Colombo Today Local News

බෝධි සංස්කෘතියෙන් හෙළ දෙරණ පුණර්ජීවණයකළ සිරිමහ බෝ සමිඳුන් වැඩම කර වූ උඳුවප් පොහොය අද

ක්‍රි.පූ. 3 වන සියවසේදී සංඝමිත්තා මහරහත් මෙහෙණිය ප්‍රමුඛ මෙහෙණින් වහන්සේලා එකොළොස්‌ නමක්‌ ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාවද සමග ලංකාවට වැඩමවීමත්, ලංකාවේ භික්‍ෂුණී සමාජය ආරම්භ වීමත් යන සුවිශේෂී සිදුවීම් සිදුවූ උඳුවප් පුරපසළොස්‌වක පොහොය දිනය අදයි.

“සිංහල ජාතියේ දීර්ඝ ඉතිහාසයෙහි වෙනත් එකද සිද්ධියක්‌ හෝ මහාබෝධි වෘක්‍ෂ රෝපණය තරම් තදින් සිංහලයාගේ සිත් ඇද ගත්තේ ද යනු සැක සහිතය. තනි ගල් තලයක්‌ මතුයෙන් පෝෂ්‍ය ලබමින් ඉතාම ශක්‌ති සම්පන්න ගොඩනැඟිල්ලක්‌ ඇතුළට පවා පලාගෙන යන එහි මෘදු මුල් මෙන්a මෙම වෘක්‍ෂයෙන් නිරූපණය වන බලය මිනිසුන්ගේ අභ්‍යන්තරයට විනිවිද ගොස්‌ ඇත්තේය”. ශ්‍රී මහාබෝධි රෝපණය ලාංකික ජන ජීවිතයට බලපෑම් කරන ලද ආකාරය කෙබඳු දැයි යන්න පෝල් ඊ පීරිස්‌ මහතා අර්ථ දක්‌වා ඇත්තේ එලෙසිනි.

ශ්‍රී මහාබෝධි ශාඛා රෝපණය තෙක්‌ ලක්‌දිව ජනතාවගේ සිත් තුළ කා වැදී පැවතී රුක්‌ දෙවියන් පිදීමේ චින්තනය බෝධි ආගමනයත් සමග වෙනස්‌ වන ආකාරයත් ඉන්පසු බිහිවන නව බෝධි සංස්‌කෘතිය ලක්‌දිව ජන සමාජය තුළ පැතිර යන ආකාරයත් පිළිබඳ මෙහිදී විශේෂයෙන් විමසා බැලිය යුතුය.

බුදුදහම මෙරටට හඳුන්වා දෙන අවධිය වනවිට මෙරට වැසියන් විවිධ ඇදහිලිවලට පුරුදු පුහුණු වී සිටිය බව නොරහසකි. වෘක්‍ෂ වන්දනාව යනු ඒ අතර ජනප්‍රිය වූ ආගමික සම්ප්‍රදායකි. එකල ලක්‌වැසියන් අතර පූජනීයත්වය ට පත්වූ වෘක්‍ෂ දෙකක්‌ ලෙස නුග රුකත් තල් රුකත්a පෙන්වා දිය හැකිය. ශ්‍රී මහා බෝධින් වහන්සේගේ දක්‍ෂිණ ශාඛාව මෙරටට වැඩම කරවීමෙන් නොවිධිමත් වෘක්‍ෂ වන්දනාවක නියළුණ ලක්‌ ජනතාවට නිවැරැදි අරමුණකින් සිය පුද පූජාවන්a පැවැත්වීමට හැකියාව ලැබිණි. බුදුදහම අගය කොට සැලකුවේ ආමිස පූජාවට වඩා ප්‍රතිපත්ති පූජාව වුවද, බුදුදහම ජනතාව අතර ජනප්‍රිය කරවීමටත් ඔවුන් තුළ බොදු බැතිය ජනිත කරලීමටත් ආමිස පූජාව අත්‍යවශ්‍ය බව මිහිඳු මහ රහතන්වහන්සේ කල්පනා කරන්නට ඇත. ඒ නිසාම ශ්‍රී මහ බෝධි ශාඛාව පමණක්‌ නොව බුදුන්වහන්සේගේ ගී්‍රවා ධාතුවත්, පාත්‍ර ධාතුවත් ලක්‌දිවට වැඩම වීමට මිහිඳු හිමියෝ කටයුතු කළහ. මෙම පූජා වස්‌තූන් අතර ශ්‍රී මහබෝධීන් වහන්සේට ලක්‌වැසි ජනතාවගේ සිත් තුළ ප්‍රධාන තැනක්‌ හිමි විය. බුදුපිළිමයත්, ස්‌තූපයත් හැරුණුවිට බෞද්ධයන්ගේ වැඳුම් පිදුම්වලට ලක්‌ වූ පූජනීය වස්‌තුව වූයේ බෝධියයි. එදා මෙදා තුර ශ්‍රී මහා බෝධිය මූලික කරගෙන බිහිවුණ නව සමාජ පෙරළිය විවිධ අංශයන් යටතේ සාකච්ඡා කළ හැකිය.

