Colombo Today Local News

“දුමින්ද සිල්වාට එරෙහි ප්‍රධාන සාක්‍ෂිය හිරුණිකා ගොතන ලද බොරු සාක්‍ෂියකි”

භාරත ලක්‍ෂ්මන් ඝාතනය සම්බන්ධයෙන් දුමින්ද සිල්වාට එරෙහිව ඇති ප්‍රබලතම හා කෙළින්ම කරුණු ප්‍රකාශ වන 27 වැනි සාක්‍ෂිය පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර විසින් සිදු කිරීමෙන් දින 6කට පසු තම පවුලේ සමීපතමයකු ලවා දෙන ලද හිතාමතා ගොතන ලද බොරු සාක්‍ෂියක් බවත් එබැවින් එම සාක්‍ෂිය පිළිගැනීම මත දෙන ලද තීන්දුව ඉවත දැමිය යුතු බවත් ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා එම නඩු තීන්දුවට එරෙහි පෙත්සම් විභාගයේදී ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේදී පසුගියදා කියා සිටියේය.
එපමණක් නොව නඩු විභාගයේදී දී ඇති පැමිණිල්ලේ සියලුම සාක්‍ෂි පරස්පරතා සහ උෟනතාවන්ගෙන් යුක්ත බවත් එකී සියලු කරුණු සලකා බැලීමේදී භාරත ලක්‍ෂ්මන් ඝාතන නඩු තීන්දුව සහමුලින්ම ඉවත දැමිය යුතුව ඇති බවත් ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.

ඔහු එලෙස ප්‍රකාශ කළේ ඉකුත්දා (10දා) දෙවැනි දිනටත් ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ පැවැති එකී නඩු තීන්දුවට එරෙහි විශේෂ අභියාචන පෙත්සම් විභාගයේදීය.
පංචපුද්ගල විශේෂ ශේ‍ර්ෂ්ඨාධිකරණ විනිශ්චය මණ්ඩලයක් හමුවේ මෙම විශේෂ අභියාචනා පෙත්සම් විභාගය පැවැත්වේ.

අගවිනිසුරු ප්‍රියසාත් ඩෙප් මහතාගේ ප්‍රධානත්වයෙන් බුවනෙක අළුවිහාරේ, ප්‍රියන්ත ජයවර්ධන, නලින් පෙරේරා සහ විජිත් කේ. මලල්ගොඩ යන විනිසුරුවරුන්ගෙන් එකී විශේෂ පංචපුද්ගල විනිසුරු මඬුල්ල සමන්විතය.

2011 ඔක්තෝබර් මස 08 වැනි දින පැවැත්වුණු පළාත් පාලන මැතිවරණය දිනයේ කොලොන්නාව – මුල්ලේරියාව මැතිවරණ බලප්‍රදේශය තුළදී හටගත් දේශපාලන බහින්බස් වීමකදී සිදුවී යැයි කියන වෙඩි හුවමාරුවකින් හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍ර ඇතුළු සිවුදෙනකු මියගිය අතර හිටපු පාර්ලිමේන්තු මන්ත්‍රි ආර්. දුමින්ද සිල්වා ඇතුළු තවත් පිරිසක් බරපතළ තුවාල ලබා ඇත.

මෙම සිද්ධිය සම්බන්ධයෙන් දුමින්ද සිල්වා හිටපු මන්ත්‍රිවරයාටත් ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු තිදෙනකුටත් එරෙහිව චෝදනා එල්ල වූ අතර හිසට වැදුණු වෙඩි ප්‍රහාරයෙන් මොළයට සිදුවූ බරපතළ තුවාල හේතුවෙන් සිහි විසඥව සිටි දුමින්ද සිල්වා මන්ත්‍රිවරයාගෙන් කටඋත්තර ලබා ගැනීමට නොහැකි වීම නිසා පරීක්‍ෂණ කටයුතු දිගින් දිගටම දීර්ඝ කාලයක් තිස්සේ ප්‍රමාද විය.

