Colombo Today Local News

ජී.එල්. – ඩලස් ඇතුළු පොහොට්ටුවේ 13ක් විපක්‍ෂයට

පළාත් පාලන මැතිවරණයත් කල්දාන්න ගියොත් අපි උසාවි යනවා

ශ්‍රී ලංකා පොදුජන පෙරමුණ එදා පෙන්වන ලද මාර්ගයට අනුකූලව නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීමේ කාලීන අවශ්‍යතාවය වෙනුවෙන් තමන් ඇතුළු 13දෙනකු විපක්ෂයේ අසුන් ගන්නා බව මන්ත්‍රී ජී.එල්. පීරිස් මහතා පාර්ලිමේන්තුවේ දී ඊයේ (31)දින සඳහන් කළේය.

ඒ අනුව තමන් සමග ඩලස් අලහප්පෙරුම, ඩිලාන් පෙරේරා, නාලක ගොඩහේවා, චරිත හේරත්, චන්න ජයසුමන, කේ.පී.එස්. කුමාරසිරි, ගුණපාල රත්නසේකර, උදයන කිරිඳිගොඩ, වසන්ත යාපා බණ්ඩාර, උපුල් ගලප්පත්ති, තිලක් රාජපක්ෂ, ලලිත් එල්ලාවල යන මන්ත්‍රීවරුන් මෙසේ විපක්ෂයේ අසුන් ගන්නා බව හෙතෙම කීය.

එහිදී අදහස් දැක්වූ ජී.එල්. පීරිස් මහතා…

මන්ත්‍රීවරුන් කිහිපදෙනකු වෙනුවෙන් මා මේ ප්‍රකාශය සිදු කිරීමට කටයුතු කරනවා. අපි සියලු දෙනාම දන්නවා අපේ රට ඉතා දැවැන්ත අර්බුද රාශියකට මුහුණ පානවා. එහි කේන්ද්‍රීය ප්‍රශ්නය වන්නේ ආර්ථික අර්බුදයයි. ඒහා සමග දේශපාලන සහ සමාජීය අර්බුදයක් ගැටගැහිලා තිබෙනවා. නමුත් මේවා අපේ රටට අලුත් අර්බුද නොවෙයි. මහා බිහිසුණු තිස් අවුරුදු යුද්ධයක්, සුනාමිය, කොවිඩ් ව්‍යසනය තිබුණා. මේවාට මුහුණ දෙන්න අපේ රටේ ජනතාවට සහජ ශක්තියක් තිබුණා. ඒ සියලුම අවස්ථාවල අපේ රටට යම් හයියක් තිබුණා. ඒ හයිය තමයි ජනතා මතය නිවැරදි ලෙස පිළිබිඹු කරපු පාර්ලිමේන්තුවක් තිබුණා. ඒ වාසිය අපේ රටට තිබුණා. අවාසනාවකට දැන් ඒ ශක්තිය අපට නෑ. රටේ එක මතයක් සහ පාර්ලිමේන්තුවේ තවත් මතයක් තමයි නියෝජනය වෙන්නේ. ඒක ඉතාම පැහැදිලියි. ඕනෑම ප්‍රජාතාන්ත්‍රික පාර්ලිමේන්තුවකට ඒක ගැටලුවක්. ඒ වගේම ඒක මේ අවස්ථාවේදී විශේෂ ගැටලුවක් වෙනවා. ඒක මේ පාර්ලිමේන්තුවේ මේ වන විට සුවිශේෂී කටයුත්තක් වෙනවා. ඒ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 22 වැනි සංශෝධනය මේ වන විටත් ගැසට් කරලා අපිට එහි පිටපත් පවා ලැබිලා තිබෙනවා.

