featuredTop Stories

The Lockdown Land – අගුළු දැමූවන්ගේ දේශය – තෙවන දිගහැරුම

පෙර කොටසෙන්

ජනපතිවරයාට දැණුනේ සිය කන් අගුලු වැටී ඇති බවක්. ඔහුගේ හිසේ දැඩි වේදනාවක් සහ දෝංකාරයක් ඇති වූ අතර දෙකන් වල හෝ ගාන හඬක්ද කටෙහි අප්පිරියාවක්ද දැනෙන්නට වුණා. ඉන්පසු ඔහුට වැටහුණා ඒ පිළිස්සුණු වෙඩි බෙහෙත් වල රස බව. ඔහුට සිහිසුන් වීමට ආසන්න බවක් දැණුනා. ඔහුගේ රියදුරා ඒ වන විටත් සිහිසුන්වී සිටි අතර යමක් වැරදී ඇති බව වැටහෙන විට ඔහුගේ දෑස් නිලංකාර වන්නට ආසන්නයි. ඔහු අවට පරිසරය දෙස බලමින් සිදුව ඇත්තේ කුමක්දැයි වටහා ගන්නට උත්සාහ කරමින් සිටියා. එහෙත් බොදඳවී ගිය දසුන් අතරින් තම දෑස් පියවී යනු ඔහුට දැණුනා. අතිශයින් දරුණු බෝම්බ ප‍්‍රහාරයක් හමුවේ ශ‍්‍රී ලංකා ප‍්‍රජාතාන්ත‍්‍රික සමාජවාදී ජනරජයේ හැට අටවන විධායක ජනපතිවරයා සිය වෙඩි නොවදින සෙඩෑන් රථයේ පසුපස ආසනයේ සිහිසුන්ව ගියා.

තෙවන දිගහැරුම

එය ඉතා ප‍්‍රබල බෝම්බයක්. එහි ප‍්‍රබලතාව කොතරම්දැයි කියනවානම් ජනාධිපතිවරයා ගමන්ගත් රථය අවට මීටර් පණහක විශ්කම්භයකින් යුත් ප‍්‍රදේශයක් පුරා සියලුම රථවාහන සහ පුද්ගලයින් දැවී විනාශ වී තිබුණු අතර ඔහුගේ රථයේ වීදුරු සියල්ල ඉරිතැලී ගොස් තිබුණා. එසේම ඔහුගේ ආසන්නතම කවයේ සිටි රියදුරා හැර සියලූම ප‍්‍රභූ ආරක්‍ෂකයින් හිස්, අත් හෝ පා නැති මස් වැදලි බවට පත්ව තිබුණු අතර මිනී කැබලි සෑම තැනම විසිරී ගොස් තිබුණා. සිද්ධිය සිදු වූ වහා යුද හමුදාවේ ක්‍ෂණික විහිදුම් බලකාය විසින් මුලු ප‍්‍රදේශයම කිසිවෙකුටත් ඇතුලුවීමට හෝ පිටවීමට නොහැකි ලෙස සීල් කරන ලද අතර රථය තුළ සිරවී සිටි ජනාධිපතිවරයා එළියට ගනු ලැබුවේ එහි දොරවල් කැපීමෙන් අනතුරුව. ප‍්‍රාතිහාර්යයකින් මෙන් කිසිදු සීරීමක් හෝ නොලබා එහෙත් සිහිසුන්ව සිටි ඔහු වහාම දැඩි ආරක්‍ෂක රැකවල් මධ්‍යයේ ප්‍රධාන පෙලේ පෞද්ගලික රෝහලක් වෙත ගෙන රැගෙන යනු ලැබුවා. එහි විශේෂ වාට්ටුවකට ඇතුලු කරනු ලැබූ ජනාධිපතිවරයා ඉක්මන් ප‍්‍රතිකාරයන්ට බඳුන් කරනු ලැබූ අතර ඔහු අඩ හෝරාවකට පසු සිහි එළවාගෙන දෙනෙත් විවර කළා. ඔහු තමා ලැබූ බියකරු අත්දැකීම මෙනෙහි කරන්නට වුණා.

