Colombo Today Local News

තව රෝගීන් 10,000ක් ආවත් අපි ලෑස්තියි. | යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා කියයි.

කොරෝනා හෙවත් කොවිඩ් – 19 වසංගතය පාලනය කිරීම උදෙසා ජනාධිපතිවරයා විසින් ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වා පත් කෙළේ පළමු කොවිඩ් – 19 රැල්ල ශ්‍රී ලංකාව තුළ ව්‍යාප්ත වූ පසුගිය මාර්තු මාසයේය. මාස කිහිපයක් තුළ වැඩි කතාබහකට ලක් නොවූ කොව්ඩ් – 19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානය පිළිබඳව සති කිහිපයක සිට යළිත් කතාබහට ලක් වූයේ කොවිඩ් – 19 යළිත් මෙරට ව්‍යාප්ත වන්නට වූ නිසාය. මේ දෙවෙනි රැල්ලෙන් මේ වන විට රෝගීන් 10,000ක පමණ සංඛ්‍යාවක් හමුවී ඇති අතර ශීඝ්‍රයෙන් පැතිර යන මේ වසංගතය පාලනය සම්බන්ධව සිදු කරනු ලබන ඉදිරි කටයුතු හා සමාජයේ කතාබහට ලක්ව ඇති කරුණු සම්බන්ධයෙන් සංවාදයට එක් වන්නේ කොව්ඩ්-19 පැතිරීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානි, ආරක්‍ෂක මාණ්ඩලික ප්‍රධානී යුද හමුදාපති ලුතිනන් ජෙනරල් ශවේන්ද්‍ර සිල්වාය.

කොවිඩ් -19 වසංගතයේ දෙවෙනි රැල්ල කෙටි කාලයක් තුළ මේ තරම් ව්‍යාප්ත වුණේ ඇයි?

පළමු රැල්ලේදී අපට ප්‍රථම ආසාදිතයාගේ සිට අවශ්‍ය පියවර ගන්න පුළුවන් වුණා. ඒත් මෙවර දෙවන රැල්ල සෞඛ්‍ය අමාත්‍යාංශයට වාර්තා වුණේ ආශ්‍රිතයන් ව්‍යාප්ත වුණාට පසුවයි. මිනුවන්ගොඩ ප්‍රථම ආසාදිතයා වාර්තා වුණායින් පසුව ආශ්‍රිතයන් සොයන්න අප සිදු කළ පී.සී.ආර්. පරීක්ෂණ 150න් 101ක්ම ආසාදිතයන් වුණා. ඉන් පසුව 1000කට කළ පරීක්ෂණවලින් 700කට අධික පිරිසකට රෝගය වැළඳී තිබුණා. ඒ කියන්නෙ රෝගය ව්‍යාප්ත වෙලා තිබුණෙ. එවන් ව්‍යාප්තියක් පාලනය කිරීමයි අපට සිදු වුණේ. එම නිසා මේ පැතිරීම වැඩියි.

පළමු අවස්ථාවේ අපට තිබුණේ රෝගය ව්‍යාප්ත වීම පාලනය කරමින් රෝගීන් සොයා ගැනීමයි. දැන් තිබෙන්නේ ව්‍යාප්ත වූ රෝගය පාලනය කිරීමයි.

නමුත් ඉතා ඉක්මනින් මේ රෝගයේ ව්‍යාප්තිය සිදුවෙලා තියෙනවා නේද?