මේ අතර 2015 ජනවාරි මස පැවැති ජනාධිපතිවරණයෙන් පසු පරීක්‍ෂණ නව මුහුණුවරක් ගත් අතර පරීක්‍ෂණ කඩිනම් කොට නීතිපතිවරයා විසින් එම වර්ෂයේදී කොළඹ මහාධිකරණය හමුවේ දුමින්ද සිල්වාත් ඔහුගේ ආරක්‍ෂක නිලධාරීන් ඇතුළු තවත් තිදෙනකුටත් එරෙහිව එම ඝාතනය සම්බන්ධයෙන් අධිචෝදනා පත්‍ර ගොනු කරනු ලැබීය.
අංක 7781/15 දරන එම නඩුව හදිසි හා විශේෂ නඩු කටයුත්තක් සේ සලකා එක දිගට විභාගකොට කඩිනමින් තීන්දුවක් ලබාදීම සඳහා විශේෂ ත්‍රිපුද්ගල මහාධිකරණයක් පත් කිරීමට අධිකරණ ඇමැතිවරයාගේ විශේෂ මඟ පෙන්වීම මත අගවිනිසුරු කේ. ශ්‍රී පවන් මහතා විසින් පියවර ගනු ලැබීය.

ඒ අනුව එක දිගට එම නඩු විභාගය
ආරම්භ විය.
ජේ‍යෂ්ඨ මහාධිකරණ විනිසුරු ශිරාන් ගුණරත්න මහතාගේ ප්‍රධානත්වයෙන් වූ පද්මිණී රණවක හා එම්.සී.බී. මොරායස් යන මහාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත වූ ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලය 2016 සැප්තැම්බර් මස 08 වැනි දින නඩු විභාගය අවසානයේ සිය තීන්දුව ප්‍රකාශයට පත්කරනු ලැබීය.
බෙදුණු තීන්දුවක් ලෙස ප්‍රකාශයට පත්වූ එම නඩු තීන්දුවේදී සභාපති විනිසුරු ශිරාන් ගුණරත්න මහතා සිය තීන්දුව වෙන්ව ප්‍රකාශ කරමින් සඳහන් කළේ නඩු විභාගයේදී ඉදිරිපත් වූ කිසිදු සාක්‍ෂියකින් විත්තිකාරයන්ට එරෙහිව නීතිපතිවරයා විසින් නඟා ඇති චෝදනා ඔප්පු කිරීමට අසමත් වී ඇති බවය.

ඒ අනුව විත්තිකරුවන් සියලුම දෙනා සියලු චෝදනාවලින් නි‍ෙදාස්කොට නිදහස් කරන බවට ඔහු සිය තීන්දුවෙන් ප්‍රකාශ කළේය.
එහෙත් සෙසු විනිසුරුවරුන් දෙදෙනා සිය තීන්දුවෙන් ප්‍රකාශ කර සිටියේ පැමිණිල්ලේ සාක්‍ෂිවල විවිධ පරස්පරතා සහ උෟනතා දක්නට ඇති නමුදු සමස්තයක් වශයෙන් ගෙන බලනවිට එම සාක්‍ෂිවලින් ප්‍රකාශ වූ කරුණු අනුව යම් සිද්ධීන් මාලාවක් සිදුව ඇති බවත් ඒවාට විත්තිකරුවන් වගකිව යුතු බවක් හැඟී යන හෙයින් ඉහත පරස්පරතා හා උෟනතා සැලකිල්ලට නොගෙන විත්තිකරුවන් සියලුදෙනා වැරැදිකරුවන් කරමින් ඔවුන්ට මරණීය දණ්ඩනය නියම කරන බවය.
එම තීන්දුවට එරෙහිව විත්තිකරුවන් විසින් අභියාචනයක් ඉදිරිපත් කරන බව එදිනම ත්‍රිපුද්ගල විනිශ්චය මණ්ඩලයට දන්වා සිටි අතර පසුව එකී අභියාචනා සකස්කොට ශේ‍ර්ෂ්ඨාධිකරණයට යැවීම සඳහා මහාධිකරණ විනිසුරු මඬුල්ල වෙත භාර දෙනු ලැබීය.

මහාධිකරණය විසින් ගොනු කරන ලද සියලු සාක්‍ෂි සටහන් හා අනෙකුත් ලේඛනද අන්තර්ගත කොට සකසන ලද විශේෂ අභියාචනා පෙත්සම් පිටපත් 6 බැගින් නඩු ගොනු 24ක් මහාධිකරණයේ ලේඛකාධිකාරිවරිය විසින් පසුව ශේ‍ර්ෂ්ඨාධිකරණ ලේඛකාධිකාරිවරිය වෙත භාරදෙනු ලැබීය.

