World

“විශ්‍රාම ගියත් ඇමෙරිකාව වෙනුවෙන් නැගීසිටිනවා” – ඔබාමා

ඇමෙරිකානු ජනාධිපති බරක් ඔබාමාගේ වසර 8ක් පමණ වූ ධූර කාලය අවසන් වීමට ඇත්තේ තවත් දින කිහිපයක් පමණයි. ධවල මන්දිරයෙන් සමුගැනීමට පෙර පවත්වන ලද අවසන් නිළ ප්‍රවෘත්ති සාකච්චාවට එක්වෙමින් ඔහු අවසන් මොහොතේ වුවත් ඇමෙරිකානු ජනයාගේ චිත්ත ධෛර්ය වර්ධනය කිරීම උදෙසා මහඟු වදන් පෙළක් පවසා සිටියේය.

ඔහු තම ප්‍රකාශය අතරතුර කියා සිටියේ තම ධූර කාලය අවසන් කර විශ්‍රාම ගත් පසු වුවත් ඇමෙරිකානු රාජ්‍යයේ ගෞරවයට කැළලක් වීමට යන සෑම අවස්ථාවකම ඒ වෙනුවෙන් නැගීසිටීමට බසුබට නොවන බවයි. විශ්‍රාම යාමෙන් පසු දේශපාලනයට අතපෙවීමට තමන් හට කිසිඳු බලාපොරොත්තුවක් නැති නමුත් තම රාජ්‍යයේ වටිනාකම රැකගැනීමට තමන් බැඳී සිටින බව ඔහු අවධාරණය කර සිටියේය.

“ජාතික හරය හැල්ලුවට ලක්වන අවස්ථා වල මම මාගේ විශ්‍රාම දිවියෙන් නැවතත් කරලියට පැමිණේවි. එසේ සිදුවන අවස්ථා ලෙස මම හඳුන්වන්නේ ඕනෑම අවස්ථාවකදී සිදුවිය හැකි ජනතාව භේද කරවන අකටයුතුකම්, ජනතාවගේ ඡන්ද අයිතියට ඇතිවන බලපෑම්, ජනතාවට තම ප්‍රජාතාන්ත්‍රික අයිතිවාසිකම් භුක්ති විඳීමට ඇතිවන බාධා, දේශපාලනික බලවේග මඟින් ජනමාධ්‍ය වාරණය කිරීම වැනි දෑයි”

තමාගෙන් පසු ජනාධිපති ධුරය බාරගැනීමට නියමිත ඩොනල්ඩ් ට්‍රම්ප් වෙනුවෙන් විශේෂයෙන් කළ කරුණු පැහැදිලි කිරීමකදී ඔහු කියා සිටියේ ඇමෙරිකාවේ පදිංචි සංක්‍රමණික පවුල් සහ එම දරුවන් ඇමෙරිකාවට ආදරය කරයි නම්, ඔවුන් ඇමෙරිකාව තුල හැදීවැඩුනේ නම් ඔවුන්ව රටින් පිටුවහල් කිරීම කිසිසේත්ම තමන් අනුබල දෙන ක්‍රියාවක් නොවන බවයි. ට්‍රම්ප් මීට පෙර අවධාරණයෙන් කියාසිටියේ ඇමෙරිකාව තුල ලියාපදිංචි නොවුණු සියලු සංක්‍රමණික පවුල් එරටින් පිටුවහල් කරනා බවයි. ජනාධිපති ඔබාමා ප්‍රකාශ කර සිටියේ “ඒ රාජකාරිය ඔබේ තනි තීරණයක් මත පිහිටා කළහැකි දෙයක් නොවෙයි” යන්නයි.

එමෙන්ම “චෙල්සී මැනින්” සිද්ධියේදී තමන් ගත් තීරණය එම අවස්ථාවේදී ගතහැකිව තිබු අතිශයින්ම යෝග්‍ය තීන්දුව යැයි තම ක්‍රියාව සම්බන්ධයෙන් හේතු ඉදිරිපත් කරමින් ජනාධිපති ඔබාමා කියා සිටියේය.