‘‘ඔවු, එය සැබැවින්ම බියකරු සිහිනයක්’’

…………………………..

ජාතික ආරක්‍ෂක බුද්ධි බලකායේ ප‍්‍රධානී කමාන්ඩෝ රෙජිමේන්තුවේ බලලත් නිලධාරී බ්‍රිගේඩියර් රවිප‍්‍රිය පැමිණියේ සිද්ධියෙන් හෝරාවක් ඉක්ම යන්නට ඔන්න මෙන්න කියා තිබියදී. ඔහු දෙස බැලූ ජනාධිපතිවරයා සැනසුම් සිනා පෑවා.

‘‘කොල්ලො’’

ඔහු බ්‍රිගේඩියර් වරයා ඇමතුවා.

‘‘සර්, පුදුම බේරිල්ලක් නේද බේරුණේ’’

‘‘ඒකනෙ බං. එළියෙ මොකද වෙන්නෙ?’’

ඔහු තම හිතෛෂී නිළධරයා ඇමතුවේ ඉතාමත් සුහද විලසින්.

‘‘ප‍්‍රයිම් මිනිස්ටර් වැඩ අල්ලල සර්. කර්ෆිවු දැම්ම. ඒ අස්සෙ සෝෂල් මීඩියා වල පෝස්ට් ෂෙයා වෙනව සර්ව ඇසසිනේට් කරල කියල’’

‘‘මොකක්?’’

‘‘ඔවු සර්, ඊටත් වඩා ලොකුම කේස් එක සර්’’

ඔහු කතා කළේ කලබලයෙන්.

‘‘අපි ක්‍ෂණික විමර්ශනයක් කරා සර්. දැනට තියෙන දත්ත වල හැටියට නම් බෝම්බෙ තිබිල තියෙන්නෙ සර්ගෙ කාර් එකේමයි. එන්ජිමට යටින්’’

ජනාධිපතිවරයාගේ ඇස් කුඩා වුණා. ඔහු සෑහෙන වේලාවක් කල්පනා කරමින් සිට වේගයෙන් ඇසිපිය ගැසුවා. ඔහුගේ දේශපාලන මොළය වේගයෙන් වැඩ කරන්නට වූ අතර පොඩි කාලයක් තුළ එය සෑහෙන වැඩ කොටසක් කරන්නට වුණා. ඔහු හඬ අවදි කළේ ඉන් පසුව.

‘‘රවී, කොල්ලො. මට උදවුවක් කරපං. මේක කරපු එවුන් අපි අල්ල ගන්න ඕනෙ. දැන්ම උඹගෙ යුනිට් එකට කතා කරල හොස්පිට්ල් එක සීල් කරපං. මීඩියා වලට කිසි දෙයක් යන්න තියන්න එපා. මං මැරුණයි කියන කතාව තව ටිකක් පැතිරුණාවෙ. ඒක අපිට මේ වෙලාවෙ වාසියක්. අර ගොං හරක තව ටිකකින් මීඩියා සේරම බ්ලොක් කරන්න පටන් ගනී. එතකොට අපි පටන් ගම්මු සෙල්ලම. උඹ මං එක්ක ඉන්නව නේද පුතා. මට උදවු කරපං පුතා. මේ වැඩේ හරි ගියොත් උඹ ඊළඟ ආමි කමාන්ඩර්’’

