක් ගානේ නිල වශයෙන් නිල නොවන අයුරින් පැමිණි අමෙරිකානු එංගලන්ත, නෝවීජියානු හා ඉන්දියානු ප්‍රබල නියෝජිත පිරිස කී දෙනෙක් ද? ඔවුන් ලක්‌දිවට පැමිණෙන්නේ හා නොයෙක් කොන්දේසි යෝජනා නියෝග ලබාදෙන්නේ මිත්‍රත්වයේ පදනමින් ද? නො එසේ නම් සැබවින් ම ඔවුන් හා රජය සිදුකරන සාකච්ඡා මොනවා ද? ඔවුන් පැමිණෙන්නේ නිකම්ම තේ පැන් සංග්‍රහ සඳහා පමණක් ද? යහපාලන මරනින්දේ පසුවන අයෙකුට මෙවන් දේ සුළුවෙන් සැලකිය හැකි වෙතත් මව්බිමට ආදරය කරන අයෙකුට මෙය උගුරෙහි ගැලුණු කටුවක් සේ වීම පුදුමයක් නොවේ.
කිසියම් රටක යුද කඳවුරක් පරීක්‍ෂා කිරීමට වෙනත් රටක හමුදාවකට නෛතික බලයක් තිබේ ද? සදාචාරාත්මක අයිතියක් තිබේද? පසුගිය දා ත්‍රීකුණාමල නාවික කඳවුර පරීක්‍ෂා කිරීමට අමෙරිකානු හමුදාවන් වෙත අවකාශ ලබා දීම ම රටේ ස්‌වාධිපත්‍ය පිළිබඳ ප්‍රශ්න කාරීතත්ත්වයක් ඇතිකරන්නකි. ඊටත් වඩා එය ජනාධිපතිතුමන් වත් නොදැන සිදූවූවා යෑයි කීම අතිශය බියකරුය. එසේ නම් ඒ සඳහා ඉදිරිපත් වූයේ කවුරුන් ද? ඔවුන් වෙනුවෙන් ගත් නෛතික ක්‍රියාමාර්ග මොනවාද? යුද අපරාධ චෝදනාව හා මහින්ද රාජපක්‍ෂ භීෂණය යන මාතෘකා ඉදිරියට දමාගෙන දිනෙන් දින අපට අහිමි කරන්නේ සිංහලද්වීපයේ ස්‌වාධිපත්‍යය නොවේ ද?
භාෂා ගැටලුව
බුදුරදුන් අම්බට්‌ඨ සූත්‍රයේ දී දේශනා කරනුයේ කැටකිරිල්ලට පවා සිය කැදැල්ලේ තමා කැමැති ලෙස කථා කිරීමේ, අදහස් පළ කිරීමේ අයිතිය පැවැතිය යුතු බවය. ශ්‍රී ලංකාද්වීපය මීට වසර හැට හැත්තෑවකට එහා සිංහලය යි. සිංහලය යනු මේ රටේ නමයි. ජපනාගේ රට ජපානයයි. චීනාගේ රට චීනයයි. සිංහලයාගේ රට සිංහලයයි. 1815 දී සුදු අධිරාජ්‍යවාදීන් විසින් ගිවිසුමකින් අත්පත් කරගන්නා ලද්දේත්, 1948 දී නැවත අපට භාර දෙන ලද්දේත් සිංහලය බව අධිරාජ්‍ය ගැති ඇතැම් දේශපාලනඥයන්ට අමතකය. නැතහොත් අමතක කර ඇත. දේශයක් වසර දහස් ගණනක් මුලුල්ලේ ලේ, සුසුම් දහදිය හෙළා රැකගත් යම් ජන වර්ගයක් වේ නම් ඔවුනට එහි පරම අයිතියක් ඇති බව පිළිගැනීමට අමුතු ව්‍යවස්‌ථා කොලකැබලි අවශ්‍ය නැත. මෙරට සිංහල, දෙමළ, මුස්‌ලිම් ආදී ජනවර්ග සියයට අනූ පහකට ම කථා කළ හැකි එක ම භාෂාව ද සිංහලයි. විහිලුව නම් සියයට පහකට පමණ සිංහල ව්‍යවහාර කිරීමට ඇති නොහැකියාව නිසා සමස්‌තයට ම දෙමළ උගෙනීමට බල කිරීමයි. කළයුත්ත නම් සිංහල නොදත් සියයට