Colombo Today Local News

“බදියුදීන් ගැන රහස් පොලිසියේ වාර්තාව අනුව පාර්ලිමේන්තුවත් ක්‍රියා කළ යුතුයි” අගමැති

පාස්කු ඉරිදා ප්‍රහාරය පිළිබඳව විමර්ශනය කළ රහස් පොලිසිය ඉදිරිපත් කළ වාර්තාවෙන් රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයා නිදොස් කර ඇති හෙයින් පාර්ලිමේන්තුවද ඒ වාර්තාව පදනම් කර ගනිමින් ක්‍රියා කළ යුතුව ඇතැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ත්‍රිකුණාමලය කින්නයාහිදී ඊයේ (14) පැවසීය.

රිෂාඩ් බදියුදීන් ඇමැතිවරයාට චෝදනා 300ක් පමණ එල්ල වී තිබුණද එම චෝදනා හා බහුතරය කිසිදු පදනමක් නොමැති බවත් සමහර චෝදනා විභාග කර බැලුවත් පැමිණිලි කරන්නට කිසිවක් නොමැති බවත් රහස් පොලිස් වාර්තාවෙන් දැනුම් දී ඇතැයි ද අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කළේ ය.

කින්නියා මධ්‍ය මහා විද්‍යාලයේ ක්‍රීඩාගාරය විවෘත කිරීමේ උත්සවයට සහභාගීවෙමින් මේ පිළිබඳව තවදුරටත් අදහස් දැක්වූ අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා මෙසේ කීය.

“පාස්කු ඉරිදා සිද්ධියෙන් පසු යුද හමුදාපතිට බලපෑමක් කළැයි රිෂාඩ් බදියුදීන් ඇමතිවරයාට මුලින්ම චෝදනාවක් එල්ල වුණා. පසුව යුද හමුදාපතිවරයා එවැනි බලපෑමක් නොකළ බව කියා තිබුණා.

රිෂාඩ් බදියුදීන් ඇමතිවරයා ගැන රහස් පොලිස් වාර්තාව කතානායකවරයාට යවා තිබෙනවා.

මේ පිළිබඳව කාදිනල්තුමා මුණගැසී කරුණු දැනුම් දෙන ලෙස රහස් පොලිසියට සහ තේරීම් කාරක සභාවට පවසා තිබෙනවා. කතෝලික ජනතාවට සාධාරණ කෝපයක් තිබුණා ඒ ගැන විභාග කරන්න. කවුරුන් හෝ බාධා කරනවා දැයි ඔවුන් දැනගත යුතුයි.

මෙම රහස් පොලිස් වාර්තාව ප්‍රතික්ෂේප කරන ලෙස ඇතැමුන් කියා තිබෙනවා. එය ප්‍රතික්ෂේප කිරීම නුවණට හුරු දෙයක් නොවේ. එක වාර්තාවක් ප්‍රතික්ෂේප කළොත් පොලිසියේ සම්පූර්ණ විභාගයන් ගැන සැකයක් ඇතිවෙනවා.

නඩුවක් පැවරීමේදී පවා එවිට ප්‍රශ්නයකට මුහුණ දිය හැකියි. වාර්තාවේ කොටසක් පිළිගෙන කොටසක් පිළිනොගන්නේ කෙසේදැයි කවරෙකුට වුවත් විමසීමට හැකියාව තිබෙනවා. එය රහස් පොලිසියේ කටයුතු අඩපණ කිරීමක්” යැයි අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා පැවසීය.

Related posts

‘සේනා’ මර්දනයට පරපෝෂිතයෙක්

Admin

අද සහ හෙට දුම්රිය ධාවනයේ ප්‍රමාදයක්

Admin

පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සෞඛ්‍ය ආරක්ෂක විධිවිධානවලට අනුකූලව කටයුතු කළ යුතුයි – කථානායක මහින්ද යාපා

colombotoday

මරදාන මරියකඩෙන් සඟවාගෙන සිටි බිත්තර එළියට

Admin

විදෙස්ගත ලාංකික ශ්‍රමිකයින් 142ක් කොවිඩ් ආසාදිතව මිය ගිහින්

colombotoday

මිලියන 45,000ක භාණ්ඩාගාර බිල්පත් වෙන්දේසියක් අද

colombotoday