ශ්‍රී මහ බෝධිය නිසා සකස්‌ වුණ මෙම නව සමාජ රටාව බෝධි සංස්‌කෘතිය ලෙස හැඳින්වේ. මේ බෝධි සංස්‌කෘතියේ බලපෑම සිරිත් විරිත්, පුද පූජා, ආකල්ප, භාෂා සාහිත්‍ය, ගෘහ නිර්මාණ ශිල්පය ආදිය කෙරෙහි පමණක්‌ නොව පුද්ගල නාම සහ ස්‌ථාන නාම කෙරෙහි පවා විහිදී ඇති ආකාරය මූලාශ්‍ර ග්‍රන්ථ අධ්‍යයනය තුළින් පැහැදිලි වේ.

ශ්‍රී මහ බෝධි ශාඛාව ලංකාවට වැඩම කරවන අවස්‌ථාවේදී ඒ සමඟ දඹදිව බොදු සංස්‌කෘතියේ විවිධ ලක්‍ෂණ හෙළි කරන්නා වූ ශිල්ප ශේ්‍රණිවලට අයත් පිරිස්‌ ද පැමිණි බව මූලාශ්‍රවලින් හෙළි වේ. මේ පිරිස්‌ සිංහල සංස්‌කෘතියට බද්ධ වීමෙන් නව සංස්‌කෘතික වටපිටාවක්‌ ලක්‌දිව තුළ ගොඩනැඟුණි. බෝධි ශාඛාවත් සමග පැමිණි මෙම සොළොස්‌ කුලයන්ට අයත් පිරිස සිංහල සංස්‌කෘතිය හා මිශ්‍ර වූ ආකාරය පිළිබඳ විමසා බැලීමද මෙහිලා වැදගත් වේ. සිංහල බෝධි වංශයේ සඳහන් වන තොරතුරුවලට අනුව බෝධීන් වහන්සේ සමග දඹදිවින් පැමිණි රජකුමාරවරු අටදෙනා හට දේවානම් පියතිස්‌ස මහරජු විසින් විවිධ තනතුරු ප්‍රදානය කොට ඇත. මේ සියලු තනතුරු ශ්‍රී මහා බෝධීන් වහන්සේ ආශ්‍රිතව සිදු කරන ලදි. සිංහල බෝධි වංශයේ සඳහන් එම තනතුරු සහ කාර්යයන් මෙසේය.

1. බෝධි ගුත්ත කුමාරයා – ජයශ්‍රී මහා බෝධි කටයුතු භාර ලේකම්

2. සුමිත්ත කුමාරයා – මහබෝධීන් වහන්සේට පෙරහැර පැවැත්වීම.

3. චන්ද්‍ර ගුප්ත කුමාරයා – මහබෝ මඟුලෙහි රන් බෙර වැයීම.

4. දේවගුප්ත කුමාරයා – මහබෝධි මූලයට ඉසින පිsරිත් පැන් පිරවූ රන් කෙණ්‌ඩිය මඟුල් ඇතු පිට තබා නුවර පැදකුණු කොට ගෙන ඒම.

5. ධර්ම ගුප්ත කුමාරයා – මහබෝ මඟුල්හි සක්‌ පිඹීම.

6. සූරිය ගුත්ත කුමාරයා – මහබෝ මඟුලෙහි රන් කෙණ්‌ඩියෙන් පැන් ඉසීම

7. ගෝතම කුමාරයා – මහබෝ මුදුනට ධවලච්ඡත්‍රය දැරීම

8. ජුතින්දර කුමාරයා – මහබෝ මඟුලෙහි ආරක්‍ෂක කටයුතු භාර ප්‍රධාන තනතුර

යථෝක්‌ත කුමාරවරුන් අටදෙනා මිහිඳු මහරහතන් වහන්සේගේ මාමාවරුන් බව පෙළ පොත්වල සඳහන් වේ. ඔවුන් මෙසේ රාජකීය නිලයන්ට පත් කරන්නට ඇත්තේ යට කී රාජකීය තත්ත්වය නිසා විය යුතුය. මෙම තනතුරුවලට අමතරව මහ බෝධිය සමඟ ලක්‌දිවට පැමිණි සියලුම කුලයන්ට උචිත පරිදි තනතුරු දුන් දෙවනපෑතිස්‌ රජතුමා ඔවුන්ගේ යෑපීම සඳහා ගම්වර බැගින් ද ප්‍රදානය කොට ඇත. මෙම තනතුරුවලට අමතරව ස්‌ත්‍රී පක්‍ෂය වෙනුවෙන් තනතුරක්‌ පිරිනැමීමට ද දෙවනපෑතිස්‌ රජතුමා අමතක නොකළහ. ශ්‍රී මහ බෝධීන් වහන්සේ ලක්‌දිවට වැඩමවාගෙන එන ලද්දේ ස්‌ත්‍රියක විසින් වීමත් බුදුදහම ස්‌ත්‍රී පක්‍ෂය කෙරෙහි සමතාවයෙන් සැලකීමත් නිසා රජු එසේ ස්‌ත්‍රී පක්‍ෂය සඳහා ද තනතුරක්‌ ප්‍රදානය කිරීමට සිතුවා විය හැකිය. ඒ අනුව මහ බෝධියට රන්, රිදී කළ ගෙන පැන් වත් කිරීම රාජ කන්‍යාවන් සිවු දෙනකුට පවරාදී ඔවුනට පෙරහර බිසෝ තනතුර නමින් තනතුරක්‌ ප්‍රදානය කළේය.