ජනාධිපතිවරයා රැඳී සිිටි අධි ආරක්‍ෂිත වාට්ටු සංකීර්ණයෙන් පිටතට පැමිණෙන අතර මෙම පලපුරුදු සොල්දාදුවා කල්පනා කළේ තමන්ගේ හිස මතට අහම්බෙන් කඩා පාත් වූ වාසනාව පිළිබඳව. යන්තම් වයස දහ අට පිරෙන විටදීම සාමාන්‍ය සෙබලෙකු ලෙස කමාන්ඩෝ බලකායට එක් වූ ඔහු ඉහළට ගියේ තම දක්ශතාවයෙන්. සාමාන්‍ය සෙබලෙකුට යා හැකි ඉහළම නිළය වන රෙජිමේන්තු සාජන් මේජර් දක්වා කෙටි කාලයකින් ඉහළට නැගුණු බ්‍රිගේඩියර් රවිප‍්‍රිය සොල්දාදුවෙකු ලබන යුද බිමේ ඉහළම පදක්කම වන රණශූර සහ රණවික‍්‍රම ඇතුලූ පදක්කම් රාශියකින් පිදුම් ලැබූවෙක්. තම සහෝදර සෙබලුන් නියමිත කාලය අවසන විශ‍්‍රාම යද්දී දිගටම යුද හමුදාව සමග රැඳී සිටි ඔහු විදෙස් පුහුණුවීම් සහ පාඨමාලා කිහිපයක් සාර්ථකව අවසන් කිරීමෙන් පසු නිලධාරියෙකු ලෙස උසස් කරනු ලැබුවා. යුධ කලාවෙහි නිපුණ මේ විශිෂ්ඨ සොල්දාදුවා මේ වන විට සිටියේ තම වෘත්තියෙහි හිණි පෙත්තේ. එසේම දිනෙක කෙසේ හෝ මුලුමහත් යුද හමුදාවටම අන දෙන අනුත්තර නිලධරයා වීම කලක සිට ඔහුගේ සිහින අතර සිහිනයක්ව තිබුණා.

………………………………

‘‘සර්, ඕල් ඩන් සර්. මිෂන් එක පාස්’’

ඇමතුම ලැබෙන විට අගමැතිවරයා සිටියේ තම නිල නිවසේ. උදෑසන ස්නානයෙන් පසු ඔහු රාජකාරියට යාමට පෙර සුලු මොහොතක් රූෆ්ටොප් උද්‍යානයේ හාන්සි පුටුවේ දිගෑදී ලබන සුපුරුදු හිරු එළිය සම්බාහය ලබමින් සිටි අතර ඔහු සිටියේ ඇමතුමක් බලාපොරොත්තුවෙන්. ඔහුගේ සිත ප‍්‍රීතියෙන් ඉපිළ යන්නට වුණා.

‘‘ ඕ අයිසී, තවුසෙට ශුවර්ද සේරම ඕකේ කියල’’

ඔහු තම ගොරෝසු රලු කටහඬ අවදි කරමින් විමසා සිටියා.

‘‘මං ඔන් පොසිෂන් හිටියෙ සර්. මං ස්කෝප් එකෙන් බලාගෙන හිටියෙ. බොඩි එක ඇම්බියුලන්ස් එකක දාගෙන අරන් යනව මං ඇස් දෙකෙන්ම දැක්ක’’

එවදන් ඇසූ අගමැතිවරයාට පුටුවෙන් නැගිට රවුමක් නටන්නට සිතුණා.

සිහින, ඔවු, සිහින. හැම මිනිසෙකුට සේම ඔහුටද සිහින තිබුණා. ඒ සිහින පටන් ගත්තේ ඔහු පාර්ලිමේන්තු මන්ත‍්‍රීවරයෙකු ලෙස සිය වෘත්තියට පිවිසීමත් සමග. කාලයත් සමග ඒ සිහින සබෑකරගැනීම වෙනුවෙන් ඔහු තුළ වූ දැවෙන ආශාව තව තවත් වැඩි වුණා මිස අඩුවක් වුණේ නැහැ. පසුගිය දශකයකට එපිට කාලයක් මුලුල්ලේ ඔහු ඒ සිහින අතරින් සිය උත්තරීතරම වූ සිහිනය වෙනුවෙන් අරගල කළ අතර ඒ ගමනේ ඔහුට තිබුණේ එක් බාධකයක් පමණයි.