චෙල්සී මැනින් නම් 29 හැවිරිදි හිටපු ඇමෙරිකානු බුද්ධි අංශ නිළධාරිනියක් විකි ලීක්ස් වෙබ් අඩවියට අතිශය රහසිගත ඇමෙරිකානු හමුදා වාර්තා සැපයීමේ වරදට 2013 වසරේදී වසර 35ක සිර දඬුවමකට යටත් කරන ලදී. ජනාධිපති ඔබාමා විසින් ඇයගේ දඬුවම් කාලය අඩු කොට ඇය වෙනුවෙන් අදහස් ප්‍රකාශ කරමින් කියා සිටියේ තම රාජ්‍යයේ රහසිගත තොරතුරු අන්තර්ජාලයට මුදාහැර තම විරුද්ධවාදී රුසියාවට පැනගිය එඩ්වඩ් ස්නොඩන් මෙන් ඇය පලානොගිය නිසාත් ඇය තම වරද පිළිගත් නිසාත් ඇයගේ දඬුවම් කාලය මෙසේ කෙටි කල බවයි.

ට්‍රම්ප් විසින් කරන ලද තවත් ප්‍රකාශයක සඳහන් වුනේ රුසියාව විසින් ඔවුන්ගේ න්‍යෂ්ටික අවි නිෂ්පාදනය කප්පාදු කරන්නේ නම් මොස්කවු වෙත පනවා ඇති සම්බාධක ඉවත් කරගැනීමට ඇමෙරිකාව සුදානම් බවයි. ජනාධිපති ඔබාමා පවසන්නේ න්‍යෂ්ටික අවි සහ සම්බාධක අතර ගැටුමක් ඇතිකරගැනීම නුවණට හුරු නැති බවයි.

ජනාධිපති ඔබාමා විසින් 2014 වසරේදී රුසියාවට එරෙහිව සම්බාධක පැනවුයේ ඔවුන් විසින් යුක්රේනය හා ඒ අවට ප්‍රදේශ තම රජය යටතට ගැනීමට දරණු ලබන උත්සාහයන් අසාර්ථක කිරීම අරමුණු කරගෙනයි.

“සම්බාධක පනවා ඇත්තේ ඇමෙරිකානු රජය පමණක් නොව ජාත්‍යන්තර ප්‍රජාවගේ අනුබලයද ඇතිවයි. ඒවා පනවා තිබෙන්නේ එක් සිද්ධියක් නොව ජාත්‍යන්තර දේශපාලනයට සහ ආරක්ෂාවට බලපාන විවිධ කරුණු රැසක් මුල් කරගෙන බව තේරුම් ගැනීම වඩා යහපත්” යැයි ඔහු ප්‍රකාශ කර සිටියේය.

“ඇමෙරිකානු රජයේ පරම වගකීමක් නම් බලවත් රාජ්‍යයන් අනෙකුත් කුඩා රාජ්‍යයන් යටත් කරගැනීම හා ඒවාට අතපෙවීම වැලැක්වීමයි”

අවසන් වශයෙන්, තමන් මෙතුවක් කල් ඇමරිකානු ජනතාව සමඟ ගත කළ දිවිය මෙනෙහි කිරීමට හා රසවිඳීමට තමන්ට කාලය අවශ්‍ය බව ජනපති ඔබාමා ප්‍රකාශ කර සිටියේය. මේ වසරේ තම 25 වන විවාහ සංවත්සරය තම බිරිඳ සමඟින් සැමරීමටත්, තම දියණියන් දෙදෙනා සමඟ වැඩිපුර කාලයක් ගත කිරීමටත් තමන් බලාපොරොත්තු වන බව පවසමින් ඔහු තම අවසන් නිළ නිවේදනය නිමා කළේය.

Related posts

ඉස්ලාම් ආගමට අපහාසයක්ලු.”ඇස් ගහන කෙල්ලගේ” සිංදුව චිත‍්‍රපටයෙන් ඉවතට

colombotoday

ගවයින් 5800ක් සහ සේවකයින් 43ක් සමග නෞකාවක් අතුරුදහන්

colombotoday

ලොව පුරා ජිහාඩ් කණ්ඩායම් ප්‍රබෝධයෙන්. 9/11 ප්‍රහරකයින්ටම ඇෆ්ගනිස්ථානය නැවත ලබා දීමනින්දා සහගතයි – හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් කියයි

colombotoday

තාවකාලික සටන් විරාමය රුසියාව කඩ කරයි

colombotoday

ඇමරිකාවට බෝම්බ ප්‍රහාරයක් !

colombotoday

කැනඩාවේ වෙඩිතැබීමකින් තිදෙනෙක් මරුට

Admin