ඔව්, මෙවර රෝගය පැතිර යන වයිරසයේ බලපෑම ඉතා ඉහළයි. ආසාදිතයකුගෙන් පෙරට වඩා වැඩි දෙනෙකුට පැතිරෙන තත්ත්වයක් තියෙනවා. හොඳම උදාහරණයන් ලබා දෙන්නම්. පළමු රැල්ල මතු වූ අවස්ථාවේදී කන්දකාඩුවේ ආසාදිත ගුරුවරියක් හලාවත ප්‍රදේශයට පැමිණ තිබුණා. ඇය පොදු වාහන කිහිපයකත් ත්‍රිරෝද රථයකත් ගමන් කර තිබුණා. රටේ බහුතර දෙනා දැඩි බියකින් සිටියා ඇය හරහා විශාල පිරිසකට රෝගය පැතිරෙයි කියා. නමුත් කිසිවකුට රෝගය ආසාදනය වුණේ නැහැ. මෙවර තත්ත්වය ඊට වඩා වෙනස්. ආසාදිතයෙක් ‘ළඟින් ගියත්‘ රෝගය වැළඳෙන තත්ත්වයක් තියෙන්නෙ. කොහොම වුණත් මේ වන විට අපි මිනුවන්ගොඩ පොකුරේ ව්‍යාප්තිය පාලනය කරමින් ඉන්නේ.

පළමු රැල්ලට වඩා භයානක ව්‍යාප්තියක් රට පුරා පැතිර යනවා. විශේෂයෙන්ම පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හරහා ඇතිවුණු පොකුර දිවයින පුරාම පැතිර තිබෙනවා නේද?

මත්ස්‍ය වෙළෙඳපොළ හරහා ඇතිවුණු පොකුර තැන් තැන්වලට ගොස් තිබෙනවා. නමුත් එයින් බහුතරයක් ගම්පහ දිස්ත්‍රික්කයෙන් වාර්තා වන්නේ, කොළඹ හා කළුතරත් සිටිනවා. ඒ වගේම හැටන් නගරයේ රෝගීන් හමුවූ නිසා අපට හැටන් නගරයත් හුදෙකලා කරන්න සිදුවුණා. මත්ස්‍ය වෙළෙඳපොළ අනෙක් තැන් වගේ නෙමෙයි. මත්ස්‍යයන් ගෙන එන අය වගේම, අරගෙන යන්න පිරිස් බොහෝ ප්‍රදේශවලින් එනවා. ඒ හරහා පැතිර යාමක් සිදු වුණා.

නමුත් සමාජයේ මතයක් තියෙනවා මිනුවන්ගොඩ පොකුර ගැන දැන ගන්නට ලැබුණු විගස ගම්පහ දිස්ත්‍රික්කයට නිරෝධායන ඇඳිරි නීතිය පැනවූවා නම් පෑලියගොඩ පොකුර ඇති නොවන බවට…

එය එසේ වෙනවමයි කියල කිසි කෙනෙකුට කියන්න බැහැ. දෙවෙනි පොකුර මත්ස්‍ය වෙළෙඳ සල හරහා පැතිරුණත් අපට තවමත් කොවිඩ් දෙවෙනි රැල්ලේ ආරම්භය කොතැනද කියා ස්ථිරවම කියන්න බැහැ. කොහොමත් විදේශයකින් පැමිණි බව අපට පැහැදිලියි. මොකද පසුගිය සැප්තැම්බර් මාසය වන විට ශ්‍රී ලංකා සමාජයේ මේ වසංගතය තිබුණේ නැහැ.

එසේනම් කොවිඩ් – 19 පාලනයේ කොතැනක හෝ දෝෂයක් තිබිලා තියෙනව නේද?

වසංගත රෝගයක පාලනය, ව්‍යාප්තිය වැළැක්වීම එක් පාර්ශ්වයකට හෝ පිරිසකට කළ හැක්කක් නෙමෙයි. කොහොමත් වසංගතය මෙරට තුළ දෙවෙනි වරට පැතිරීමට අදාළ ව ක්‍රම 6කින් එකක් වන්නට පුළුවන්.

