Colombo Today Local News

යෝෂිත අත්අඩංගුවට ගැනීමට ඩීඅයිජී අනුර දිසානායක කළ මෙහෙයුම ගැන විමල් කියයි

vimal weerawansa

මරබිය තුරන්කර, රට එක්සේසත් කර අදීන ශ‍්‍රී ලංකාවක් නිර්මාණය කර දීමට සිය මුළු වෙර යොදා කැපවුණු නායකයාගෙන් මේ ආකාරයට පන්න පන්නා පලිගැනීම තවදුරටත් නොඉවසා ඊට එරෙහිව නැගී සිටින්නැයි ජාතික නිදහස් පෙරමුණේ නායක, පාර්ලිමේන්තු මන්ත‍්‍රී විමල් වීරවංශ මහතා පොදු ජනතාවගෙන් ඉල්ලා සිටියි.

ඊයේ (01) බොරැල්ල එන්.එම්. පෙරේරා මධ්‍යස්ථානයේ පැවැති හිටපු ජනාධිපති පුත් යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීම පිළිබඳව අදහස් ප්‍රකාශ කිරීමේ ඒකාබද්ධ විපක්‍ෂ විශේෂ මාධ්‍ය හමුවේදී අදහස් දක්වමින් විමල් වීරවංශ මහතා මෙසේ පැවසීය.

එහිදී ඔහු මහතා මෙසේ පැවසීය.

“පෙබරවාරි 05 වැනිදා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කොමසාරිස් ෂෙයිඞ් අල් හුසේන් ශ‍්‍රී ලංකාවට පැමිණිමට නියමිතයි. ඔහු පැමිණෙන්නේ මහින්ද රාජපක්‍ෂ මැතිතුමා ප‍්‍රමුඛ කොටි ත‍්‍රස්තවාදයෙන් මේ රට බේරාගත් රණවිරුවන් දංගෙඩියට යවන යුද අපරාධ අධිකරණයක් පිහිටුවීමට අදාළ කටයුතුවල ප‍්‍රගතිය විමසා බැලීමටයි. ඒ මහා පාවාදීමේ මෙහෙයුම දිගේලි කරමින් තිබෙන වෙලාවේ මේ කොන්ද පණ නැති ආණ්ඩුව මහින්ද රාජපක්‍ෂ මැතිතුමාගේ දේශපාලන භූමිකාව නතර කරන්න හිතාගෙන එතුමාගේ බිරිඳ, පුතාලා ඇතුළු පවුලේ සැමට දරුණු ලෙස පහර දීමට පටන්ගෙන තිබෙනවා. මේ මාධ්‍ය හමුව පවත්වන අවස්ථාවේ ශිරන්ති රාජපක්‍ෂ මැතිනිය ඉන්නේ බරපතළ මූල්‍ය වංචා පිළිබඳ සොයන ජනාධිපති කොමිසමේ.

මේ ආණ්ඩුව දන්නවා, ඔවුන්ට පැවැත්මක් නැහැ කියලා. මේ තමයි කෙටිම කාලයකින් වැඩිම හානිය සිදුකර ගත්තු ආණ්ඩුව. මේක “ඔළු දෙකේ” ආණ්ඩුවක්. ඊට නායකයන් දෙදෙනකු ඉන්නවා. එහෙම නායකයන් “බානක්” හිටියත් ඒ දෙදෙනාට රට පාලනයකර ගන්න බැරි වෙලා තිබෙනවා. ආර්ථිකය දවසින් දවස වැටෙනවා. දිනාගත්තු සමාජ ආර්ථික ජයග‍්‍රහණ රටට අහිමි වෙමින් තිබෙනවා. ඒ නිසා ඔවුන්ගේ අසරණකම වහගන්න තියෙන එකම ක‍්‍රමය වී ඇත්තේ “මහින්ද භීතිකාවක්” මැවීම.

හිටපු ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතාගේ පුතා යෝෂිත රාජපක්‍ෂ සීඑස්එන් නාලිකාවේ කිසිදු තනතුරක් දරන්නෙ නැහැ. සභාපති හෝ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු නොවෙයි. අයිතිකරු ද නොවෙයි. නමුත් එක්තරා ඇමතිවරයකුගේ මස්සිනා කෙනෙකු මෙම නාලිකාවේ අධ්‍යක්‍ෂ මණ්ඩල සාමාජිකයකු ලෙස කටයුතු කරනවා. ඔහුට මේ අත්අඩංගවට ගැනීම අදාළ වී නැහැ. “ඇමති මස්සිනා” අතහැර හිටපු ජනාධිපතිතුමන්ට පහර දීමට තමයි යෝෂිත රාජපක්‍ෂව මේකට පටලවන්නේ. මේ දඩයමට “රතු පාවාඩ එලන්නේ” ජනතා විමුක්ති පෙරමුණ. “ඞී.අයි.ජී. අනුර දිසානායක” එයාගේ ගෝලයකුට ප‍්‍රශ්න අහන්න කියනවා. එයා බෝලය උස්සලා දුන්නම ඇමති මෙහෙන් “ඩෑෂ් පහර” දෙනවා. ඒ විදියට අත්අඩංගුවට ගැනීමට අවශ්‍ය මතය සහ පරිසරය හදලා පසුව කියනවා “අල්ලන්න” කියලා.

යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගැනීමේ තීන්දුව ගත්තේ ජනාධිපතිවරයා ඇතුළු ඇමතිවරු තුන්දෙනෙක්, “සිවිල් සමාජ ක‍්‍රියාකාරිකයන්” යැයි කියා ගන්නා එන්ජී ඕ කාරයෝ දෙදෙනෙක් හා පොලීසියේ ඉහළම නිලධාරියෙක් අපේ ගම පරිශ‍්‍රය තුළදී හමුවෙලා, සාකච්ඡා කරලයි. පොලිස්පතිට දැඩි බලපෑමක් එල්ල කරලා “නීතිපති උපදෙස් අවශ්‍ය නැහැ. කෙලින්ම ගන්න” කියලයි කිව්වේ. අපට මතකයි හිරුණිකා පේ‍්‍රමචන්ද්‍ර අත්අඩංගුවට ගන්න නීතිපතිගේ උපදෙස් ලැබෙනකම් කොපමණ කාලයක් බලා සිටියාද? එදා පොලීසිය කිව්වේ “බුදු අම්මෝ, නීතිපතිගේ ලියුම නැත්තම් හිරුණිකා දිහා බලන්නවත් බැහැ” කියලයි. මෙතැනදී යෝෂිත රාජපක්‍ෂ ඇතුළු පිරිස අත්අඩංගුවට ගෙන ඇත්තේ කිසිදු නීත්‍යනුකූල පදනමක් නැතිවයි. මෙසේ අත්අඩංගුවට ගැනීමට ඇත්තේ එකම හේතුවයි. ඒ තමයි, “මහින්ද රාජපක්‍ෂ දේශපාලන භූමිකාවෙන් ඉවත් කරන්න නම් දරුවන්ට ගහන්න ඕනෑ” කියලා, මේ ඔළු දෙකේ ආණ්ඩුව විසින් සිතීම. දරුවන්ට ගහපුවාම මහින්ද රාජපක්‍ෂ මැතිතුමා තාත්තා කෙනෙකු ලෙස සැලෙයි කියලා මේ ආණ්ඩුව හිතනවා. එවැනි ද්‍රෝහී පාපතර මෙහෙයුමක් පමණයි අද මේ රටේ ක‍්‍රියාත්මක වෙන්නේ. මේ ආණ්ඩුව කොපමණ අසරණ, දුර්වල වෙලාද කියනවා නම්, සදාචාරාත්මකව වැහැරිලාද කියනවා නම්, අද ක‍්‍රියාත්මක වන්නේ “දරුවන්ගෙන්, බිරින්දෑවරුන්ගෙන් පලිගැනීමේ මෙහෙයුමයි”

අද මේ රටේ නීතිය ක‍්‍රියාත්මක වෙනවා කියලා කවුරුහරි කියනවා නම් ඒක විහිළුවක්. ඇඹිලිපිටියේ එක්දරු පියාගේ ඝාතනයට සම්බන්ධ පොලිස් නිලධාරීන් වහාම අත්අඩංගුවට ගන්න” කියා ඇඹිලිපිටියේ මහේස්ත‍්‍රාත්තුමා නියෝගයක් ලබාදී තිබෙනවා. එම නියෝගය ලබාදී අදට දින 06යි. ඒ නිලධාරීන් සොයා ගන්න බැරිද? ඒකෙන්ම ඉතා පැහැදිලිව පෙනෙනවා අද මේ රටේ නිර්මාණයකර ඇත්තේ පොලිස් රාජ්‍යයක්. අද එෆ්.සී.අයි.ඩී කියලා නීති විරෝධී ආයතනයක් හදලා, ඒකට ඕනෑම මර්දනකාරී පියවරක් ගන්න අනුබල දීලා තියෙනවා. ඇමතිවරු කල්ලි ගැහිලා, “අත්අඩංගුවට ගත යුත්තේ කවුද?” කියලා තීන්දු කරනවා. වෛරයෙන් පෙළෙන ඇමතිවරුන්ගේ උපදෙස් පිළිගන්න අද පොලිස්පතිවරයාට සිදු වෙලා තිබෙනවා.

Related posts

බදුර්දීන්ගේ දූෂණ හෙළිකලැයි සතොස සභාපති තනතුරින් නෙරපයි !

colombotoday

ශ‍්‍රී ලංකා නිදහස් පක්ෂය සඳහා නව දිස්ති‍්‍රක් නායකයන් පත් කෙරේ

colombotoday

කට වසනු.. හිටපු ජනපතිට හා පෞද්ගලික ලේකම්ට පාස්කු කොමිසමෙන් දැඩි නියෝගයක්!

colombotoday

රණවිරුවන්ගේ තුන්වැනි දරුවාට දුන් රුපියල් ලක්‍ෂය කප්පාදුයි!

colombotoday

කොවිඩ් එන්නත්කරණයෙන් කිසිදු ආසාත්මිකතාවක් වාර්තා වෙලා නෑ – වෛද්‍ය ආනන්ද විජේවික්‍රම

colombotoday

සහරාන් ඇතුළු කණ්ඩායම අප්‍රේල් 20 කර තිබු පෙර පුහුණුවක් පිළිබඳ රාජ්‍ය බුද්ධි සේවයේ අධ්‍යක්ෂක දැන ඉදලා

colombotoday