පහට සිංහල ඉගැන්වීම මිස දෙමළ නොදත් සියයට හැත්තෑවකට හෝ අසූවකට දෙමළ ඉගැන්වීම නොවේ. එය වඩා පහසු, ලාභදායී හා ඵලදායී ද වෙයි. එසේ ම දෙමළ යනු ජාත්‍යන්තර භාෂාවක් නොවේ. දෙමළ බස හැදෑරීමට සිංහලයාට බල කිරීම මහජාතියේ අයිතිවාසිකම් උල්ලංඝනය කිරීමක් මෙන්ම ජනවාර්ගික අසන්තෝෂය ඇතිකිරීමට හේතුවක් බව වටහා ගැනීමට ඊනියා සහජීවන බලධාරීන්ට නොතේරෙන්නේ මන්දැයි සිතිය යුතුය.
රටේ ඒකීය භාවය
මේ වන විට ව්‍යවස්‌ථා සංශෝධනයකට රට තල්ලුවෙමින් පවතී.සාමාජිකයන් විසි හතර දෙනෙකුගෙන් සමන්විත ව්‍යවස්‌ථාව සඳහා මහජන අදහස් ලබා ගැනීමේ විද්වත් මණ්‌ඩලය නමින් කමිටුවක් ද පත්කොට මාධ්‍ය මගින්මේ වන විට හෙළිදරවු කොට ඇත. එයින් අතලොස්‌සක් දෙනෙක් හැරෙන්නට රටේ ඒකීයභාවය හා ස්‌වාධිපත්‍යය ගැන සාධාරණ ලෙස සිතන චරිත නොමැති බව ඔවුන්ගේ ඉතිහාසය දෙස බැලීමෙන් පැහැදිලි වෙයි.විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, කොමිෂන් සභා පත්කිරීම ආදී ආකර්ෂණීය මාතෘකාවන් කිහිපයක් ඉදිරියේ තබා රට බෙදීමට අදාළ ව්‍යවස්‌ථා වගන්ති සැකසීමේ කුමන්ත්‍රණයක් මේ තුළ අනිවාර්යයෙන් ම පවතින බව පැහැදිළිය. මිනීමරු ත්‍රස්‌ථවාදීන්ගේ මානව හිමිකම් ගැන සානුකම්පිත වන, හමුදා විරුවන් පෝරකයට හා සිපිරිගෙයට යවන වත්මන් ආණ්‌ඩුව රටේ ඒකීය භාවය ගැන සැලකිලිමත් වීම පිළිබඳව කිසිසේත් බලාපොරොත්තු තැබිය නොහැකිය. එවන් ව්‍යවස්‌ථාවක් මගින් රට ජනවාර්ගික පදනමක් මත කැබලි කළහොත් සටන් කොට වත් නැවත දේශය එක්‌සත් කළ නොහැකිය. ඉන්දියාවේ කිසිවෙකුටත් රට කැබලි කිරීමට තබා ඒ වෙනුවෙන් කථා කිරීමටවත් අවකාශ නොමැති අයුරින් ව්‍යවස්‌ථාව සම්පාදනය කොට ඇත. තමිල්නාඩුව වෙනම රාජ්‍යයක් ලෙස නොඉල්ලා උතුරු නැගෙනහිර බෙදා ඉල්ලීමට සහයෝගය පළකරන්නට ජයලලිතාට සිදුව ඇත්තේ එබැවිනි. එනිසා අභිනව ව්‍යවස්‌ථාවෙහි කිනම් තරමේ සුබවාදී ආකර්ශනීය වගන්ති ඇතුළත්ව ඇතත් රටේ ඒකීයභාවය පිළිබඳව වන වගන්තිය කිසිදු අයුරකින් නිශේධනය නොවීමට වගබලා ගත යුතුය. ඒ වෙනුවෙන් නිරවුල් මතයක මුල සිට ඉදිරියේ දී ජනමත විචාරණයක දී හෝ සහය පළ කිරීම හෝ විරුද්ධ වීම ජනතාව සතුය. කිසියම් අහිතකර ව්‍යවස්‌ථාවක් මේ ආකර්ෂණීය මාතෘකා මැද සම්මත වුවහොත් එයින් ගැලවීම සිදුවන්නේ ද ව්‍යවස්‌ථා රාමුව තුළ සිට ම බව තරයේ මතක තබා ගත යුතුය.