‘‘හරි. එතකොට තවුසෙ කියන්නෙ අපිට ස්ටෙප් ටූ වලට යන්න පුලූවන් කියලද?’’

‘‘මේ මොනව අහනවද සර්. මගෙ ඔලුවෙන් ගහපු ගේමක් වැරදිලා තියෙනවද? ප‍්‍රසිඩන්ට් තනිකරම පවුඩර්. සර් වැඩ ටික කරගෙන යන්න’’

අගමැතිවරයා ගැඹුරු හුස්මක් ගත්තා.

‘‘හරි, හැබැයි පුතෝ මොකක් හරි වැරදිලා තිබුණොත් උඹල මම සේරම ගස්. මං දැන් යන්න ඕනෙ. මං තවුසෙට කෝල් එකක් ගන්නම්. තවුසෙගෙ පේමන්ට් එක ලැබෙන විදිහ ගැන කියල’’

ඔහු අවසන් කොටස පැවසුවේ කට කොණකින් සිනාසෙමින්. ඔක්ස්ෆර්ඩ් හා කේම්බ්‍රිජ් හි පශ්චාත් උපාධි ලැබූ මේ පළපුරුදු පරිණත දේශපාලනඥයාගේ සිතෙහි ඒ වන විටද සැලසුමක් ඇඳෙමින් තිබුණා. ඔහුට, අගමැති තනතුරින් සෑහීමකට පත් වන්නට ඔහුට කිසිසේත් බෑ. ඔහු ජනාධිපති විය යුතුමයි. පසුගිය ආණ්ඩු කාලයේ ඔහු විසින් දියත් කළ දැන් අතරමග නතරවී ඇති දුසිමක් රජයේ ව්‍යාපෘති සහ ඒවායේ කොමිස් වශයෙන් ඔහු වෙත ගලා ආ මහා ධනස්කන්ධය. එසේම, එකල පාලනයේ පහසුව සඳහා ඔහුගේ මූලිකත්වයෙන් ආණ්ඩු ක‍්‍රම ව්‍යවස්ථාව සංශෝධනය කරනු ලදුව ජනාධිපතිවරයා සහ ඔහු යන දෙදෙනාටම අහිමි වී ගිය අසීමිත බලය. ඔහු ඒ ගැන කල්පනා කළේ වේදනාවෙන්. ජනාධිපති තනතුරට පත් වූ විගස ව්‍යවස්ථා වෙනසකින් ඒ අසීමිත විධායක බලය නැවත ලබා ගත යුතුමයි. ඔහු කල්පනා කළේ ඒ ගැන.

පළමු කොටසේ සිට කියවන්න

Related posts

මුස්ලිම් ජාතික හිමිකාරත්වයෙන් යුත් මෙල්බර්න් වානෙ කම්බි කම්හලකින් කාල තුවක්කු පතොරම් මතුවේ.

colombotoday

සුදු කරපටි හොරු තමයි ලංකාව නැති කෙරුවේ. හිටපු මුදල් ඇමති අද හොයාගන්නත් නෑ හැංගිලා. – අනුර ප්‍රියදර්ශන යාපා කියයි

colombotoday

ඉස්ලාම් ආගමේ අන්තවාදය උගන්වන්නේ ‘සාහි අල් බුකාරි‘ පොතෙන්…

colombotoday

උතුරු පළාත් සභාව සංහිදියා සළුපිලි උනා දමයි.. උතුරේ සිංහලයන්ට තවත් අංචියක් අදී !

colombotoday

යළි හිස ඔසවන ඉස්ලාම් අන්තවාදය පිළිබඳව විශේෂ අනතුරු ඇඟවීමක්

colombotoday

බුදු පිළිම වහන්සේට රේගුවෙන් රත‍්‍රං නිදහස් කල නිලධාරීන් අත්අඩංගුවට ගන්න පෙර උපදෙස් දුන් සංඝරත්නය අත්අඩංගුවට ගන්න

colombotoday