Colombo Today Local NewsTop Stories

ඩෑන්ගේ මරණය ආන්දෝලනයක්? ජාතික ආරක්ෂාවද? මහජන ආරක්ෂාවද?

නැවත වතාවක් ජාතික ආරක්ෂාවට අනතුරක් එළඹ තිබේ. ඩෑන්ගේ මරණය අප මහජන ආරක්ෂාව යන මාතෘකාව යටතේ ලඝු නොකරන්නේ මෙම ප්‍රහාරය පිළිබඳ මීට වඩා ගැඹුරින් කතිකා කළ යුතු බැවිණි. ජාතිය ආරක්ෂා කරන්නට නම් රටක මහජනතාව මූලිකව ආරක්ෂා වී සිටිය යුතුය.

ඊයේ දිනයේ තැනින් තැන වෙඩිතැබීම් තුනක් සිදු විය. පළමු සිද්ධිය උදෑසන කටුනායක, ආඩිඅම්බලම, දැවමොට්ටාව ප්‍රදේශයෙන් වාර්තා වූ අතර ඝාතන තැත වැළකී තිබිණි. මෙසේ ඝාතනය කරන්නට සැලසුම් කොට තිබුණේ අංජන නැමැති 37 හැවිරිදි මුදල් පොලියට දීමේ කටයුතුවල නිරත ව්‍යාපාරිකයෙකි.

දෙවන සිද්ධිය වාර්තා වූයේ ඊයේ රාතී 7.00ට පමණ කටාන ප්‍රදේශයෙනි. එහිදී ඉලක්කය වී තිබුණේ එම ප්‍රදේශයේ පදිංචි ව්‍යාපාරිකයෙකු වන අතර ඔහු හිටපු ප්‍රාදේශීය සභා මන්ත්‍රීවරයෙකු බවද කියවෙයි. කෙසේ වෙතත් එහිදීද ඝාතන තැත වැලකුණු අතර ව්‍යාපාරිකයා විසින් තමාට තියුණු ආයුධයකින් පහරදීමට පැමිණි පුද්ගලයාව වෙඩි තබා ඝාතනය කොට තිබිණි.

ඇතැම් විට ආසන්න ස්ථාන දෙකක සිදුවූ මෙම සිදුවීම් අතර අන්තර සබඳතාවක් තිබේ යැයි සැක කළ හැකිය. කෙසේ වෙතත් ඩෑන්ගේ මරණය මේ සිදුවීම් දෙකටම වඩා බරපතල වන්නේ ඩෑන් ප්‍රියසාද් යනු මෙරට ජාතික ආරක්ෂාව පිළිබඳ කතිකාවේ විශේෂ චරිතයක් වන නිසා බැවිනි.

ඩෑන් ප්‍රියසාද් ඝාතනය පිළිබඳ ප්‍රවෘත්තිය ලැබෙන විට ලියුම්කරු සිටියේ අවන්හලක රාත්‍රී ආහාරය ගනිමිනි. මාධ්‍ය ක්ෂේත්‍රයේ ප්‍රබලයින් කිහිපදෙනෙක් මෙන්ම, සිවිල් සංවිධාන ක්‍රියාකාරීන් කිහිපදෙනෙක්ද ලියුම්කරු සමග සිටි පිරිස අතර විය. එයින් තුන් හතරදෙනෙකුගේම දුරකථන නාදවූයේ එකවිටමය. ප්‍රවෘත්තිය ඉතාමත් උද්වේගකාරී විය.

“ඩෑන්ට ගහලා!”

සාදය ඉක්මනින් හමාර විය. කිහිපදෙනෙක් ජාතික රෝහල බලා පිටත් වූ අතර තවත් පිරිසක් ඩෑන්ට වෙඩි තැබුණු බව පැවසෙන ලක්සඳ සෙවණ මහල් නිවාසය කරා යාමට පිටත්වූයේ අලුත්ම තත්වය දැනගැනීම සඳහාය. කළ යුතු තවත් රාජකාරි බොහොමයක් වූයෙන් ලියුම්කරු වන මම නිවස බලා පැමිණියෙමි.

නිවස කරා පැමිණ ආරංචි මාර්ග පිරික්සද්දී ඩෑන් තවමත් ජීවතුන් අතර සිටින බවට පොලිස් මාධ්‍ය ප්‍රකාශකවරයා කරන ලද ප්‍රකාශයක් සම්බන්ධ පුවතක් ලියුම්කරුගේ නෙත ගැටිණි. එහෙත්, අද උදෑසන පැමිණීමට නියමිත නවතම පුවත කුමක්දැයි අපි ඒ වන විටත් සක්සුදක් සේ දැනගෙන සිටියෙමු.