එයින් පළමුවැන්න තමයි විදෙස්ගතව සිට පැමිණෙන ශ්‍රී ලාංකිකයන් ගෙන්, නමුත් ඒ සියලු පිරිස් අපේ විශේෂ අධීක්ෂණය යටතේ නිරෝධායනය වුණා, පී.සී.ආර්. පරීක්ෂණයන් ගෙන් පසුව තමයි නිවෙස් බලා ගියේ. දෙවෙනි හේතුව විය හැක්කේ විදේශ රටවල නෞකාවල පිරිස් අපේ රටට එනවා අතරමැද නවාතැනක් ලෙසින්, ඔවුන් ගුවන් මඟින් හෝ නෞකා මඟින් පැමිණ ටික කාලයක් මෙරට හෝටලයක රැදී සිට අදාළ නෞකාවලින් ගමන් කරනවා. ඒ හරහාත් රෝගය පැමිණීමට යම් ප්‍රවණතාවක් තිබෙනවා. තුන්වෙනුව විදේශීය තානාපති කාර්යාලවල වරප්‍රසාද හිමි පුද්ගලයන් පැමිණෙනවා. ඔවුන් අන්තර්ජාතික සම්මුතීන් අනුව ආරක්ෂිතව පැමිණෙන්නේ. එම නිසා ඔවුන්ගෙන් රෝගය පැතිරීමේ ඉඩකඩ ඉතාම අඩුයි. සිවුවැන්න ලෙස මෙරටට විවිධ රටවලින් පැමිණෙන නැව් හරහාත් රෝගය පැතිර යන්නට ඉඩ තිබෙනවා. ඇතැම් නෞකා ඉන්ධන ලබා ගන්නට නැත්නම් වෙනත් අවශ්‍ය දේ ලබා ගන්නට පැමිණෙන්නේ. අපේ රටේ අය එම නෞකාවලට ගොඩවෙනවා. ඒ හරහාත් යම් ආකාරයක පැතිරීමට ඉඩ තිබෙනවා.

පස්වැන්න ලෙස පෙන්වා දිය හැක්කේ මෙරටට මුහුදු මඟින් අනවසර වෙළෙඳුන් හෝ මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන් පැමිණීමයි. ඒ අය අත්අඩංගුවට ගත්තත් යම් පිරිසක් එසේ අත්අඩංගුවට පත් නොවී රට තුළට පැමිණෙනවා. ඒ හරහාත් රෝගය ව්‍යාප්ත වුණා වන්නට පුළුවන්.

එමෙන්ම හය වැන්න ලෙසින් මෙරටට පැමිණෙන විදේශ ගුවන් යානා කාර්ය මණ්ඩල ඔස්සේ පැතිරීම පෙන්වා දෙන්නට පුළුවන්. මෙරට ගුවන්තොටුපොළ ආශ්‍රිත හෝටල්වල ඔවුන් නවාතැන් ගන්නවා, ඒ යටතේ කටුනායක හා මත්තල හෝටල් දෙක බැගින් ඔවුන්ට ලබා දී තිබෙනවා. ඒ ඔස්සේත් රෝගය ව්‍යාප්ත වන්නට පුළුවන්. මේ එක් ආකාරයකින් තමයි රෝගය ව්‍යාප්ත වී ඇත්තේ.

ඔබ අවසානයේ පැවසූ විදෙස් ගුවන් යානා කාර්ය මණ්ඩලයෙන් වසංගතය පැමිණි බවට වැඩි සාධක තිබෙන බව ඔබ මාධ්‍යයට පවසා තිබුණා.

පළමු ක්‍රමය හරහා කිසිසේත්ම රෝග ව්‍යාප්තිය සිදුවුණා කියා කියන්නට බැහැ. ඒ වගේම තමයි වරායට පැමිණෙන නෞකාවලින් රෝගය පැතිරයාමට ඇති අවදානමත් අඩුයි. මොකද වරාය අධිකාරිය අවශ්‍ය විෂබීජහරණ කටයුතු සිදු කරමින් කටයුතු කරන්නේ.

අනෙක් ක්‍රමය හරහා රෝගය පැතුරුණා වන්නට පුළුවන්. දැනට තිබෙන බුද්ධි අංශ විමර්ශන ඔස්සේ 90%කට ආසන්න ප්‍රමාණයක සාධක තිබෙනවා ඔබ පැවසූ ලෙසින් අදාළ ගුවන් යානා කාර්ය මණ්ඩලය හරහා ව්‍යාප්ත වූ බවට. නමුත් එය 100%ක් වනතුරු අපට නිගමනය කරන්නට බැහැ. අමතක කරන්න එපා සෙසු ක්‍රමවලින් ව්‍යාප්ත වුණා වන්නටත් පුළුවන්.

