Colombo Today Local News

ශ්‍රී ලංකාවේ කිසිම දේශපාලන සිරකරුවෙක් නෑ – ජනපති බීබීසීයට කියයි

මේ වන විට ශ්‍රී ලංකාව තුළ කිසිඳු දේශපාලන සිරකරුවෙකු නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළ බව බීබීසී සිංහල සේවය වාර්තා කරයි.

එසේම එම වාර්තාවේ දැක්වෙන්නේ උතුරේ පැවැත්වෙන උද්ඝෝෂණ ජනතාවගේ ඒවා නොවන බවත් ඒවා රාජ්‍ය නොවන සංවිධාන වල බව ජනාධිපතිවරයා පැවසු බවය.

තවද ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට දැරෙන උත්සාහයන්ට කිසිදු ආකාරයකින් තමන්ගෙන් අනුබලයක් නොලැබෙන බවද ජනාධිපතිවරයා එහිදී අවධාරණය කර ඇති බවද එම පුවතේ සඳහන්ය. ජනාධිපතිවරයා පොදුරාජ්‍ය මණ්ඩල රාජ්‍ය නායක සමුළුවට සහභාගීවීම සඳහා ලන්ඩන් නුවරට ගිය අවස්ථාවේ බීබීසී සිංහල සේවය සමඟ සිදුකළ සම්මුඛ සාකච්ඡාවකදී මේ බව අවධාරණය කර ඇත.

බීබීසී සිංහල සේවය ඒ පිළිබඳ පළකර ඇති පුවත පහත දැක්වේ.

වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු දේශපාලන සිරකරුවෙකු නොමැති බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන පවසයි.

එමෙන්ම වර්තමානයේ ශ්‍රී ලංකාවේ කිසිදු රහසිගත රැඳවුම් කඳවුරක් නොමැති බවද ඔහු අවධාරණය කළේය.

ජනාධිපතිවරයා ඒ බව සඳහන් කළේ, ලන්ඩන් නුවර පැවති පොදු රාජ්‍ය මණ්ඩලීය රාජ්‍ය නායක සමුළුවට සහභාගි වෙමින් සිටින අතරවාරයේ බීබීසී සිංහල සේවය සමග විශේෂ සාකච්ඡාවකට එක්වෙමිනි.

“ලංකාවේ දේශපාලන සිරකරුවන් නෑ එක්කෙනෙක්වත්. කිසිම කෙනෙක් නෑ ලංකාවේ දේශපාලන සිරකරුවන්,” ඔහු පැවසීය.

“අනිත් එක මගේ රජය යටතේ කිසිදු රහසිගත සිර කඳවුරක් ලංකාවේ නෑ. සිර කඳවුරකවත්, යුද හමුදා කඳවුරකවත්, පොලිසියට අයිති තැනකවත්, කිසිම තැනක කිසිම කෙනෙක් හොරෙන් රඳවාගෙන නැහැ.”

තමන් කිහිප වතාවක් ලන්ඩන් නුවර සංචාරයේ නිරත වූ අවස්ථාවල උද්ඝෝෂණවල යෙදෙන්නේ “එල්ටීටීඊ කාරයෝ” බව ද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන සඳහන් කළේය.

එවැනි විරෝධතා පැවැත්වීම ගැන තමන් “සතුටුවන” බව පවසන ජනාධිපතිවරයා අවධාරණයෙන් කියා සිටියේ, ඔවුන් ඉල්ලා සිටින “ඊලම කවදාවත් කෙරෙන වැඩක් නොවන” බවය.

යුද ගැටුම පැවති සමයේ ආරක්ෂක හමුදා විසින් පවරා ගන්නා ලද උතුරේ ජනතාවට අයත් ඉඩම්වලින් “80%ක්” මේ වන විට නිදහස් කරනු ලැබ තිබෙන බව පෙන්වා දෙන ජනාධිපතිවරයා, ආණ්ඩුව විසින් සිංහල, දෙමළ අලුත් අවුරුදු සමයේ ද “තෑග්ගක් විදියට” අක්කර 560 ක් යළි ලබා දුන් නමුත් “ඒ ගැන කවුරුත් කතාකරන්නේ නෑ,” යනුවෙන් චෝදනාවක් ද එල්ල කළේය.

එසේ තිබියදී තවමත් උද්ඝෝෂණය කරන පුද්ගලයන් “බිස්නස් එකක් කරන” බව ඔහුගේ විග්‍රහය වී තිබේ.

ඉඩම්, අතුරුදහන්වූවන් මෙන්ම දේශපාලන සිරකරුවන් පිළිබඳ උතුරේ පැවැත්වෙන උද්ඝෝෂණ සම්බන්ධයෙන් අදහස් පළකළ ජනාධිපතිවරයා “ඒ විරෝධය කරන්නේ ඔක්කොම රාජ්‍ය නොවන සංවිධාන නේ? සාමාන්‍ය ජනතාව නොමග යවන වැඩ ඒවා.” යනුවෙන් සඳහන් කළේය.

ශ්‍රී ලංකාව බෙදා වෙන් කිරීමට දැරෙන උත්සාහයන්ට කිසිදු ආකාරයකින් තමන්ගෙන් අනුබලයක් නොලැබෙන බව අවධාරණය කරන ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන, එවැනි පුද්ගලයන් සමග තමන් කිසිදු සාකච්ඡාවක් පවා නොපවත්වන බව අවධාරණයෙන් කියා සිටියේය.

මුලාශ්‍රය – බීබීසී සිංහල සේවය

Related posts

රටපුරා කොවිඩ් රෝගීන්ට දැඩි ඔක්සිජන් අවශ්‍යතාවක් – ඉදිරි සති දෙක තුළ ඔක්සිජන් ආනයනයට රජය සූදානම්

colombotoday

ගුරු මාරුවීම් වලට ආණ්ඩුවේ දේශපාලකයන් මැදිහත් වෙලා

Admin

ගෝඨාභය දින්නොත් මුස්ලිම් අයට හිරිහැර වෙයි කියා එජාපය අපිව රැවැට්ටුවා – මුස්ලිම් සමළුව කියයි

colombotoday

“නව ව්‍යවස්ථාව රටට ඉතා හොදයි.. සම්මතකරගන්න අපේ සහය දෙනවා” – ජවිපෙ කියයි

colombotoday

“ශ්‍රී ලාංකිකයන්ගේ ආරක්ෂාව සුරක්ෂිත කරන්න” – ජනපති ඉම්රාන්ගෙන් ඉල්ලයි

colombotoday

සජබ ජේෂ්ඨයන් කනස්සල්ලෙන්

Admin