ඉනික්බිති එම නඩු ගොනු පිරික්සීමෙන් අනතුරුව 2017 නොවැම්බර් මස 27 වැනි දින ප්‍රථමවරට පෙත්සම් පාර්ශ්වය ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවට කැඳවන ලද අතර යළි 2018 මාර්තු මස 26 හා 27 වැනි දිනයන්හිදී මූලික කරුණු විමසුම සිදුකරනු ලැබීය.
පෙත්සම් විභාගය ඉකුත් 08 වැනි දින ආරම්භ වූ අතර දෙවැනි දිනටත් 10 වැනි දිනද එම පෙත්සම් විභාගය සිදුවිය.

11 වැනි විත්තිකරු වශයෙන් මහාධිකරණ නඩුවේදී නම් කරන ලද දුමින්ද සිල්වා වෙනුවෙන් ඔහුගේ නීතිඥ මණ්ඩලය ප්‍රථමයෙන් කරුණු ඉදිරිපත් කළ අතර ජනාධිපති නීතිඥ අනුජ ප්‍රේමරත්න මහතා තවදුරටත් ලබන 14 වැනි දින කරුණු දැක්වීමට නියමිතය.

අවසන් වශයෙන් ඔහු ශේ‍ර්ෂ්ඨාධිකරණය හමුවේ කරුණු තහවුරු කරමින් කියා සිටියේ මෙම ඝාතන නඩු විභාගයේදී තම සේවාදායකයා වන දුමින්ද සිල්වාට එරෙහිව ඔහු විසින් වෙඩි තබනු දුටු බවට ප්‍රකාශ කරන ලද එකම සාක්‍ෂිය වන 27 වැනි සාක්‍ෂිකරුගේ සාක්‍ෂිය සහමුලින්ම ගොතන ලද සාක්‍ෂියක් බවය.

එය තහවුරු කිරීමට ඔහු ඉදිරිපත් කරන ලද කරුණු අතර විශේෂයෙන් සඳහන් කරන ලද්දේ ඝාතනය සිදුවූ 2011 ඔක්තෝබර් 08 වැනි දින සාක්‍ෂිකාර සංජීව ප්‍රසාද් මරණකරු සමඟම එම සිද්ධිය වූ ස්ථානයටද පැමිණි බවත් තුවාල ලැබූ මරණකරු රෝහලට රැගෙන යෑමටද ඔහු සහාය වූ බවත්ය.

ඊටත් අමතරව ඔහු මරණකරු වන භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රගේත් එම පවුලේත් සමීපතම හිතවතකු වන අතර වරාය අධිකාරියේ රැකියාව තමාට ලබා දුන්නේද භාරත ලක්‍ෂ්මන් බවත් ඊට පෙර ඔහු භාරත ලක්‍ෂ්මන් ළඟ සේවය කළ බවත් භාරත ලක්‍ෂ්මන්ගේ බිරියට අසනීපයක් වූ විට බේත්හේත් ප්‍රතිකාර ලබාදීම සඳහා කැඳවාගෙන යන්නේ පවා තමා බවත් එකී සම්බන්ධතාව දිගටම ඒ ආකාරයෙන්ම සමීපව පවතින බවත් ඔහු අධිකරණය හමුවේදී විත්තියේ හරස් ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් පිළිගෙන ඇති බවත්ය.

එතරම් සමීප සම්බන්ධතාවක් තිබියදීත් සිද්ධිය වන අවස්ථාවේ මරණකරු සමඟම එම ස්ථානයට ගියා පමණක් නොව මරණකරු රෝහලට රැගෙන යෑමට පවා සම්බන්ධ වී තිබියදීත් සිද්ධිය සම්බන්ධයෙන් පොලිසියට හෝ මරණ පරීක්‍ෂණයේදී මරණ පරීක්‍ෂකවරයාට හෝ අධිකරණ වෛද්‍ය නිලධාරිවරයාට හෝ මහෙස්ත්‍රාත් පරීක්‍ෂණයේදී මහෙස්ත්‍රාත්වරයාට හෝ වචනයක්වත් ප්‍රකාශ නොකර සිට සිද්ධියෙන් දින 06කට පසු අපරාධ පරීක්‍ෂණ නිලධාරියකු තම නිවෙසට පැමිණ කටඋත්තරයක් ලබා ගන්නා තුරු සිටියේ කුමන හේතුවක් නිසාද යන ප්‍රශ්නය ගරු ශේ‍ර්ෂ්ඨාධිකරණයේ අති උගත් විනිසුරුතුමන්ලාගේ අවධානයට යොමු කරවන බැව් ජනාධිපති නීතිඥවරයා කියා සිටියේය.