කොහොම නමුත් කටුනායක හෝටලයක නැවතී සිටි තුර්කි ගුවන් සේවාවකට අයත් කාර්ය මණ්ඩලය සැප්තැම්බර් 11 වැනිදා පැමිණ 13 වැනිදා පිටත්ව ගොස් තිබෙනවා. එයින් යුක්රේන ජාතිකයකුට රෝගය වැළඳී ඇති බවට තහවුරු වුණා. ඔහු ප්‍රතිකාර ලබා සුවය ලබා පිටත්ව ගොස් තිබෙනවා. ඔහු නවාතැන්ගෙන සිටි හෝටලයේ කාර්ය මණ්ඩලයට පීසීආර් පරීක්ෂණ සිදු කළ අවස්ථාවේදී එහි සේවකයන් 5 දෙනකුට රෝගය වැළඳී තිබුණා. ඒ ඇතැම් අය තම නිවාසවලට පවා ගොස් තිබෙනවා. එයින් රෝගය ව්‍යාප්ත වීමට ඇති ඉඩකඩ වැඩියි.

කෙසේ වුවත් ගම්පහ දිස්ත්‍රික්කය වසා තැබුවා නම් මේ පැතිරීම වළක්වා ගන්න තිබුණා නේද?

ගම්පහ දිස්ත්‍රික්කයේ බොහෝ තැන් වහල සති 3කටත් වැඩියි. ඒත් තාමත් වැඩි පිරිසක් හමුවන්නේ ගම්පහ දිස්ත්‍රික්කයෙන්. වසා දැමීම පිළියම බව ඇතැමුන් කියනවා, නමුත් අපි මේ අවස්ථාවේදී සෞඛ්‍යාරක්ෂාවට මුල් තැනක් ලබා දී රටේ ආර්ථිකය දෙසත් බලන්න ඕන. රටේ ආර්ථිකයෙන් 46%ක් රැඳී තියෙන්නේ අපනයනය ආර්ථිකය මතයි. ගම්පහ දිස්ත්‍රික්කයේ තිබෙන ඇඟලුම්හල් ඇතුළු කර්මාන්ත ආයතන, නිදහස් ආයෝජන කලාප වසා තැබීමෙන් සිදුවන්නේ රටේ ආර්ථිකය ඇද වැටීමයි. කර්මාන්තශාලා වැහුණොත් රැකීරක්ෂා අවදානමේ.

ඒ වගේම අපේ රටට තිබෙන මේ ඇණවුම් අපේ රටෙන් ගිලිහී යන්නත් පුළුවන්. වැඩි ඇණවුම් ප්‍රමාණයක් අපට ලැබී තියෙන්නෙ අනෙක් රටවල් කොවිඩ් පාලනයට අසමත් වීම නිසයි. අප සති දෙක තුනක් ආයතන වසා දමා තැබුවොත් ඒ ඇණවුම් වෙනත් රටවල් කරා ඇදී යයි.

බුද්ධි අංශ ශක්තිමත්ව තිබියදී රෝගය පැතිරුණු ආකාරය තවමත් ස්ථිරවම අනාවරණය කළ නොහැක්කේ ඇයි?

මේ අවස්ථාවේ අප වැඩි අවධානයක් යොමු කර ඇත්තේ රෝග ව්‍යාප්තිය වැළැක්වීමටයි. එහෙත් රෝග නිධානය සෙවීමත් අප අමතක කර නැහැ. ඉතා ඉක්මනින් පිළිතුර ලැබේවි.

පළමු රැල්ල ඇතිවූ අවස්ථාවේදී රටම වසා දැමුවා, ඒ නිසා ව්‍යාප්තිය පාලනය කරන්න පුළුවන් වුණා කියා පැවසුවොත්…..

අපට මීට පෙර එවන් අත්දැකීම නැති නිසයි රටම වහල දාල ව්‍යාප්තිය පාලනය කෙළේ. ඒත් පළමු අවස්ථාවේ අත්දැකීම් ප්‍රයෝජනයට අරගෙන රෝග ව්‍යාප්තිය වළක්වාලමින් ආර්ථිකයත් රැකගෙන මේ අවස්ථාවේ කටයුතු කරන්න අපට පුළුවන්.

