වැඩ තහනම් කරන ලද දේශබන්දු පොලිස්පතිවරයා සම්බන්ධයෙන් තවත් විශේෂ විමර්ශනයක් ආරම්භ කර තිබේ.
තමාට එරෙහි ජීවිත තර්ජනයක් පවතින බැවින් තමන් හට ආරක්ෂාව ලබාදෙන ලෙස ඉල්ලා දේශබන්දු විසින් පොලිසියෙන් කරන ලද ඉල්ලීමක් ප්‍රකාරව මෙම විමර්ශනය අරඹා ඇතැයි මාධ්‍ය වාර්තා පළ කරයි.
විදෙස්ගතව සිටින පාතාල නායකයෙකු වන කංජිපානි ඉම්රාන් විසින් පොලිස්පති දේශබන්දුට එරෙහිව සිදු කරන ලද මරණ තර්ජනයක් පිළිබඳව ඉකුත්දා වෙබ් අඩවි, මාධ්‍ය නාලිකා සහ සමාජ මාධ්‍ය අතරේ පුවතක් පැතිර ගිය අතර, පොලිස්පතිවරයා ආරක්ෂාව ඉල්ලා සිටින්නේ මෙවැනි පසුබිමක් තුළයි.
පොලිස්පති දේශබන්දු සැඟව සිටි කාලයේ ඔහුට ලබාදී තිබූ ආරක්ෂක නිලධාරීන් ඉවත් කිරීමට කටයුතු කෙරුණු අතර, ඒ සම්බන්ධයෙන් පොලිස්පතිවරයා පසුවූයේ දැඩි කනස්සල්ලෙනි. එහෙයින්, මෙකී පාතාල තර්ජන සහ ආරක්ෂාව පිළිබඳ සැක සංකා ඔහුගේ පෙර පැවති ආරක්ෂාව ලබා ගැනීමේ කූටෝපක්‍රමයක්දැයි එක අතකින් සැක පහළ වෙයි.
එසේම, කංජිපානි ඉම්රාන් නැමැත්තා, ජනපති අනුර කුමාර සහ වත්මන් රජයද ඈඳමින් පසුගිය කාලයේ සිදු කළ බවට සමාජ මාධ්‍යයේ පළ වූ ප්‍රකාශයන්ද අතිශයින් ප්‍රශ්නගත වන අතර, මේ සියල්ලම එකම නාටකයක කොටස්දැයි සැක පහළ වෙයි.
කෙසේ වෙතත්, ඔහුගේ ආරක්ෂාව සම්බන්ධයෙන් ඉල්ලීමක් ඉදිරිපත් වී ඇත්නම් ඒ සම්බන්ධයෙන් සලකා බැලෙන බවට මහජන ආරක්ෂක අමාත්‍ය ආනන්ද විජේපාල මහතා ප්‍රකාශ කොට ඇති බැව් අද දෙරණ වාර්තා කර තිබිණි.
එසේම, ශ්‍රී ලංකා පොලිසිය කියා සිටින්නේ දේශබන්දු තෙන්නකෝන්ට ජීවිත තර්ජන ඇද්ද යන්න පිළිබඳව ආරක්ෂක තක්සේරුවක් කිරීමට නියමිත බවත්, ඔහුට ආරක්ෂාවක් ලබාදිය යුතු බවට නිර්දේශ කළහොත් එම ආරක්ෂාව ලබාදීමට පියවර ගන්නා බවත්ය.
සටහන – Chalana