ජනාධිපති නීතිඥ
”ගරු උගත් ශේ්‍රෂ්ඨාකරණ විනිශ්චයකාරතුමන්ලාණෙනි, සැබැවින්ම සිදුව ඇත්තේ පාර්ලිමේන්තු මන්ත්‍රි හිරුණිකා ප්‍රේමචන්ද්‍ර එනම් මරුණකරුගේ දියණිය දේශපාලන වශයෙන් මගේ සේවාදායකයා සමඟ ඇති වෛරය කේ‍රා්ධය පිරිමසා ගැනීම සඳහා මෙම තම පියාගේ මරණය අවස්ථාවක් කොට ගනිමින් තම පවුලේ සමීපතයකු වන මෙම සංජීව ප්‍රසාද් නමැති සාක්‍ෂිකරු පොලඹවා ගෙන මෙම සාක්‍ෂිය ගොතා ඉදිරිපත්කොට තිබීමයි.

හරස් ප්‍රශ්න ඇසීමේදී ඔහු ඉමහත් අසීරුතාවට පත්ව පිළිතුරක් නොදී සිටීමට සිදුවූයෙන් ඒ නිසා බව පැහැදිලි වන බවද ජනාධිපති නීතිඥවරයා වැඩිදුරටත් කියා සිටියේය.
ස්වාමිනී, අනෙකුත් කිසිදු සාක්‍ෂියකින් මගේ සේවාදායකයාට එවැනි චෝදනාවක් එල්ල වී නැහැ. එමෙන්ම මෙම සිද්ධියේදී මුලින්ම වෙඩි පහර එල්ලවී ඇත්තේ මගේ සේවාදායකයා වන දුමින්ද සිල්වාට බව පැමිණිල්ලේ සාක්‍ෂිවලින් පවා ප්‍රකාශ වී තිබෙනවා.

නඩු විභාගයේදී සෝලංග ආරච්චිගේ බිරිය නිලංකා මධුශානී කර ඇති ප්‍රකාශයද අසත්‍ය බව අනෙකුත් සාක්‍ෂිකරුවන්ගේ හා සාක්‍ෂිකාරියන්ගේ සාක්‍ෂිවලින් තහවුරු වෙනවා.
ඇය කියා ඇත්තේ සිද්ධිය වන අවස්ථාවේ තමා ග්‍රිල් එකකින් ආවරණය වූ ස්ථානයක මෙම සිද්ධිය දුටු බවයි.
එහෙත් අනෙකුත් සියලුම සාක්‍ෂිවලින් ප්‍රකාශ වී ඇත්තේ ඇය ‍ෙදාරගුලු දැමූ කාමරයක් තුළ ඒ අවස්ථාවේ සිටි බවයි. ඒ අනුව මගේ සේවාදායකයාට එරෙහිව ඇය විසින් කර ඇති ප්‍රකාශද අසත්‍ය ප්‍රකාශ බව තහවුරු වෙනවා.

ස්වාමිනී, ඇයගේ නැන්දණියගේ සාක්‍ෂියෙන් පවා ප්‍රකාශ වන්නේ ‘ලේලිවත් කාමරේට දාලා ‍ෙදාර වැසුවා’ කියලයි.
විමලාවතීගේ සාක්‍ෂියෙන්ද දමිත් සුරංගගේ සාක්‍ෂියෙන්ද, ලසන්ත රණසිංහගේ සාක්‍ෂියෙන්ද, හේමන්ත කුමාරගේ සාක්‍ෂියෙන්ද ලක්‍ෂ්මන් ප්‍රියන්තගේ සාක්‍ෂියෙන්ද ඒ බැව් ඉතා හොඳින්ම තහවුරු වෙනවා.