ඒ වුණත් ඒ අත්දැකීම් අනුව කටයුතු කරන බවක් හෝ රෝගයට බියක් හෝ මහජනතාවගේ පේන්න නැහැ නේද?

ඔව්, ඒ බව ඉතාම පැහැදිලියි. පළමු අවස්ථාවේදී වගේ අපි මෙවරත් මහජනතාව බේරා ගනියි කියල බොහෝ අයගේ හිතේ තියෙන බව පැහැදිලියි. මහජනතාව සෞඛ්‍ය මාර්ගෝපදේශ පිළිපදින බවක් පේන්න නැහැ. මම අවමංගල්‍ය නිවෙසක් දැක්කා විශාල පිරිසක් එක්රොක් වෙලා, මත්පැන් අලෙවිසලක එක පොදියෙ පොරකනවා. මුව ආවරණත් නැහැ. තමන්ගේ ඥාතියෙක් මරණයට පත්වුණොත් තමයි රෝගයේ භයානකකම තේරෙන්නෙ.

මෙරටට ආනයනික භාණ්ඩ හරහා මේ රෝගය පැතිරයාමට අවදානමක් නැද්ද?

වයිසරයක් පවතින කාලයක් තියෙනවා. අපි කවුරුත් දන්නවා විදේශ රටකින් භාණ්ඩ ආනයනය කරලා ඒ භාණ්ඩ පැයකින් දෙකකින් රට ඇතුළට යන්නේ නැහැ. වරායේත් රේගුවේත් අවශ්‍ය නිදහස් කිරීම්වලින් පසුවයි ඒවා රට ඇතුළට යන්නේ. ඒ වගේම වරාය පරිශ්‍රයන්හිදී අවශ්‍ය සියලු විෂබීජහරණ කටයුතු සිදුවෙනවා.

මෙවර මිනුවන්ගොඩ පොකුර දෙස බැලුවහම පේන දෙයක් තමයි අසනීප තත්ත්වයන්හිදී පවා සේවකයන්ට නිවාඩු ලබා දී නැති බවක්. ඒ ඔස්සේ රෝගය ව්‍යාප්ත වී ඇති බවත් පෙනෙනවා. රැකියාවේ ගැටලු මතුවෙයි කියලා සේවකයන් පැමිණිලි කරන්නත් බයයි. මෙවන් අවස්ථාවලදී සේවකයන්ට කළ හැකි දෙයක් තියෙනවද? ඒ ආයතන සම්බන්ධව ගන්නා පියවර කුමක්ද?

සේවකයන්ට අනිවාර්යෙන්ම මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්ට හෝ වෙනත් සෞඛ්‍ය අංශවලට දැනුම් දෙන්න පුළුවන්. අදාළ ආයතන සම්බන්ධව නිරෝධායන නීතිය අනුව කටයුතු කළ හැකියි.

සමාජයේ මතයක් තියෙනවා නිවෙස් තුළම නිරෝධායනය කරන්න පටන් ගත්තේ මේ දෙවෙනි රැල්ලේ අධික රෝගීන් සංඛ්‍යාව දරා ගන්න බැරි නිසා කියලා. එහි සත්‍යතාවක් තියෙනවද?

කිසිම සත්‍යයක් නැහැ. පළමු රැල්ල එනවිට අපේ රටේ පහසුකම් තිබුණෙ අයිඩීඑච් බෝවන රෝහලේ පමණයි. එහිත් ඇඳන් 150ක් පමණයි තිබුණෙ. නමුත් අපිට දින කිහිපයක් ඇතුළත අවශ්‍ය සියලුම රෝගීන්ට පහසුකම් සපයන්න පුළුවන් වුණා. ඒ රෝගය පැතිර නොයන සේ ආරක්ෂාවත් සපයමින්. ආශ්‍රිතයන් නිවෙස්හි නිරෝධායනයට ලක් කෙළේ මහජනතාවගෙන් ලැබෙන ප්‍රායෝගික ඉල්ලීම් හා ඔවුන් මුහුණපාන ගැටලු ගැන අවධානය යොමු කරමින්. හෙට රෝගීන් 10,000ක් ආවත් අපි සූදානමින් ඉන්නෙ.