කල්යත්ම බෞද්ධයන්ගේ පුද පූජාවට පාත්‍ර වූ පූජනීය වස්‌තු අතර බෝධි වෘක්‍ෂයට ප්‍රධාන තැනක්‌ හිමි විය. බෝධි වෘක්‍ෂය සිදුහත් කුමරු හා සහජාත වස්‌තු හතෙන් එකක්‌ බව මහාපදාන අට්‌ඨ කථා, කාලුදායී ථෙර ගාථා අට්‌ඨ කථා, බුද්ධ වංශ අට්‌ඨ කථා යන ග්‍රන්ථවල සඳහන් කොට ඇත. බෞද්ධ සාහිත්‍ය අනුව බෝධි වෘක්‍ෂය ද චෛත්‍ය ගණයට අයත් වේ. බුද්ධත්වය ලබාගැනීමට මහෝපකාරී වීමත්, සතියක්‌ පුරා සමවත් සුවෙන් ඇසතු මූලයෙහි වැඩ සිටීමත් එමෙන්ම අනිමිස ලෝචන පූජාවෙන් පිදුම් ලැබීමත් යන කරුණු හේතුකොට ගෙන බෝධි වෘක්‍ෂය බෞද්ධයාගේ පරම පූජනීය පූජා වස්‌තුවක්‌ බවට පත්වූ බව පැහැදිලිය. බුදුන් වහන්සේගේ ප්‍රතිමූර්ථියක්‌ බඳු වූ බෝධි වෘක්‍ෂය බෞද්ධ ජනයාගේ වන්දනයට පාත්‍ර වූයේද එහි ඇති පූජනීය බව නිසාමය. බෝධි පූජා කිරීම හා එහි ආනිශංස පිළිබඳ තොරතුරු රැසක්‌ ථෙර ගාථා සහ උදාන ග්‍රන්ථවල අන්තර්ගත වී ඇත.

ශ්‍රී මහ බෝධිය වැඩම වීමේ සිදුවීම සංස්‌කෘතික වශයෙන් අතිශය වැදගත්කමක්‌ උසුලන්නේ කලා ශිල්ප පිළිබඳව මෙරට ඇතිවූ පුනරුදය නිසාය. බෝධි ශාඛාවත් සමග කුල රැසකට අයත් විශාල පිරිසක්‌ මෙරටට පැමිණි බව මූලාශවල සඳහන් වේ. මේ පිරිස අතර ශිල්ප ශේ්‍රණි 18 කට අයත් ශිල්පීන් සිටි බව කියෑවේ. මෙම ශිල්ප ශේ්‍රණිවලට අයත් වූ ශිල්පීන් එවකට ඉන්දියාවේ වැඩි දියුණුවී පැවැති ගෘහ නිර්මාණ, කැටයම්, මූර්ති, චිත්‍ර මෙන්ම වෙනත් කර්මාන්තයන් ද ලංකාවට හඳුන්වා දුන්හ. පසු කලෙක එම කලාවන් සිංහල සම්ප්‍රදායනට අනුව වැඩි දියුණු විය. චෛත්‍ය වන්දනාව මුල්කොට ගෙන ස්‌තූපය නිර්මාණය වී පසු කලෙක ඒ ආශ්‍රිතව වටදා ගෙවල්, වාහල්කඩ ආදි කලා නිර්මාණ බිහි වූවා සේ බෝධිය මුල් කොට ගෙන “බෝධිඝරය” නම් වූ විශිෂ්ට කලා කෘතිය බිහි විය. උස්‌ වේදිකාවක්‌ මත රෝපිත ශ්‍රී මහ බෝධිය වටා දඹදිව ශ්‍රී මහ බෝධීන් වහන්සේ වටා කෙරුණු අන්දමේ බෝධිඝරයක්‌ ඉදිකළ බව වංශකතාවල සඳහන් වේ. උතුරේ තිවංක බමුණු ගමේත් දකුණේ කාජරගාම හා චන්දන ග්‍රාමයේත් බෝධි රෝපණ අවස්‌ථාවේදී ම බෝධිඝර ඉදිකොට ඇත. කල්යත්ම බෝධිය සෑම විහාරයකම අනිවාර්ය අංගයක්‌ වූයෙන් බෝධිඝරය ද ඉදිවෙන්නට පටන් ගත්හ.

