තමිලිනී. ඒ නම දැන් රටුන්ගේ මතකයෙන් මැකී ගොස් සය අවුරුද්දකි. එනමුත් එල්ටීටීඊ සංවිධානය වෙල්ලමුල්ලි වයිකාල් බිමේ වැළලී යාමට පෙර තමිලිනීගේ නම දකුණේ ජනතාවට වඩා උතුරේ ජනතාවට හොඳට හුරු පුරුදුය. ඒ ඇය එල්ටීටීඊ සංවිධානයේ මහ බළකණුවක් වූ බැවිනි. දෙදහස් නවයේ මැයි මාසයේ ඇය හමුදා භාරයට පත් වන විට දරමින් හුන්නේ එල්.ටී.ටී.ඊ.යේ කාන්තා දේශපාලන අංශයේ නායිකාව ලෙසය. එල්.ටී.ටී.ඊ.ය විසින් බඳවාගනු ලැබූ තරුණියන්ට පාසල් ශිෂ්‍යාවන්ට ඊළමේ කතාව කියා දුන්නී ඇයය.
රට්ටු අතරේ තමිලිනී යනුවෙන් ප්‍රකට වුවත් එය ඇගේ නියම නම නොවේ. ඒ නම එල්.ටී.ටී.ඊ.ය විසින් ඇයට දෙනු ලැබූ නමයය. තමිලිනිගේ ඇත්ත නම ෂිවකාමි ෂිව සුබ්‍රනියම්ය. ඇය ඉකුත් දහඅටවැනිදා මිය ගියාය. ඒ පිළිකා රෝගයට ගොදුරු වීය. මිය යන විට ඕ 43 වියේ පසු වූවාය. තමිලිනී එල්.ටී.ටී.ඊ. සංවිධානයට එක්ව ඇත්තේ 1991 වසරේදීය. මනා අවි පුහුණුවක් ලැබූ තමිලිනී එල්.ටී.ටී.ඊ. සටන්කාරියක ලෙස ප්‍රහාර රැසකට හවුල් වූවාය. ඒ නිසාම එල්.ටී.ටී.ඊ. ලුතිනන් කර්නල් නිලය දක්වා ඉහළට ආ තමිලිනීට 2001 වසරේදී එල්.ටී.ටී.ඊ. කාන්තා දේශපාලන නායකත්වය පිරිනමනු ලැබුණි. එස්.පී. තමිල් සෙල්වන් දේශපාලන අංශයේ නායකයා ලෙස කටයුතු කරන අතරේ කාන්තා අංශයේ දේශපාලන අංශය භාරව කටයුතු කළේ තමිලිනීය. තමිල්සෙල්වම් ගුවන් ප්‍රහාරයෙන් මරු වැළඳගත් පසුව ඔහුගේ තැනට පත් වූයේ කොටි පොලිස්පති වූ බාලකුමාර් නඩේෂන්ය. එනමුත් තමිලිනී දිගටම කාන්තා අංශය භාරව හුන්නාය.
යුද්ධයේ අවසානයත් සමග 2009 මැයි මාසයේදී යුද හමුදාවට භාර වූ තමිලිනී 2012 දක්වා සිටියේ රැඳවුම් භාරයේය. අනතුරුව අධිකරණ නියෝග මත වසරක පුනරුත්ථාපන කාලයක් සඳහා වව්නියාව පුන්තෝට්ටම් හි පිහිටි පුනරුත්ථාපන මධ්‍යස්ථානය වෙත යොමු කෙරිණි.
පුනරුත්ථාපන මධ්‍යස්ථානය තුළ ඇය ඉතා නිහඬ චරිතයක් වූවාය. තමිලිනී කිහිප වරක්ම ලියුම්කරු හමු වූ නමුත් මාධ්‍ය වෙත අදහස් ප්‍රකාශ කිරීම ඇය ප්‍රතික්‍ෂේප කළාය. කෙටියෙන්ම කිවහොත් එල්.ටී.ටී.ඊ.ය පිළිබඳ මතක් කරනවාට පවා ඇය අකමැත්තක් දැක්වීය. 2013 වසරේදී අප්‍රසිද්ධියේම ඇය නිදහස් කෙරිණි.