27 වැනි සාක්‍ෂිකරු වන සංජීව ප්‍රසාද්ම පමණයි මෙම සිද්ධිය විකෘති කරමින් භාරත ලක්‍ෂ්මන් ප්‍රේමචන්ද්‍රට ප්‍රථම වෙඩි පහර වැදුණා කියා ප්‍රකාශ කොට ඇත්තේ.
ස්වාමිනී, ලක්‍ෂ්මන් ප්‍රියන්තගේ සාක්‍ෂියෙන් පැහැදිලිවම ප්‍රකාශ වෙනවා මගේ සේවාදායකයා මරණකරු භාරත ලක්‍ෂමන් තල්ලු කර දමා ආපසු හැරුණා. ඒ අවස්ථාවේදී මගේ සේවාදායකයාට කවුරු හෝ වෙඩි පහරක් එල්ල කළා කියලා.

මගේ සේවාදායකයා විසින් භාරත ලක්‍ෂ්මන්ව අතින් තල්ලු කළ බවත් භාරත සමබරතාවයෙන් මිදී පැත්තට ඇලවුණු බවත්, ඒ ඇලවෙනවාත් සමඟම කවුරුත් හෝ මගේ සේවාදායකයාට එම වෙඩි පහර එල්ල කළ බවත් ඔහු තරයේ ප්‍රශ්නවලට පිළිතුරු දෙමින් වැඩිදුරටත් තහවුරු කර තිබෙනවා.

මුලින්ම වෙඩි වැදුණේ මගේ සේවාදායක දුමින්ද සිල්වාට බව සාක්‍ෂි කිහිපයකින්ම තහවුරු වී තිබෙනවා. එමෙන්ම 2, 3 හා 4 වැනි සාක්‍ෂිකරුවන්ගේ එනම් ලසන්ත වනසුන්දර, ලක්‍ෂ්මන් ප්‍රියන්ත, හේමන්ත කුමාර සහ රාජගුරුගේ ගාමිණී යන අයගේ සාක්‍ෂිවලින්ද පැහැදිලිව ප්‍රකාශ වී තිබෙනවා දෙදෙනාගේ වාහන දෙක එකිනෙක මුණගැසුණු බවත් එහිදී මගේ සේවාදායකයා වාහනයෙන් බැස එද්දී මරණකරුද ඔහුගේ වාහනයෙන් බැස ඇති බවත් එහිදී උණුසුම් වචන හුවමාරුවක් සිදුවූ බවත්ය.

ස්වාමිනී, ඒ සියලු ප්‍රකාශවලින් තහවුරු වන්නේ අපරාධ සිද්ධියක් පිළිබඳ කිසිදු සැලැස්මක් හෝ අරමුණක් හෝ අභිප්‍රායක් හෝ එහි නොවූ බවයි. නඩු විභාගයේදී ප්‍රකාශ වී ඇති හැම සත්‍ය ප්‍රකාශයකින්ම එය තහවුරු වී තිබෙනවා. ආරෝපිත, ප්‍රබන්ධිත, හිතාමතා ගොතා ඉදිරිපත් කරන ලද සාක්‍ෂි දෙකකින් පමණයි එවැනි අපරාධ ස්වරූපයේ කරුණු ප්‍රකාශ වී ඇත්තේ.

මේ සියලු කරුණු තුළින් පැහැදිලි වන්නේ මගේ සේවාදායකයාට එරෙහිව නීතිපතිවරයා ඉදිරිපත් කොට ඇති චෝදනාව වෙනත් යම් අයකුගේ හෝ පිරිසකගේ උවමනාව මත ඔහුගෙන් පළිගැනීම සඳහාම සංවිධානාත්මකව සැලසුම් සහිතව ගොඩනැඟුණු චෝදනාවක් බවයි.
පෙත්සම පිළිබඳව වැඩිදුර විභාගය මේ මස 14 වැනි දිනට නිම විය.

Related posts

ඇමති රාජිතගේ පත්කිරිම් දෙකක් අධිකරණය බල රහිත කරයි

colombotoday

මගේ ජාතික නායකයා ප්‍රභාකරන් පමණයි

colombotoday

පෞද්ගලික බැංකු දෙකකට මූල්‍ය බුද්ධි ඒකකයෙන් දඩ

colombotoday

වාද්දූවේ නිවසක් ගිනි ගනී

colombotoday

මෛත්‍රි යන්න කලින් සිංහරාජය තුන්ගුණයකින් වැඩි කරලා

colombotoday

එජාපයෙන් පුළුල් සන්ධානයක්… අලුත් නමකින් මැතිවරණයට…

colombotoday