ගෝලීය ත්‍රස්‌තවාදය
අයි එස් සටන්කාමීන් මේ වන විට පෘථිවි තලයම ආගමික අන්තවාදය පදනම් කොටගත් අමානුෂිsක ක්‍රියා හරහා භීතියට පත්කොට හමාරය. එයින් මිදීමට ප්‍රංශය ඇමරිකාව, රුසියාව ආදී බලවත් රටවල්වලට ද නොහැකි වී ඇත. එවන් පසුබිමක් තුළ අත්තනෝමතික හා අනීතික මුස්‌ලිම් ක්‍රියාකාරකම්වලට ලැබී ඇති සහනශීලී අවකාශ එවන් භයානක කණ්‌ඩායම් මතුවී ඒමකට තෝතැන්නක් විය හැකිය. ජන සම්මිශ්‍රණය වෙනුවට වෙනම කලාප දක්‌වා සුළු ජාතික ජනපද ව්‍යාප්ත වීම මෙහිලා ඉතා භයානකය. මෙම තත්ත්වය දෙමළ කොටි ප්‍රශ්නයට වඩා බියකරු ප්‍රතිඵල අත්කර දිය හැකිය.එවන් පසුබිමකට ඇති ඉඩ ප්‍රස්‌ථා අහිමි කිරීම සඳහා දේශපාලන අධිකාරිය සබුද්ධිකව ඉදිරිපත් විය යුතුය. එය තිසරපටයකට වඩා විශාල ප්‍රශ්නයක් බව දේශපාලන අධිකාරිය තේරුම් ගත යුතුය.
ජනතා පරමාධිපත්‍යය හා විශ්වාසය
අන්තවාදී ඉලක්‌ක විෂයෙහි බලාපොරොත්තු ඇතිකොට සුළු ජනවර්ගයන්ගේ සමස්‌තය දිනා ගැනීම හරහා බහුතරය පෙන්විය හැකි වුවත් එය රටෙහි පොදු ජන මතය ලෙස සැලකිය නොහැකිය. ඒ ඒ පුද්ගලයන් හා බැඳුණු පෞද්ගලික ගැටලු පොදු සමාජගත ප්‍රශ්න ලෙස හුවා දක්‌වමින් අපේක්‍ෂිත දේශපාලන අරමුණු ඉටුකර ගැනීමේ සාහසිකත්වයට පසුගිය වසර තුළ ලක්‌දිව ගොදුරු වූ බව අමතක නොකළ යුතුය. එබැවින් එය සැබෑ ජනතා ප්‍රශ්න හඳුනා ගැනීමට හෝ ඒවා විසඳීමට සුදුසු විකල්පයක් නොවී ඇත. එහෙයින් ජනතා පරමාධිපත්‍යය ජනතාවට මිස බලලෝභී දේශපාලනයට හැසිරවීමට ඉඩකඩ නොසැලසිය යුතුය. එය ම පෙරළා ජනතා විශ්වාසය බවට පත්වෙයි. එය සතුට මූලික කරගත් සමාජ ව්‍යqහයක් සකස් කිරීමට මහෝපකාරී වෙයි.