නිදහස ලබන විට පක්ෂ කිහිපයකින්ම ඇයට දේශපාලනය කිරීම සඳහා ආරාධනා ලැබුණද ඇය එම ආරාධනා ප්‍රතික්‍ෂේප කළාය. කිලිනොච්චි පරන්තන් හි පිහිටි නිවසට ගිය තමිලිනී ගත කළේ සැඟවුණු දිවියකි. මහදේවන් ජයකුමාර් යන අය සමග විවාහ දිවියක් ගත කළ තමිලිනී සැඟවුණු දිවියක් ගත කිරීමට බල පෑ එක් හේතුවක් වූයේ ඇය දේශපාලන නායිකාව ලෙස කටයුතු කරන සමයේදී පාසල් වියේ පසුවන දෙමළ තරුණියන් සිය ගණනක් බලහත්කාරයෙන් එල්.ටී.ටී.ඊ.යට බඳවා ගැනීමට මුල් වී ක්‍රියාකිරීමයි. එම තරුණියන් බොහෝ දෙනෙක් එක්කෝ යුද්ධයෙන් මිය ගියහ. නැතහොත් තුවාල ලැබූහ.
Thamalini1 ප්‍රභාකරන්ගෙන් ලද අණ පරිදි එසේ කළ ද පසුකාලයේදී තරුණියන්ගේ මව්වරුන් ඒ පිළිබඳව තමිලිනීට දොස් නැගුවාය. අක්මාවේ පිළිකාවක් තිබෙන බව තමිලිනී දැනගෙන තිබුණේ මීට මාස කිහිපයකට පෙරය. එහිදී වෛද්‍ය උපදෙස් මත ඇය මහරගම පිළිකා රෝහලෙන් විකිරණ ප්‍රතිකාර කිහිප අවස්ථාවකදීම ලබාගෙන තිබුණි. රෝගී තත්ත්වය උත්සන්න වූ තමිලිනී ප්‍රතිකාර සඳහා කිලිනොච්චිය රෝහලට ඇතුළත් කරනු ලදුව ඉකුත් 14දා වැඩිදුර ප්‍රතිකාර සඳහා මහරගම පිළිකා රෝහලට යොමු කෙරිණි. එහි ප්‍රතිකාර ලබමින් සිටියදී 18දා අලුයම 3.15ට පමණ ඇය අවසන් හුස්ම හෙළුවාය.
තමිලිනීගේ අගය කළ යුතු දෙයක්ද තිබුණි. නිදහස ලැබූ වෙනත් එල්.ටී.ටී.ඊ. නායකයින් මෙන් ඇය විදේශගත වීමට කිසිදු උත්සාහයක් ගත්තේ නැත. යුද අපරාධ බෝඩ් ලෑලි එල්ලාගෙන ඇය කිසිදු තැනකට නොගියාය. එසේ වුවද ඇය තම ජීවිත කතාව පොතක ලියා තැබිමට කටයුතු කළාය. ඇය වරක් පවසා තිබුණේ මීට පෙර සිංහල සමාජය ඇසුරු කිරීමට ලැබුණා නම් තමා එල්.ටී.ටී.ඊ.යට නොබැඳෙන බවය. යුද්ධයේදී බොහෝ එල්.ටී.ටී.ඊ. නායකයින් හමුදා ප්‍රහාරවලින් මිය ගියද තමිලිනීට තම ජීවිතය බේරාගෙන මව්පියන් සමග දිවි ගෙවීමට වාසනාව ලැබි තිබුණි. එහෙත් ඒ වාසනාව වසර 06කට සීමා වුණි. මරුවා ඇයව සොයාගෙන පැමිණ තිබුණි.
නිදහසින් පසුව ජීවත්ව සිටියදී එල්.ටී.ටී.ඊ.ය හා දේශපාලනය ප්‍රතික්‍ෂේප කළ තමිලිනී මියගිය පසුව දෙමළ සන්ධාන නායකයින් තමිලිනී ප්‍රතික්‍ෂේප කළ දෙය එළිපිට කළෝය. තමිලිනීගේ මෘත දේහය පරන්තන් හි නිවසට රැගෙන එන විට 18දා රාත්‍රිය එළැඹ තිබුණි. මෘත දේහයට අවසන් ගෞරව දැක්වීම සඳහා දෙමළ සන්ධාන මන්ත්‍රීවරුන් වන මාවෙයි සේනාධිරාජා එස්. ශ්‍රීදරන් හා අරියෙන්ද්‍රන් යන අය පැමිණියහ. තමිලිනී එල්.ටී.ටී.ඊ.ය වෙනුවෙන් කළ කැපවීම අගය කරමින් ඇය වීරවරියක බව කියා තිබුණි. සාමාන්‍ය ගැහැනියක ලෙස මියගිය තමිලිනී එල්.ටී.ටී.ඊ. නායිකාවක ලෙස අවසන් ගමනේ යැවීමට දෙමළ සන්ධාන නායකයින් උත්සාහ දරා තිබුණි.
සනත් ප්‍රියන්ත