වෙනත් කිසිදු ක්‍ෂේත්‍රයක්‌ පදනම් කොට ගෙන බිහි නොවුණ තරම් ග්‍රන්ථ සමුදායක්‌ ශ්‍රී මහ බෝධීන් වහන්සේ පසුබිම් කොට ගෙන බිහි විය. මෙසේ බෝධිය ආශ්‍රිතව වර්ධනය වූ සාහිත්‍ය බෝධි සාහිත්‍ය නමින් හැඳින්වේ. මේ සියලු ග්‍රන්ථයන් තුළින් බෝධීන් වහන්සේට සමාජයේ හිමිවූ අති පූජනීයත්වයත් සමාජයේ හැඩ ගැසීම කෙරෙහි බෝධියේ බලපෑමත් මැනවින් හඳුනා ගත හැකිය. බෝධිය ආශ්‍රිතව ලියවුණ ග්‍රන්ථ ලෙස, පාලි මහ බෝධි වංශය, ධර්ම ප්‍රදීපිකාව, සිංහල බෝධි වංශය, සුළු බෝධි වංශය, චූල බෝධි වංශය, මහබෝධි වංශ ග්‍රන්ථ පද විවරණය, මධුරාර්ථප්‍රකාශනි, ජින බෝධාවලි, සිරිලක්‌බෝ මැඬ අලංකාරය, මහබෝධි අලංකාරය, සිරිමා බෝ කවි, සිරිමා බෝ විස්‌තරය, මහ බෝධි වර්ණනාව, ලංකා බෝධි වස්‌තුව, මා බෝ වැඳීම, ලක්‌ බෝ සැහැල්ල, බෝ මුල උපත, බෝධි වංශ ටීකාව, ජය මහ බෝධි වන්දනා, බෝ මැඬ අලංකාරය, බෝධි වංස කථා, බෝධි ආගමනය , බෝධි පිහිටි කථාව, ශ්‍රී මහ බෝධි කීර්තිය හෙවත් අනුරාධපුර වන්දනාව, බෝධි වංස අට්‌ඨ කථා, බෝධි වන්දනා, බෝධි වන්දනා ගාථා, බෝ මැඬ අලංකාරය, බෝ මැඩ විස්‌තරය, බෝ මැඬ නුදුරු ස්‌ථානය, සොළස පූජා ගාථා පෙන්වා දිය හැකිය.

ශ්‍රී මහ බෝධි ශාඛාව ලක්‌දිවට වැඩම කරවීමෙන් වෙනසකට ලක්‌වූයේ සමාජය පමණක්‌ නොවේ. පුද්ගල චිත්ත සන්තානයන්හි පවා මහත්වූ විපර්යාසයක්‌ ඇති කරන්නට ශ්‍රී මහ බෝධි ශාඛාවට හැකි විය. බෝධිය නිසා ලාංකික ජන සමාජය තුළ ව්‍යාප්ත වී ගිය විවිධ වූ චාරිත්‍ර වාරිත්‍ර සහ ආකල්පයන් පිළිබඳ තොරතුරු ඉතිහාසය පිරික්‌සීමේදී දැක ගත හැකිය.

බුදුදහම ලක්‌දිවට පැමිණෙන්නට පෙර යක්‍ෂයන්, නාගයන්, දෙවියන්, වන්දනා කරමින් සිටි ජනතාව බුදුදහමේ ආභාෂයෙන් මිථ්‍යා විශ්වාසයන් කෙරෙන් මිදුණ ද, පසු කලෙක නාගයා බෝධි වෘක්‍ෂය ආරක්‍ෂා කරන්නෙකු ලෙසින් ජනයාගේ විශේෂ ගෞරවයට පාත්‍ර විය. එමෙන්ම විශේෂ පොහොය දිනවලදී (වෙසක්‌/ පොසොන්) අනුරාධපුරයේ පූජනීය ස්‌ථාන වැඳ පුදා ගැනීම පිණිස යන පිරිස ප්‍රථමයෙන්ම ශ්‍රී මහ බෝධිය වඳින්නට යැම සිරිතක්‌ කර ගත්හ.

සිංහල බෞද්ධයා හට ශ්‍රී මහ බෝධිය හුදෙක්‌ වෘක්‍ෂයක්‌ පමණක්‌ම නොවීය. එය ජීවමානව වැඩ සිටින බුදුන් වහන්සේ හා සමාන විය. ඒ නිසාම බෞද්ධයෝ ශ්‍රී මහ බෝධිය හඳුන්වන්නට ප්‍රාණවාචී පද භාවිත කොට ඇති බව පෙනේ. එය සිරිමා හාමුදුරුවෝ, බෝ රඡ්ජුරුවෝ, සිරිමා බෝ හාමුදුරුවෝ, බෝධීන් වහන්සේ, උඩ මළුවේ බෝධිසාමි යනු එවැනි ගෞරවාර්ථ පද කිහිපයකි. ලාංකික බෞද්ධ ජනයා ජය ශ්‍රී මහ බෝධිය කෙරෙහි දැක්‌වූ ගෞරවය කෙතරම් ද යත් ශ්‍රී මහ බෝධිය යට ඇති සියලු වස්‌තූන් ද පූජනීය තත්ත්වයෙහිලා සැලකූහ, රන්වැලි, රන් පත්‍ර, රන් කඳ පමණක්‌ නොව සිරිමා බෝ හාමුදුරුවන්ට පැන් ගන්නා තිසා වැවත් ජනතාවට පූජනීය විය. පූජනීය ලෙස සැලකූ නිසා වැවේ මසුන් නොමැරීමද පුරාණයේ සිට පැවත එන චාරිත්‍රයකි. ශ්‍රී මහ බෝධියෙන් රන් පත්‍රයක්‌ ගිලිහී වැටෙනුයේ අවුරුදු හතකට වරක්‌ බවත් එසේ පිරිනිවන් පා වැටෙන පත්‍රය වුවද නර සතුනට පෑගෙන බැවින් එය ද තිසා වැවට වැටෙන බව බෞද්ධයන්ගේ විශ්වාසයයි.

