Colombo Today Local News

කටුවපිටියේ බෝම්බකරු නැවතී සිටි නිවසේ හිමිකරුගේ සාක්ෂිය

අද(18)දින ජනාධිපති පරික්ෂණ කොමිසන් සභාව හමුවේ සාක්ෂි ලබාදෙනු ලැබුවේ පාස්කු ඉරු දින කටුවාපිටිය දේවස්ථානයට මරාගෙන මැරෙන බෝම්බ ප්‍රහාරය එල්ල කළ බෝම්බකරු රැදී සිටි නිවසේ හිමිකරු සහ ඒ අවට පදිංචිකරුවන් කිහිපදෙනෙකුය.

ප්‍රහාරය සිදු කළ ත්‍රස්තවාදීන් රැඳී සිටි බවට විමර්ශනවලදී අනාවරණය කර ගත් අදාළ නිවසේ හිමිකරු පළමුව කොමිසම හමුවේ සාක්ෂි දෙමින් කියා සිටියේ අදාළ නිවස කුලියට දීම සඳහා තමන් විසින් අන්තර්ජාලයේ පල කළ දැන්වීමකට අනුව ඉකුත් වසරේ ජනවාරී මස 30 වෙනිදා මොහොමඩ් අසාම් මොහොමඩ් මුබාරක් සහ තවත් පුද්ගලයෙකු එම නිවස කුලියට ගැනීමට පැමිණි බවයි.

එම වසරේ පෙබරවාරි මස 03 වන දින නීතිඥවරියක් ඉදිරියේ නිවස කුලියට ලබා දීම සිදුකළ බව නිවෙස් හිමිකරු කියා සිටියේය.

මෙහිදී ජනාධිපති කොමිසමේ විනිසුරුවරුන් විමසා සිටියේ එම නිවසේ කොපමණ පිරිසක් පදිංචි වන්නේද යන්න නිවස කුලියට ගැනීමට පැමිණි තැනැත්තාගෙන් විමසා සිටියේද යන්නයි.

පිරිමි පුද්ගලයින් සිව්දෙනෙකු, කාන්තාවන් දෙදෙනෙකු සහ කුඩා ළමුන් දෙදෙනෙකු නිවසේ පදිංචි වන බවට අදාළ පුද්ගලයා තමන්ට පැවසූ බව සාක්ෂිකරු කියා සිටියේය.

එසේම ඔවුන් පැමිණි හේතුව සම්බන්ධයෙන් විමසූ විට ඔවුන් සදහන් කර ඇත්තේ හැදල වත්තල ප්‍රදේශයේ පවත්වාගෙන යන සපත්තු කර්මාන්ත ශාලාවක සේවය සඳහා පැමිණි තමන් ඉදිරියේදී තවත් කර්මාන්ත ශාලාවක් මීගමුව ප්‍රදේශයෙන් ඉදිකිරීමේ බලාපොරොත්තුවක් ඇති බැවින් මෙම නිවස කුලියට ගැනීමට තීරණය කළ බවයි.

නිවස කුලියට ගන්නා අවස්ථාවේ යම් අත්තිකාරම් මුදලක්ලබා දුන්නේද යන්න සම්බන්ධයෙන් නිවෙස් හිමිකරුට යොමු කළ පැනයකට පිළිතුරු දෙමින් ඔහු කොමිසම හමුවේ කියා සිටියේ මසකට රුපියල් 43,000 බැගින් මාස 6ක කාලයක් සඳහා රුපියල් 258,000 ක අත්තිකාරම් මුදලක් සහ අමතරව මාස දෙකක කුලිය ඔවුන් විසින් එක්වර තමන්ට ලබා දුන් බවයි.

මෙම පිරිස ඉකුත් වසරේ අප්‍රේල් මස 5 වන දින මක්කම චාරිකාවක නිරත වන බව සඳහන් කරමින් පිටත්ව ගිය බව සඳහන් කළ සාක්ෂිකාර නිවෙස් හිමිකරු පැවසුවේ ඉන් අනතුරුව බෝම්බ ප්‍රහාරයට ආසන්න දිනක රාත්‍රියේ එම නිවසේ විදුලි පහන් දැල්වී තිබෙන ආකාරය අසල්වාසීන් විසින් දැක තිබූ බවයි.

අනතුරුව බෝම්බකරුවන් රැඳී සිටි නිවස ඉදිරිපිට නිවසේ පදිංචිකාරියක කොමිසම හමුවේ සාක්ෂි ලබා දීමට කැඳවනු ලැබුවා.

එහිදී ඇය සදහන් කළේ මෙම නිවසට කිහිප අවස්තාවකම විශාල පිරිසක් පැමිණ පිටත්ව යන අයුරු තමන් දුටු බවයි.

එමෙන්ම පාස්කු ප්‍රහාරය සිදුවීමට දින කිහිපයකට පෙර නිවසේ තිබූ කිසියම් ද්‍රව්‍යයක් කළු පැහැති බහාලුම්වල දමා පිටතට ගෙන යන අයුරු තම දියණිය දැක තිබූ බව ද සාක්ෂිකාරිය කොමිසම හමුවේ සඳහන් කළේය.

එමෙන්ම මොහොමඩ් මුබාරක් නැමැත්තා ජලය ගැනීමට අවස්ථා කිහිපයකදීම තම නිවසට පැමිණ ඇති අතර ඉන් එක් අවස්ථාවක තම දියණිය රැකියා කරන රතිඤ්ඤා නිෂ්පාදනය කරන කර්මාන්ත ශාලාව පිළිබඳව විමසීමක් කර ඇති බව ද සාක්ෂිකාරිය මෙහිදී සඳහන් කර සිටියේය.

Related posts

ඉන්දියානු මුස්ලිම් නායකයෙකු වෙනුවෙන් සැමරුම් උළෙලක්.. ජනපති ප්‍රධානත්වයෙන් හරසර පුදයි

colombotoday

බදුල්ල, මහියංගනය, පානදුර, වැලිගම, මහරගම, අගලවත්ත පොහොට්ටුවේ නාම යෝජනා ප්‍රතික්ෂේපයි

colombotoday

අවසරයකින් තොරව විදේස් මුදල් විකිණීම තහනම් කරයි

colombotoday

ආනයනික පොල් තෙල් වර්ග රැසක් කෑමට තියා ඇගේ ගාන්නවත් සුදුසු නෑ – පොල් සංවර්ධන මණ්ඩලයේ සභාපති

colombotoday

මඩකලපුව සියොන් දේවාස්ථානයේ ප්‍රහාරයට යොදාගත් යතුරු පැදිය තිහාරියේදී අල්ලයි….

colombotoday

උඩරට නැටුම සමග බරත නැටුමකුත් නටා අන්තවාදීන්ට ලැජ්ජා කරමු – ජාතික සංහිදියා ඇමති

colombotoday