Colombo Today Local News

සීදූවේ විහාරාධිපති ඝාතනය කර තරුණ හිමිනම ඩුබායි යන්න හදලා

සීදූව, වෑත්තෑව පිහිටි ශ්‍රී නන්දාරාම විහාරාධිපති නැඳගමුවේ මහානාම හිමියන් ගෙළ සිරකර ඝාතනය කළ බව කියන ප්‍රධාන සැකකාර තරුණ හිමිනම ඊයේ (15) අලුයම ඩුබායි රාජ්‍ය බලා ගුවන් මගින් පැන යෑමට තැත් කිරීමේදී අත්අඩංගුවට ගෙන තිබේ.

ඒ, සැකකාර තරුණ හිමිනම විදේශගත වීමට ඉඩ ඇතැයි සැක කර ඒ සම්බන්ධයෙන් තොරතුරු කටුනායක ගුවන්තොටුපොළේ ආගමන විගමන නිලධාරීන්ට කළ දැනුම් දීමට අනුව ය.

EK 649 දරන ගුවන් යානයෙන් සැකකාර හිමිනම මෙලෙස ඩුබායි බලා යාම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළට පැමිණ සිටි අවස්ථාවේදී ආගමන විගමන නිලධාරීන් සැකකරු කොටු කරගෙන වැඩිදුර විමර්ශන සඳහා සීදුව පොලිසියට භාරදී තිබේ.

අත්අඩංගුවට ගත් හිමිනම නායක හිමියන්ගේ ගෝලයෙකු බව ද කියයි.

කෙසේ වෙතත්, පොලිසිය මේ වනවිට කර ඇති මූලික පරීක්ෂණවලදී අනාවරණය කරගෙන ඇත්තේ, මහානාම හිමියන් ඝාතනය කිරීමට පෙර සැකකාර හිමිනම ඩුබායි බලා යාම සඳහා අවශ්‍ය ලියකියවිලි ගුවන් ගමන් බලපත්‍ර සියල්ල සූදානම් කර තිබූ බව ය.

පොලිසිය පවසන අන්දමට නැඳගමුවේ මහානාම හිමියන් ඝාතනය කර ඇත්තේ ඉකුත් 12 වන දා ලැගුම්ගෙය තුළදී මුඛයට සිවුරක් ඔබා ගෙළ ඇඳ ඇතිරිල්ලකින් ගැට ගැසීමෙනි.

සීදූව නන්දාරාම විහාරය තුළින් දුර්ගන්ධයක් වහනය වන බවට ප්‍රදේශවාසීන් පොලිසියට කළ දැනුම්දීමෙන් පසු නැඳගමුවේ මහානාම හිමියන්ගේ දේහය ලැගුම්ගෙය තුළ තිබියදී පොලිසිය සොයාගෙන තිබිණි.

නිලධාරීන් කළ විමර්ශනයේදී විහාරස්ථාන පරිශ්‍රයේ තිබූ කළු පැහැති ඩිෆෙන්ඩර් රථය සහ වැගන්ආර් රථය ද අතුරුදන්ව තිබිණි. එමෙන් ම නැඳගමුවේ හිමියන් ඝාතනය කළ ස්ථානය අවට මිරිස් කුඩු වැනි ද්‍රව්‍යයක් ද වැටී තිබී ඇතැයි පොලිසිය කීය.

නිලධාරීන් මේ පිළිබඳව විහාරස්ථානයේ සිටි ගෝලනමගෙන් කළ විමසීමේදී ඉකුත් 12 වන දා දහවල් හතර දෙනෙකු පන්සලට පැමිණ නායක හාමුදුරුවන් ගැන තොරතුරු විමසා තමාව ද පුටුවක තබා බැඳ නායක හිමිනම බලන්නට උන්වහන්සේ රැඳී සිටි ලැගුම්ගෙයට ගිය බව ත් ටික වේලාවකින් එම පිරිස් නැවත පැමිණ නායක හාමුදුරුවන්ගේ ජීප් රියත් වැගන්ආර් රථයත් රැගෙන ගිය බව ත් පොලිසියට පවසා තිබේ.

කෙසේ වෙතත් සැකකාර හිමිනම පිළිබඳ කරන ලද විමර්ශනයේදී හෙළි වී ඇත්තේ ඩිෆෙන්ඩර් වර්ගයේ ජීප් රිය රුපියල් ලක්ෂ 150කට විකුණා ඇති බව ය. එමෙන් ම එම මුදල ඩුබායි රාජ්‍යය වෙත යවා ඇති බවත් හෙළි වී තිබේ.