ශ්‍රී මහ බෝධීන් වහන්සේ මුල් කරගෙන පවත්වන්නා වූ චාරිත්‍ර අතර නානුමුර මංගල්‍යයට ප්‍රධාන තැනක්‌ හිමි වේ. මෙහිදී ශ්‍රී මහ බෝධිය ජලයෙන් නැහැවීම සිදු කෙරේ. අතීතයේ ජනතාව බෝධි නෑවීමෙන් පසු නියඟය දුරුවී මහවැසි ඇද හැළෙන බව විශ්වාස කළහ. වර්තමානයේදී සිදු කරනුයේ බෝධිය නැහැවීම නොව එහි ඇති විහාරයේ ප්‍රතිමාව නැහැවීමයි.

දරමිටි පෙරහැර නමින් හැඳින්වෙන තවත් සුවිශේෂී වූ චාරිත්‍ර විධියක්‌ ශ්‍රී මහ බෝධිය හා සම්බන්ධව පවතී. දැනුදු වාර්ෂිකව පවත්වන්නා වූ මෙම දරමිටි පෙරහැර නම් වූ චාරිත්‍රයට දීර්ඝ ඉතිහාසයක්‌ද ඇත. අනුරාධපුර අරාජික සමයෙහි එකල ජනතාව ශ්‍රී මහ බෝධිය ආරක්‍ෂා කර ගැනීම උදෙසා දරන ලද උත්සාහයක ප්‍රතිඵලයක්‌ ලෙසින් මෙම චාරිත්‍රය උපත ලබා ඇත. වන සතුන්ගෙන් බෝධියට වන හානිය වළක්‌වාලීමට බෝධිය හතර පැත්තේ විශාල ගිනි ගොඩවල් හතරක්‌ ගැසීම තුළින් හැකි විය. වන්දනාවේ එන පිරිස්‌ ද එසේ ගිනි දැල්වීමට අවශ්‍ය දර සැපයීම සඳහා දර මිටිය බැගින් රැගෙන ආ බව කියෑවේ.

ශ්‍රී මහ බෝධිය ඇසුරු කරගෙන ගොඩනැඟී ඇති තවත් චාරිත්‍රයක්‌ වන්නේ බාර වීමයි. බෝධියේ අනුහස්‌ පිළිබඳව රජරට ගැමියන් තුළ පමණක්‌ නොව ලාංකික සියලු බෞද්ධයන් තුළ ඇත්තේ දැඩි විශ්වාසයකි. දෛනික ජීවිතයේදී ගැමි ජනතාවට මුහුණපාන්නට සිදුවන විවිධ වූ දුක්‌ කම්කටොලුවලට විසඳුම් ලබාදෙන ලෙසින් ඉල්ලා ඔවුන් ජය ශ්‍රී මහ බෝධියට බාරහාර වූහ. මෙම බාරහාර වීමේ අවශ්‍යතාවන් විවිධාකාර වූවාක්‌ මෙන්ම ඒවා ඔප්පු කිරීමේ ක්‍රමයන් ද එකිනෙකට වෙනස්‌ විය.

කුඹුරු හා සම්බන්ධ විවිධ අවශ්‍යතාවන් උදෙසා බාර වූ විට බොහෝ විට කෙරෙනුයේ එහි අස්‌වැන්නෙන් ප්‍රථම භාගය බුද්ධ පූජාවට වෙන් කිරීමයි. රජරට ගොවියන් අතර පාරම්පරිකව පැවතෙන මෙම චාරිත්‍රය හඳුන්වන්නේ අක්‌කියාල වෙන් කිරීම යනුවෙනි. ඇතැම් අවස්‌ථාවලදී රජරට වැසියන් තම අභිමතාර්ථයන් ඉටු වූ පසු බෝධිය වටා රෙදි ඔතනු දක්‌නට ලැබේ. මෙය කප් රුක්‌ වැසීම යනුවෙන් හඳුන්වනු ලැබේ. පහන් පූජාවක්‌ පැවැත්වීමෙන් බාර ඔප්පු කිරීමද පුරාණයේ සිට පැවත එන චාරිත්‍රයකි. රජරට ප්‍රදේශයේ වසංගත රෝග පැතිරෙනවිට ශ්‍රී මහා බෝධි මළුවේ පිරිත් කීමද පුරාණයේ සිට පැවැත ආ චාරිත්‍රයකි. එසේ පිරිත් කීමෙන් අනතුරුව පැන් කළයක්‌ ශ්‍රී මහ බෝධියට වත් කිරීමෙන් වසංගත රෝග සමනය වන බව රජරට වැසියන්ගේ විශ්වාසයයි.