ප්‍රධාන පරීක්ෂණ පී.සී.ආර්. යන්ත්‍රයක් අක්‍රිය වෙලා තියෙන බව වාර්තා වෙනවා. එයින් විශාල බාධාවක් තියෙනව නේද පරීක්ෂණ ප්‍රතිඵල ලබාගන්න.

ඒ යන්ත්‍රය ඉතාම ඉක්මනින් යථා තත්ත්වයට පත් කරගන්න අපි කටයුතු කරනවා. යන්ත්‍රය අක්‍රිය වුණා කියල අපේ කටයුතුවලට බාධා කරගන්නේ නැහැ.

යුද හමුදාව වගේම සෙසු හමුදාවන්ගේ කාර්යශූරත්වය, මෙහෙයුම් කටයුතු සාමාන්‍ය රාජකාරි කරන අයට වඩා වෙනස්. ඔවුන්ට දවල් රෑ වෙනසක් නැහැ. එවන් ආකාරයේ කටයුතු කරන අය, සාමාන්‍ය රාජකාරි කරන අයත් සමඟ කොහොමද එක්ව කටයුතු කරන්නේ. ඒ අයට පුළුවන්ද හමුදාවන් සමඟ එකට වේගවත්ව මේ ගමන යන්න.

අනෙක් අය ආවත් නැතත් අපේ ගමන නිවැරැදිව අපි යනවා. අවශ්‍ය තැන්වලදී ඒ අයට අපිත් එක්ක ගමන යන්න අපේ සහාය දෙනවා. උදාහරණයක් හැටියට රටේම ඉන්නෙ මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන් 2000කටත් අඩු පිරිසක් ඒ එක් අයකුට 10,000ක් පමණ ජනතා පිරිසක් ආවරණය කරන්න තියනවා. එය ප්‍රායෝගිකව කළ හැකි කාර්යයක් නෙමෙයි. එවන් අවස්ථාවලදී ඔහුගේ කාර්යය කරන්න අපි උපරිම සහාය දෙනවා.

සහාය දීමට වඩා මා අසන්නේ එක්ව යාමේදී ගැටලු මතුවන්නේ නැද්ද?

හමුදාව කියන්නේ ඕනෑම දෙයක් අබිබවා ගොස් රට රැක ගැන්මට කටයුතු කරන අංශයක්. මේක විතරයි අපේ කාර්යය කියලා වෙන් කර ගැනීමක් අපේ නැහැ. සෞඛ්‍ය අමාත්‍යාංශයට අයත් කාර්යන්ගෙන් 50%ක් විතර කරන්නෙ අපි. රෝගීන් රෝහල් කරා ගෙනියන්නෙ අපි, රෝහල් හදන්නෙ අපි, කෑම ටිකේ ඉඳල සියල්ල අපි සපයනවා. අපි කරන්නේ අවශ්‍ය දේ අවශ්‍ය වෙලාවට මිසක් එක් එක් අංශවලට අයත් කාර්යයන් වෙන් කරගැනීම නෙමෙයි. අපිට කළ හැකි දේ අපි උපරිමව සිදු කරනවා.

රටේ ආරක්ෂාව රකින අතරේ මෙවන් සුවිශේෂී කාර්යයකට අත ගැසීම හමුවේ හමුදාවට තිබෙන විවේකය අවම මට්ටමක නේද තියෙන්නෙ.

මටනම් දවසකට පැය 3ක් 4ක් නිදා ගත්ත දවසක් පහුගිය මාසයක් හමාරක් ඇතුළත මතකවත් නැහැ. කැපවීම අපේ කාර්යයක්. අපි ඒ වෙනුවෙන් කැපවෙනවා. ඒකට සියලු හමුදා සූදානමින් ඉන්නේ. ‘නොහැක්කක් නොමැත‘ ඒක තමයි හමුදාවේ ආදර්ශ පාඨය වෙන්නේ.