මෙම ඝාතනය සිදුකළ ඝාතකයින් පිළිබඳ හෝඩුවාවක් තවම හෙළිදරව් වී නොමැත. මරණය සිදු වනවිට ඔහු කොළොන්නාව නගර සභාවට මීතොටමුල්ල කොට්ඨාශයෙන් ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ හරහා පළාත් පාලන මැතිවරණයට ඉදිරිපත් වූ අපේක්ෂකයෙකු වී සිටියේය. එසේම ඔහුගේ දේශපාලන සබඳතා සහ ක්‍රියාකාරකම් පිළිබඳව මෙහි වැඩිදුර විස්තර සටහන් කිරීම අනවශ්‍ය බැව් අපි සිතමු.

සැබැවින්ම ඩෑන් ඝාතනය කළේ කවුද?

මෙම ප්‍රශ්නයට එකවර පිළිතුරක් සැපයීම සැබැවින්ම අසීරුය. මෙය රජයේ ගිණුමට දමන්නට පිරිසක් මේ වන විට උත්සාහ දරමින් සිටී. ඔවුන් මීට ආසන්නතම සිදුවීම ලෙස දක්වන්නේ ඉකුත් අප්‍රේල් පළමුවැනිදා ඔහු විසින් සිදුකළ කේක් කැපීමේ සිද්ධියයි. එහෙත්, මේ මොහොතේ ඩෑන් මරාදැමීමෙන් රජයට සිදුවන වාසිය කුමක්ද යන කාරණය මෙහිදී විමසා බැලිය යුතුව ඇත.

එසේම ඩෑන්ගේ ඝාතනයට හේතුව මත්ද්‍රව්‍ය ජාවාරමක් හා සම්බන්ධ ප්‍රශ්නයක් ලෙස කනින් කොනින් ආරංචි ඇසෙයි. මින් පෙර සිදුවූ ඔහුගේ සහෝදරයාගේ ඝාතනයද බැරවූයේ විදේශයක සැඟවී සිටින කංජිපානි ඉම්රාන්ගේ ගිණුමටයි. එසේම ඩෑන් ප්‍රියසාද්ගේ ෆේස්බුක් ප්‍රොෆයිලය පිරික්සා බැලීමේදී මෙම මතය සනාථ කිරීමට සාක්ෂි සපයන යම් යම් පෝස්ටු කිහිපයක් ලියුම්කරුට හමු විය.

කෙසේ වෙතත් පොලිස් පරීක්ෂණ මේ වන විටත් පැවැත්වෙමින් තිබේ. පොලිසිය පවසන ආකාරයට ඔහු ලක්සඳ සෙවණ වෙත පැමිණ ඇත්තේ නෑ ගමනකි. එම ස්ථානයේ යම් සාදයක්ද පැවැත්වී තිබේ. එහෙයින්ම ඔහු එම ස්ථානයට පැමිණෙන බවට තොරතුර ඝාතකයින් කරා ළඟා වූ ආකාරය ගැනද පොලිසිය මේ වනවිට අවධානය යොකු කොට තිබෙන බව නෙත් නිවුස් අනාවරණය කොට තිබිණි.

ඉතින්, ඉදිරියේදී යම් යම් කරුණු අනාවරණය වීමට තියමිතය. ඒවා 100%ක්ම සත්‍ය කරුණු වේදැයි අපි නොදනිමු. කෙසේ වුවත් මෙම මරණයේ විමර්ශනත් නොවිසඳුණු හෝ හුදෙක් පාතාලයේ ගිණුමට බැර වූ අපරාධයක් ලෙස අවසන් වුවහොත්, අපට කීමට ඇත්තේ “ජාතික ආරක්ෂාවට අබ සරණයි” කියා පමණි.

සටහන – Chalana

Related posts

බැංකු නිලධාරිනියගේ නිවෙසට පැන දේපල කොල්ලකාලා

Admin

නායයෑමේ අනතුරු ඇඟවීම් දීර්ඝ කෙරේ…

Admin

‘රැට්ටා’ ඇතුළු පිරිසකගේ උද්ඝෝෂණයක් වළක්වාලමින් අධිකරණ නියෝගයක්

colombotoday

මෙරටින් පළමු මන්කිෆොක්ස් ආසාදිතයා හමුවෙයි

Admin

දුමින්ද සිල්වා නිදහස් කරන්න තැබූ අත්සන මනෝ ගනේෂන් ඉල්ලා අස්කර ගනියි – Video

colombotoday

“ෆෙඩරල් දෙන්න පොරොන්දු වුණා..! අපේ පිපාසය ඊළමයි“ ජාත්‍යන්තර ඊළාම් ජාලයෙන් නිවේදනයක්

colombotoday