දිව්රීම බෝධිය හා සම්බන්ධ වූ තවත් පෞරාණික චාරිත්‍රයකි. ජනතාව අතර විවිධ කාරණා මත හට ගන්නා වූ මත භේද කුකුස්‌ හා ප්‍රශ්න නිරාකරණය කර ගැනීම උදෙසාත් තමන්ගේ නිර්දොaශීභාවය තහවුරු කිරීම උදෙසාත් මෙසේ දිව්රීම උපයෝගි කරගෙන ඇත. රාජ්‍ය භාර ගන්නා තැනැත්තා රාජ්‍ය පදවිය භාර ගැනීමේදී ඒ පිළිබඳව දිවුරුම් දීම ඉපැරණි චාරිත්‍රයකි. එසේ දිවුරුම් දීමේදී කියවන පාඨයෙහි මුලටම සඳහන්ව ඇත්තේ ශ්‍රී මහ බෝධීන් වහන්සේගේ නාමයයි. බෝධිය නිසා …………

අතීතයේදී බෝධීන් වහන්සේ වෙනුවෙන් පවත්වනු ලැබූ තවත් චාරිත්‍ර විධියක්‌ නම් සෝමනස්‌ස පූජාවයි. සොම්නස්‌ මහ බෝ මඟුල යන පදයෙන් හැඳින්වෙන මෙම චාරිත්‍රානුකූල උළෙල රටේ සෞභාග්‍යයත්, ජනතාවගේ අභිමතාර්ථයනුත් අරමුණු කරගෙන පවත්වන ලදී. වර්තමානය වන විට මෙම චාරිත්‍රය අභාවයට ගොස්‌ ඇති බව පෙනේ.

බෝධිය හා සම්බන්ධ කාරණාවලදී වැළකිය යුතු යෑයි සම්මත වූ කරුණු රැසක්‌ ද වේ. ඒ අතර ප්‍රධාන කරුණක්‌ වන්නේ බෝධියට හානි කිරීමෙන් වැළකී සිටීමයි. බෝ ගසක අත්තක්‌ හෝ කැපීමට අවසර ලැබුණේ එයින් සධාතුක චෛත්‍යයකට හෝ ආසනඝරයකට බාධාවක්‌ ඇති කල්හි පමණි. එසේ නැතහොත් දිරන හෝ දුම්මලකාරී වෑස්‌සෙන අතු කපා දැමීමට අවසර තිබේ. එසේ කැපීමෙන් ගසෙහි වැඩීමට සහනයක්‌ සැලසෙන්නේ නැතිනම් එය ද වරදක්‌ වෙයි. චෛත්‍ය දෙසට විහිදුණු බෝ අතු මත සිට කුරුල්ලන් චෛත්‍ය මත වසුරු හෙළයි නම් එබඳු අතු කපා දැමීමට ද අවසර තිබේ. (අ නි. 230 පිටුව)

බෝධි ආගමනය මේ රටේ සමාජ ව්‍යqහය කෙරෙහි බලපෑ අන්දම පැහැදිලි කෙරෙන තවත් විශේෂිත අංගයක්‌ වන්නේ ඒ ආභාෂයෙන් ගොඩනැඟුණු කුල පරම්පරා, නම් ගොත් සහ ස්‌ථාන නාම ආදියයි. සංඝමිත්තා තෙරණිය සමග ලක්‌දිවට පැමිණි පිරිස අතර සිටි බෝධි ගුප්ත කුමාරයා එම පිරිසෙහිම සිටි සුනන්දා නම් සාමණේරින් සිවුරු හරවා සුදුවත් හන්දවා සර්වාභරණයෙන් සරසා මහ පෙරහැරින් සිය ගෙට කැඳවා ගෙන ගිය බව බෝaධිවංශයේ සඳහන් වේ. මේ දෙදෙනාගෙන් ඇරඹුණු වංශය මෙහෙණවර වංශය නමින් හඳුන්වනු ලැබේ. මේ පරපුරට අයත් වූවෝ වර්තමානයේ ද ලංකාව පුරා විසිරී සිටිති. පසු කලෙක බුලන්කුලමේ පරම්පරාව, වේවැල්ල පරපුර ආදී වශයෙන් මෙම වංශය ව්‍යාප්ත වී ගොස්‌ ඇත.