සෙසු අංශවල සහාය ලැබීම කුමනාකාරයෙන්ද සිදුවන්නේ.

අතිවිශිෂ්ටයි, පොලිසිය ඇතුළු ආරක්ෂක අංශ, මහජන සෞඛ්‍ය පරීක්ෂකවරුන්, වෛද්‍යවරුන් ඇතුළු සෞඛ්‍ය කාර්ය මණ්ඩල, සියලුම රාජ්‍ය අංශයේ සේවකයන් මේ සියලු දෙනාගේම සහාය උපරිමව ලැබෙනවා. මහජන සහායත් නිසි ලෙසින්ම ලැබුණානම් රෝගය වැළැක්වීම ඉතාම පහසුයි.

වසංගතය තවම සමාජ ව්‍යාප්තියක් වෙලා නැහැ කියනවා. ඒත් දිස්ත්‍රික්ක 21කටත් අධික ප්‍රදේශවලට පැතිර ගිහින් මේ තත්ත්වය ඔබ දකින්නේ කෙසේද?

මම වෛද්‍යවරයෙක් නෙමෙයි. විශේෂඥ වෛද්‍යවරුන් තමයි ඒ සම්බන්ධ නිර්දේශ ලබා දෙන්නේ. ඒ අය ලබා දෙන නිර්ණායක අනුව අපටත් පෙනෙන්නේ සමාජ ව්‍යාප්තියක් දක්වා ගොස් නැති බවයි.

මේ වසංගතය අධි ව්‍යාප්තියක් වීමට පෙර වළක්වා ගැනීමට ගෙන ඇති ක්‍රමවේද මොනවාද?

අපේ අරමුණ වන්නේ ඉක්මනින්ම රෝගය පාලනය කිරීමයි. ගෝලීය වසංගතයක් වන මේ රෝගය වළක්වා ගැනීමේ කාල වකවානු කියන්න ලෝකෙ ඉන්න මොන ජගතටවත් බැහැ. අපි දිනපතාම පැයක් දෙකක් අනිවාර්යෙන්ම ජනාධිපතිතුමා හා අනෙක් සියලු දෙනා එක්ක ව්‍යාප්තිය පාලනය ගැන මෙන්ම ඉදිරි කටයුතු ගැන කතා කරනවා. ඒ අවස්ථාවට අදාළ සියලු අංශ නිලධාරීන් සම්බන්ධ වෙනවා.

පළමු රැල්ලේ නාවික පොකුරක් මතුවුණා. මේ වන විට පොලිසියේ 19කට රෝගය වැළදී තිබෙන්නේ. තවත් පිරිසක් නිරෝධායනය කරනවා. හමුදාවේත් සැලකිය යුතු පිරිසක් නිරෝධායන කරන බව අපි දන්නවා. ඒ අයගෙන් පෙර නාවික පොකුර මෙන් රෝගය ව්‍යාප්ත නොවීමට යම් පියවරක් අරගෙන තියෙනවද?

ඔව්, අනිවාර්යෙන්ම, මහජනතාව සමඟ නිතර සම්බන්ධ වන ආරක්ෂක අංශ සාමාජිකයන් ප්‍රධාන කඳවුරට සම්බන්ධ නොවන සේ ස්ථානගත කරලයි තියෙන්නෙ. ඒ වගේම හමුදා සාමාජිකයන් නිවාඩු යෑමට පෙරත් නිවාඩු ලබා ගොස් පැමිණෙන විටත් දින 14ක් නිරෝධායනය කරලයි කඳවුරු ගත කරන්නෙ. ඔවුන්ගෙන් රෝග ව්‍යාප්තියක් වන්නේ නැහැ. ඒ විතරක් නෙමෙයි ඔවුන් වෙනුවෙන් දේශීය ඖෂධ පවා ප්‍රතිශක්තිකරණය වෙනුවෙන් ලබා දෙනවා. මගේ මේසෙ උඩත් දේශීය ඖෂධ බෝතලයක් තියෙනවා. මමත් එයින් උදේ දවල් හවස පානය කරනවා. එවන් ක්‍රමවේදත් අරගෙන තියෙනවා.