නායක හිමියන් ඝාතනය ඩුබායි රාජ්‍යයේ සිට මෙහෙයවා ඇති බව ද පොලිසිය කීය.

සැකකාර හිමිනමගෙන් කරන ලද ප්‍රශ්න කිරීමේදී ඩිෆෙන්ඩර් රථය වත්තල ප්‍රදේශයේ තිබී සොයාගෙන තිබේ. එමෙන් ම විහාරස්ථානයේ තිබූ වැගන්ආර් රථය රුපියල් ලක්ෂ 51කට විකුණා ඇති බවට ද පොලිසියට තොරතුරු ලැබී තිබේ. එම මුදල සැකකරුවන් අතර බෙදාගෙන ඇතැයි පොලිසිය සැක කරයි.

මේ වනවිට කරන ලද මූලික විමර්ශනයේදී හෙළි වී ඇත්තේ ඩුබායි රාජ්‍යයේ සිටි කාන්තාවක නාහිමි ඝාතනය මෙහෙයවා ඇති බව ය. ඝාතනය සඳහා කාන්තාවට අමතරව තවත් තිදෙනෙකු එක්ව ඇති බව ත් පොලිසිය කියයි. සැකකාර කාන්තාව ගෝල හිමිනම ඩුබායිවලට ගෙන්වා ගැනීමට කටයුතු කර ඇති බවට තොරතුරු ලැබී ඇති බව ත් පොලිසිය කියයි.

සැකකාර හිමිනම ඩුබායි බලා පැන යාමට ප්‍රථම සීදුව ලියනගේමුල්ල ප්‍රදේශයේ ලැගුම්හලක නතරව සිට ඇතැයි ද පොලිසිය කියයි.

සැකකාරිය සහ සැකකරුවන් තිදෙනෙකු සොයා පොලිසිය විමර්ශන අරඹා තිබේ.

බස්නාහිර පළාත භාර ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන්ගේ අධීක්ෂණය මත මීගමුව කොට්ඨාස භාර ජ්‍යෙෂ්ඨ පොලිස් අධිකාරි සමන් සිගේරා සහ පොලිස් අධිකාරි එරික් පෙරේරාගේ උපදෙස් මත සීදුව පොලිස් ස්ථානාධිපති ධනුෂ්ක බණ්ඩාර ප්‍රමුඛ පොලිස් පරීක්ෂක කුමාර, උප පොලිස් පරීක්ෂක රණතුංග, කොස්තාපල්වරුන් වූ මංජුල (6122) සහ හේරත් (72566) යන නිලධාරීහු මේ පිළිබඳ පරීක්ෂණවල නිරත වූහ.

සිද්ධිය වූ විහාරස්ථානය වෙත වැඩම කර සිටි හිමිනමක් මෙසේ සදහන් කර ඇත.

“විහාරාධිපති හිමිනම ළඟ අවුරුදු පහේ සිට හදාගත්තු දරුවෙක් තමයි මේ මහණ කරලා තිබෙන්නේ.

මේ විහාරස්ථානයේ තිබුණ ඩිෆෙන්ඩර් රථය ඇතුළු විහාරස්ථානයේ සියලු ම දේපළ විහාරාධිපති හිමියන් මේ ගෝල හිමිනමට ලියලා කියලයි අපිට ආරංචි වෙලා තියෙන්නේ.

මේ සිද්ධිය වනවිට නායක හාමුදුරුවොයි මේ ගෝල හිමිනමයි පමණක් විහාරස්ථානයේ ඉඳලා තියෙනවා කියලා තමයි දැනගන්න තියෙන්නේ.”

Related posts

ඉදිරි දින කිහිපයේදී පත් කරන නව කැබිනට්ටුවේ ඇමැතිකම් බාර ගන්නේ නැහැ

colombotoday

පුත්තලමෙන් විල්පත්තුවට ඇතුල්වීම තාවකාලිකව නවතා දමයි.

colombotoday

සපුගස්කන්ද දිගටම වැඩ කළොත් වසරකට ඩොලර් මිලියන 300ක ලාභයක්

Admin

ජනවාරි 01 සිට රුධිර පරීක්ෂණ රජයේ රෝහලෙන්ම පමණයි !

colombotoday

අනිවාර්ය නිවාඩු යැවීමට එරෙහිව සතොස සේවකයන්ගේ විරෝධය

Admin

අද කවුද මහ පාරේ නැත්තේ. මෙහෙම රට වහලා කිසිම පලක් නැහැ.

colombotoday