පොළොන්නරුව යුගයේ රාජ්‍ය බලයට උරුමකම් කී කාලිංග වංශය ද බෝaධි ආගමනයත් සමග මේ රටේ ඇති වූ තවත් පරම්පරාවකි. බෝධිය ආරක්‍ෂා කිරීමට පැමිණි පිරිසෙන් පැවැත එන තවත් පරපුරක්‌ ලෙස බෝධි පක්‍ෂ පරම්පරාව හැඳින්විය හැකිය. සිරිමා බෝධියේ ආරක්‍ෂාව භාර වූ තවත් වංශයක්‌ නම් වෙල්ලිදුර වංශයයි. බෝධි ගුප්ත කුමාරයාගෙන් තනතුර ලත් මේ පරපුරට භාර වූ කාර්යය වූයේ මහ බෝධිය රිලා, වඳුරු, වවුල් ආදී සතුන්ගෙන් රැක ගැනීමේ කාර්යයයි. ඔවුනට භාර වූ එම කාර්යය අද දක්‌වා ම නිසියාකාරව ඉටු කරනු ලැබේ. එපමණක්‌ නොව උඩමළුවේ බාරහාර වීම සහ ඒවා ඔප්පු කිරීමේ කටයුතුත්, සැදැහැවතුනට මල් සැපයීමේ වගකීමත්a පැවරී ඇත්තේ මේ වෙල්ලිදුර වංශයටමය.

බෝධි ආගමනයෙන් මේ රටේ ආරම්භ වූ තවත් පරපුරක්‌ වන්නේ ජයමහලේ පරපුරයි. මේ පරපුර සුමිත්ත කුමාරයාගෙන් පැවත එන බව කියෑවේ. ශ්‍රී මහ බෝධිය සමග මෙහි පැමිණි බෝධි ගුප්ත කුමාරයාගේ පරම්පරාවෙන් පැවැත එන්නකි. නුවර වැව පරම්පරාව. අටමස්‌ථානයේ භාරකාර තනතුර දැරූ මේ පරම්පරාව අටමස්‌ථානාධිපති පදවියට භික්‍ෂූන් වහන්සේ නමක්‌ තෝරා පත් කර ගැනීමේ සහ එසේ පත්වන භික්‍ෂූන් වහන්සේ එම තනතුර සඳහා නුසුදුසු වන්නේ නම් උන්වහන්සේ එම නිලයෙන් පහ කිරීමේද සුවිශේෂී බලයකින් යුක්‌ත විය.

මෙම වංශ පරම්පරාවන්ට අමතරව ලංකාවේ කුල භේදය කෙරෙහි ද බෝධි ආගමනයේ බලපෑම දැක ගත හැකිය. ශ්‍රී මහ බෝධි ශාකාව මෙහි වැඩම වීමත් සමග පැමිණි විවිධ ශිල්ප ශේ්‍රණිවලට අයත් පිරිස්‌ මෙහි පදිංචි විම හේතුකොට ගෙන ලක්‌දිව කුල භේදයෙහි ද ආරම්භය සිදුවිය. විශේෂයෙන් මෙය රජ ගෙදර රාජකාරිය පදනම් කොට ගෙන ගොඩනැඟුණි. උදාහරණ ලෙස මාළිගාවේ කිලුටු සෝදන්නා රජක කුලයට අයත් යෑයි සම්මත විය. ඔහුගේ පරම්පරාව ද රජක කුලයට අයත් වූයේ එදා වැඩ වසම් ක්‍රමය තුළ රාජකාරිය ද පරම්පරාවෙන් පරම්පරාවට අයත් වූ නිසාවෙනි. බෙර වැයීම රාජකාරිය වශයෙන් භාර වූවන්a බෙරවා කුලය ලෙසත්, ලෝහ කර්මාන්තය රාජකාරිය වශයෙන් භාර වූවන් ආචාරී කුලය ලෙසත් වළං සෑදීම රාජකාරිය කරගත් අය කුඹල් කුලය ලෙසත් ප්‍රකට විය. පසු කලෙක ජනගහන වර්ධනයේ අඩු වැඩි ස්‌වභාවය අනුව මෙම කු=ළ පරම්පරාවන් ද වර්ධනය විය. සිංහල කුලගම් ව්‍යාප්තිය පිළිබඳ පරිපාලන වාර්තාවලට අනුව වැඩි ජනගහනයක්‌ කෘෂි කර්මාන්තයෙහි නියළුනවුන් නිසා ගොවිගම ලෙසටත් වෙනත් කර්මාන්ත කරන්නවුන් ඊට අනුපාතික වශයෙනුත් විසූ බව පෙනේ.

බෝධිය නිසා ගොඩනැඟුණු නව සංස්‌කෘතියේ කැපී පෙනෙන ලක්‍ෂණයක්‌ නම් බෝධි යන පදය පුද්ගල නාමයන්ට එකතුවීමයි. උදාහරණ ලෙස අක්‌බෝ, කුඩා අක්‌බෝ, සිරි සංඝ බෝධි, සිරි සඟ බෝ වැනි නාමයන් පෙන්වා දිය හැකිය. සාමාන්‍ය ජනතාව අතර ද බෝධි යන පදය නමට එක්‌කර ගැනීම බහුල වශයෙන් පැවැති බව බෝධි පක්‍ෂ, බෝධි නායක, බෝධිපාල, බෝධිසේන වැනි නාමයන්ගෙන් පැහැදිලි වේ. ස්‌ථාන නාම හැඳින්වීමේදී ද බෝධි යන පදය භාවිත කරන ලද අවස්‌ථා රාශියක්‌ දැක ගත හැකිය. උදාහරණ ලෙස, බෝතලේ, බෝවත්තේ හෙල, බෝ වල, බෝ පිටිය, බෝ ගහවෙල, බෝගම්බර, බෝ රුක්‌ගමුව වැනි ග්‍රාම නාමයන් සමහරකි.