අපේ දේශීය වෛද්‍ය ක්‍රමය ඉතා උසස්. ජනාධිපතිතුමත් දේශීයත්වය අගය කරනවා. අපි දේශීයත්වයට නැඹුරු විය යුතුයි.

දිවයිනේ පැතිර ගොස් නැති බව කිව්වත් මේ වන විට මඩකලපුව දිස්ත්‍රික්කයේ වාලච්චේනත් යාපනය දිස්ත්‍රික්කයේ ගම් දෙකකුත් හුදකලා කර තිබෙනවා නේද?

වාලච්චේන හුදකලා කරන්නට සිදුවුණේ පෑලියගොඩ මත්ස්‍ය වෙළෙඳපොළ හරහා වූ ව්‍යාප්තියක් නිසා. උතුරේ ගම්මාන දෙක රජයෙන් නෙමෙයි එය ප්‍රාදේශීය වශයෙන් හුදකලා කර තිබෙන්නේ, ආරක්ෂිත පියවරක් වශයෙන්.

කොවිඩ් -19 පාලනයට ගත යුතු විශේෂිතම පියවර ලෙස ඔබ දකින්නේ කුමක්ද?

මේ රෝගයට ලෝකයේ තවම බෙහෙතක් සොයා ගෙන නැහැ. රෝගයේ ව්‍යාප්තිය වැළැක්විය හැක්කේ ජනතාවට පමණයි. නිසි සෞඛ්‍ය උපදෙස් අනුගමනය කරනවා නම්, අත්‍යවශ්‍ය නොවන සංචරණ සීමා කර ගන්නවානම් රෝග ව්‍යාප්තිය පාලනය කරන්න පුළුවන්.

අපි ප්‍රතිපත්ති සැලසුම් ක්‍රමවේද හදනවා. නමුත් රෝගය වැළැක්වීමට ජනතා සහාය අත්‍යවශ්‍යයි. රෝගය පතුරවනවාද? වළක්වනවාද යන්න තීරණය කරන්නේ ජනතාවයි. අවියට වඩා බලවත් වන්නේ අවිය පිටුපස සිටින පුද්ගලයාගේ ක්‍රියාකාරීත්වයයි.

කොවිඩ් 19 පැතිරවීම වැළැක්වීමේ ජාතික ක්‍රියාන්විත මධ්‍යස්ථානයේ ප්‍රධානී, ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී, යුද හමුදාපති, ලුතිනන් ‍ෙජනරල් ශවේන්ද්‍ර සිල්වා

රෝගය පාලනය කරනවද, ව්‍යාප්ත කරනවද

තීරණය තියෙන්නේ ජනතාව අතේ…

මෙවර තත්ත්වය වෙනස්; ළඟින් ගියත් වැලඳෙන තත්ත්වයක් තියෙන්නේ…

දැන් මිනුවන්ගොඩ පොකුරේ ව්‍යාප්තිය පාලනය වෙලා

දෙවැනි රැල්ලේ ආරම්භය විදේශයකින් වූ බව පැහැදිලියි

Related posts

මහබැංකු අධිපතිගෙන් මැතිසබයේදී විශේෂ දේශනයක්

colombotoday

නිදන්ගල පුරා විද්‍යා රක්ෂිතයේ පුරාවස්තු ඩොසර් කර නිවාස හදලා

colombotoday

මංතීරු නිතීය අද සිට යළි ක්‍රියාත්මකයි

colombotoday

ඇගපුරා තුවාල.. මස් කපන්නේ වැසිකිළියේ.. කල් ඉකුත්වූ කෑම.. මේ හෝටලෙන් කැවොත් අබ සරණයි !

colombotoday

භූමදානයම කලයුතුයි කියා කුරානයේ කොහේවත් නෑ

colombotoday

‘විශ්වාසභංගය සාර්ථක වෙන්නේ මෛත්‍රීගේ උනන්දුව මතයි‘ – මහින්ද මෛත්‍රීට බෝලය පාස් කරයි

colombotoday