දේශීය – විදේශීය කුමන්ත්‍රණ හමුවේ සිංහලය
ලොව මුස්‌ලිම් ජනගහනය මිලියන 1600 ඉක්‌මවා ඇත. දෙමළ ජනගහනය මිලියන 350 පමණ වෙයි. එහෙත් සිංහල ජනගහනය මිලියන 12 ක් බව අමතක නොකළ යුතුය. එවන් පසුබිමක් තුළ සිංහලයා වඳවී යැමේ භයානක තර්ජනයකට මුහුණ දී ඇතත් තවමත් අප රට දේශපාලකයිනට හෝ ඊනියා සහජීවන වැද්දනට එය නොපෙනෙන්නේ කවර අවාසනාවක් නිසාද? පසුගිය රජය සමයේ පකිස්‌තානය ආදී රටවල්වලින් මසකට කිහිප වතාවක් නීති විරෝධී ලෙස ගබ්සා පෙති එන්නත් ගෙන ආ හා නීතියේ රැහැනට හසුකරගත් අය දැන් එම ක්‍රියාකාරීත්වය සහමුලින් අත් හැර දමා ඇත් ද? නැත. සහජීවනය පලුදු වේ යෑයි මේ වන විට ඒ සියල්ල කෙරෙහි උපේක්‍ෂා සහගතව සිටීමට ආණ්‌ඩුවට සිදුවී තිබීම අවාසනාවකි.
අප දැන් පසුවන්නේ ආගම ව්‍යාප්ත කිරීම වෙනුවෙන් ලේ තැවරුණු ඉතිහාසයක් ඇති ආගමිකයන් ඉදිරියේ කරුණාව දයාව අනුකම්පාවේ ප්‍රතිමූර්තිය වන් බුදුසමය ලක්‌දිව පැවැති යුද්ධයට වගකිවයුතු බවට ප්‍රකාශ කිරීමට තරමට ශක්‌තිමත් බලවේග ක්‍රියාත්මක වන හා ආගම ඉගැන්වීම වඩාත් විධිමත් කළයුතු යුගයක ආගම පාසල් විෂය මාලාවෙන් ඉවත් කිරීම පිළිබඳව සාකච්ඡා කිරීම දක්‌වා ඔඩුදුවා ඇති අවස්‌ථාවකය.
පාලම් ප්‍රතිසංස්‌කරණ හා කොමිසම්
එළුවා මස්‌කර විකුණුව ද මසට විකුණුව ද සිදුවන්නේ එකම දෙයකි. බෙදුම්වාදයට ගැති වී රට කොටස් කිරීම එළුවා මස්‌කර විකිණීම වැනිය. අධිරාජ්‍ය ව්‍යාප්තවාදයට යටවීම එළුවා මසට විකිණීම වැනිය. ව්‍යවස්‌ථා සංශෝධනයට නෝවීජියානු උපදෙස් ද, හමුදා ප්‍රතිසංස්‌කරණ සඳහා එංගලන්ත මුදල් හා නියෝජිතයින් ද සහජීවනය සඳහා ඇමරිකානු කොමිසම් ද මදිවී ඉන්දියාවට පාලමක් තැනීම දක්‌වා ද අප ස්‌වාධීනත්වය පාවා දීම වළක්‌වා ගැනීම මෙම වසරේ ශ්‍රී ලංකාව හමුවේ ඇති අභියෝගයයි. එය නව වසරේ ජාතික අභිලාෂය ද වෙයි.
රාජකීය පණ්‌ඩිත ආචාර්ය මැදගොඩ අභයතිස්‌ස ස්‌ථවිර
ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය, පාලි හා බෞද්ධ අධ්‍යයන අංශය,
ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය.
උපුටා ගැන්ම දිවයින