බෝධි සංස්‌කෘතියේ ආභාෂයෙන් ලක්‌දිව කලා ශිල්පයන් කෙරෙහිද යම් තරමකට හෝ බලපෑම් ඇති කර ඇති බවට සාධක හමු වේ. බෝ ගස බෞද්ධ සංකේතයක්‌ ලෙසින් මුලින්ම කලාවට පිවිසෙන්නේ භාරතයේදීය. ධර්මාශෝක අවධිය වන විටත් බුද්ධ ප්‍රතිමාව නිර්මාණය වී නොතිබුණ බව ඉතිහාසඥයන්ගේ පිළිගැනීමයි. මෙම හේතුව නිසා එකල කලා ශිල්පීන් බුදුන්වහන්සේ නිරූපණය කරනු වස්‌ බෝ ගස යොදා ගත්හ. ශ්‍රී මහා බෝධීන් වහන්සේ ලංකාවට වැඩම කරවීමෙන් පසු සිංහල කලා ශිල්ප අතරට බෝ රුක සහ බෝ පත් එකතු වී ඇති ආකාරය සිංහල කලා ඉතිහාසය තුළින් දැක ගත හැකිය.

බෞද්ධයන්ගේ ආගමික කටයුතු අතර බෝධි පූජාවට හිමිවූයේ විශේෂ තැනකි. එදා සිට අද දක්‌වාම බෝධි වන්දනය හා බෝධි පූජා පැවැත්වීම බුදුදහමේ ජනප්‍රිය ආගමික ලක්‍ෂණයක්‌ ලෙසින් පැවැති අතර එහි ජනප්‍රියත්වය අද දක්‌වාම අඩු නොවී පවතී.

දෙවනපෑතිස්‌ මහ රජතුමාගෙන් පසුව ලක්‍ෂයක්‌ පමණ ධනය වැය කොට අති විශාල බෝධි පූජාවක්‌ දුටු ගැමුණු රජු විසින් පවත්වා ඇති බවත් ඉන්පසුව භාතිය, ධාතුසේන, අඹහෙරණ, සලමෙවන්, දෙටුතිස්‌ යන රජුන් විසින්ද මෙබඳුම වූ පූජාවන් පැවැත්වූ බවත් ඓතිහාසික බෝධි පූජා පිළිබඳ තොරතුරු සඳහන් කරන විමල් අබේසුන්දර මහතා පෙන්වා දෙයි.

බෞද්ධයා බෝධි පූජාවෙන් බලාපොරොත්තු වූයේ ශ්‍රද්ධාව මූලික කොටගෙන කෙලෙසුන් කෙරෙන් මිදී නිවන් අවබෝධ කර ගැනීමයි. ථෙරවාදී බෞද්ධයෝ බෝධි තුනක්‌ පිළිබඳව කතා කරති. ඒ බුදු, පසේබුදු, අරහත් නම් බෝධීන්ය. මෙය තුන්තරා බෝධිය නමින් බෞද්ධයෝ ව්‍යහාර කරති. මෙකී බෝධි තුනෙන් එක්‌තරා බෝධියකට පැමිණීමෙන් සංසාර විමුක්‌තිය ලැබීම ථෙරවාදී බෞද්ධයන්ගේ අරමුණයි.

ශ්‍රී මහ බෝධීන් වහන්සේ නිසා පුළුල් වූ සංස්‌කෘතික පසුබිමක්‌ මෙරට තුළ ගොඩනැඟුන බව යථෝක්‌ත කරුණු කාරණා තුළින් පැහැදිලි වේ. මෙසේ බිහිවුණ බෝධි සංස්‌කෘතිය ලාංකීය ජන ජීවිත විනිවිද ගොස්‌ ඒ තුළින් ඇති කරන ලද්දා වූ පුනරුදය ජන සමාජයේ අභිවෘද්ධියට මූලාධාර සපයා ඇති ආකාරය පැහැදිලිව හඳුනා ගත හැකිය.

දර්ශනපති නිලාන්ගනි කරුණාරත්න

 

Related posts

කොරෝනා ආසාදිතයින් 49ක් හදුනා ගනී

colombotoday

කොම්පඤ්ඤ විදීයට ගුවන් පාලම් 03ක්

colombotoday

රාජ්‍ය සේවයේ ව්‍යුහාත්මක සහ පරිපාලනමය වෙනස්කම් සිදුකිරීමට අවධානය

colombotoday

ජෝන්ගේ කාර්යාලයට අමාත්‍යාංශයෙන් අපමණ අගයක් ලැබෙයි. මාසික කුලිය ලක්ෂ 200යි..!

colombotoday

ඇමති රිෂාඩ්ට පෙර පැවැති අමාත්‍යධුරයම

colombotoday

හම්බන්තොට තෙල් පිරිපහදුව ව්‍යාපෘතියේ ආයෝජන මණ්ඩල ගිවිසුම අහෝසියි

Admin