ඒ සංශෝධනය අනාගත පරම්පරාවට බලපාන වැදගත් සංශෝධනයක්, අද දවසේත් ජාත්‍යන්තර මූල්‍ය අරමුදලේ නියෝජිත පිරිසක් අපි සමග සාකච්ඡා කරනවා. ඒ සාකච්ඡාවන් අපේ රටේ ජනතාවට දෛනිකව බලපාන කරුණක්. 2020 පැවැති මහ මැතිවරණයේදී අපේ පක්ෂයේ නායකයා මහින්ද රාජපක්ෂ මහතායි. සභාපති මම. නමුත් එහි දී අපි ජනතාවගෙන් හිස් චෙක් පතක් ඉල්ලුවේ නෑ. අපි නිශ්චිත න්‍යාය පත්‍රයක් දීලා ඊට අනුමැතියක් දෙන්න කියලායි ඉල්ලුවේ. ඊට දේශපාලන සුනාමියක් ලැබිලා ආසන 133ක් ලබා දුන්නා. ඒ අපට ඕනෑම දෙයක් කිරීමට නොවෙයි. ජනතාව සමග එකඟ වූ න්‍යාය පත්‍රය ඉෂ්ට කරන්නයි. අපි එදා කියපු දේවල් සහ කරන දේවල් අහසයි, පොළොවයි වගේ. අපේ පාක්ෂිකයාගේ අපේක්ෂා සම්පූර්ණයෙන් කඩා වැට්ටුවා. ඒ නිසා මහින්ද රාජපක්ෂ මහතා ඇතුළු අපි සියලු දෙනා එදා ඒ පෙන්වපු මාර්ගයට අනුකූලව නව දේශපාලන බලවේගයක් නිර්මාණය කිරීම කාලීන අවශ්‍යතාවයක්. ඒ වගේම තමයි මැතිවරණ, මැතිවරණ නොපැවැත්වීම ප්‍රජාතන්ත්‍රවාදී ලක්ෂණයක් නොවෙයි. සර්ව ජන ඡන්ද බලය කාටවත් අහිමි කරවන්න බෑ. අපි රජයෙන් ඉතා ඕනෑකමින් ඉල්ලනවා පළාත් සභා ඡන්දයට කරපු දේ පළාත් පාලන මැතිවරණයට කරන්න එපා.

අපි එදා පළාත් සභා ඉල්ලලා උසාවි ගියා මහින්ද රාජපක්ෂ මහතාගේ පූර්ණ අනුමැතිය ඇතිව. පළාත් සභා මැතිවරණය ගැන උප්පරවැට්ටි දාලා නැවැත්තුවා වගේ පළාත් පාලන මැතිවරණයත් කල්දාන්න ගියොත් අපි අධිකරණය වෙත යනවා. ඒ වගේම අපි දැන් තීරණයක් ගෙන තිබෙනවා අද සිට ශ්‍රී ලංකා පොදුජන පෙරමුණේ ස්වාධීන කණ්ඩායමක් වශයෙන් විපක්ෂයේ ආසන වෙත යනවා. මේ රජය ජනතාවාදී වැඩක් කරනවා නම් ඒ සියලුම දේවල්වලට අපි සහාය දෙනවා.

Related posts

හමුදාව පවත්වාගෙන ගිය කිලිනොච්චියේ “සෙවන් විලා“ නිවාඩු නිකේතනයෙන් හමුදාව ඉවත් වේ !

colombotoday

රොහින්ග්‍යා සංක්‍රමණිකයන්ට උදව් කරන රටවල් අතරට ලංකාවේ නමත් එක්වෙයි !

colombotoday

ඩයරි-කැලැන්ඩර් එපා… සියළු අනවශ්‍ය වියදම් කපා හරින්න – රාජ්‍ය ආයතනවලට රජය දන්වයි

colombotoday

කැබිනට් හමුවෙන් පසු ආහාර නෑ.. අපි බඩගිනි නිවා ගත්තෙ දානෙ කාලා – විමල්

colombotoday

මැතිවරණ වේදිකාවේ පට්ට ගැසූ රවී කරුණානායකට විශිෂ්ට ජයක් – කොට්ඨාශ 9ම දිනයි – මන්ත්‍රීවරු 17ක් තේරී පත් වේ

colombotoday

සිංහලයෙකු සමග විවාහවූ කාන්තාවකට ෂරියා නීතිය ක්‍රියාත්මක කල අටළුගමදී පල්ලිය වීඩියෝ කල මාධ්‍යවේදියෙකුටත් පහර දෙයි

colombotoday