Colombo Today Local News

වට්ස්අප් තහනමත් ඉවතට… ෆේස්බුක් තහනම දිගටම… ජනාධිපති මාධ්‍ය අංශයේ නිවේදනය මෙන්න

සමාජ මාධ්‍ය අවහිර කිරීමත් සමඟ රජය විසින් අවහිර කරනු ලැබූ වට්ස්අප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාව ලබා දෙන ලෙස ජනාධිපති ලේකම් කාර්යාලය සහ ආරක්ෂක අමාත්‍යංශය විදුලි සංදේශ නියාමන කොමිෂන් සභාවට දැනුම් දී තිබේ.

ඒ අනුව අද සවස් වන විට වයිබර් මෙන්ම වට්ස්අප් සමාජ ජාලය වෙත පිවිසීමේ අවස්ථාවද හිමිවනු ඇතිබව පැවසේ.

මේ අතර තව දුරටත් වාරණය කර ඇති ෆේස්බුක් ජාලය සිකුරාදා දිනයේ සිට වාරණය ඉවත් කිරීමට හැකි වනු ඇතැයි ඩිජිටල් ඇමති හරීන් ප‍්‍රනාන්දු මහතා සදහන් කලේය. ඒ සම්බන්දයෙන් සාකච්චා කිරීම සදහා ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් කිහිප දෙනෙකු ශ‍්‍රී ලංකාවට අද දිනයේ පැමිණීමට නියමිතය.

මේ අතර සමාජ ජාලා තහනම සම්බන්ධයෙන් ජනාධිපති මාධ්‍ය අංශයද නිවේදනයක් නිකුත් කර තිබේ.. එම නිවේදනය පහත දැක්වේ.

පසුගිය දිනවල, සමාජ මාධ්‍ය අවභාවිත කරමින් ජාතික සමගියට බාධා වන පරිදි දිවයින පුරා වර්ගවාදය සහ ප‍්‍රචණ්ඩත්වය මුදා හැරීම සහ ප‍්‍රචණ්ඩ ක‍්‍රියා සංවිධානය කිරීම වැළැක්වීමේ පියවරක් ලෙස ඇතැම් සමාජ ජාලා වෙත ප‍්‍රවේශ වීමේ හැකියාව තාවකාලිකව සීමා කිරීමට රජය විසින් කටයුතු කරන ලදී.

වර්ගවාදය, ආගම්වාදය හෝ විවිධ අන්තවාදයන් පදනම් කරගත් ප‍්‍රචණ්ඩකාරී චර්යාවන් වේගයෙන් පැතිර යාම කෙරෙහි සමාජ මාධ්‍ය සිදුකරන බලපෑම ජාත්‍යන්තර වශයෙන් ද තහවුරු වී ඇති තත්ත්වයක් තුළ, ශ‍්‍රී ලංකාවේ ජාතික සහ මහජන ආරක්ෂාව තහවුරු කිරීමේ කි‍්‍රයාමාර්ගයක් ලෙස තාවකාලිකව පනවන ලද සමාජ ජාල වාරණය හේතුවෙන්, කලහකාරීත්වය සහ ප‍්‍රචණ්ඩත්වය සීග‍්‍ර ලෙස පැතිර යාම පාලනය කිරීමට හැකිවිය.

දැනට ජපානයේ රාජ්‍ය සංචාරයක නිරතව සිටින ජනාධිපතිතුමා, රටෙහි ආරක්ෂක තත්ත්වය පරීක්ෂා කිරීමෙන් අනතුරුව, ජනාධිපති ලේකම්වරයා වෙත ලබා දුන් උපදෙස් අනුව, අවශ්‍ය නියාමන, ආරක්ෂණ සහ ආවේක්ෂණ විධිවිධාන ක‍්‍රියාවට නැංවීමෙන් පසු, එතෙක් තාවකාලිකව වාරණයට ලක් කර තිබූ වයිබර් සමාජ ජාලය වෙත ප‍්‍රවේශය ඊයේ (13) රාත‍්‍රියේ සිට ක‍්‍රියාත්මක වන පරිදි යළි ලබා දීමට කටයුතු කෙරිණි.

තවදුරටත් සීමාවට ලක් කර තිබෙන සමාජ ජාල අඩවි සහ සේවාවන් පිළිබඳ අධ්‍යයනය කළ ජනාධිපතිතුමා, අද දින (14) මධ්‍යම රාත‍්‍රියේ සිට වට්ස්ඇප් (Whatsapp) සේවාව වෙත දැනට ක‍්‍රියාත්මක වාරණය ඉවත් කිරීමට ද උපදෙස් දී ඇත.

එහෙත් සමාජ මාධ්‍ය ජාලා අවභාවිත කරමින් ජාතිවාදය, වර්ගවාදය පතුරුවා හරිමින් ජන ජීවිතය අවුල් කිරීම හා පුද්ගල ප‍්‍රතිරූපවලට හානිකිරීම වැළැක්වීම සඳහා වූ නියාමන ක‍්‍රමවේදයක අවශ්‍යතාවය ද ජනාධිපතිතුමා අවධාරණය කරයි. ඒ අනුව, ජනාධිපති ලේකම් ඔස්ටින් ප‍්‍රනාන්දු මහතාගේ ප‍්‍රධානත්වයෙන්, ෆේස්බුක් සමාගමේ නියෝජිතයින් සමග සාකච්ඡාවක් හෙට (15) දින ජනාධිපති කාර්යාලයේදී පැවැත්වීමට නියමිතය. එමගින්, හැකි ඉක්මනින් ෆේස්බුුුක් වෙබ් අඩවියට පනවා ඇති තාවකාලික වාරණය ඉවත් කිරීම සඳහා අවශ්‍ය ආරක්ෂණය සහ ආවේක්ෂණය ක‍්‍රියාත්මක කිරීමට රජය කටයුතු කරමින් සිටී.

එසේම, රට තුළ නොසන්සුන්තාවක් යළි ඇති වීමට ඉඩ නොතබමින්, සාමාන්‍ය ජන ජීවිතය යථා තත්ත්වයට පත් කිරීමට අවශ්‍ය ක‍්‍රියාමාර්ග කඩිනමින් ගන්නා ලෙසත්, මෙවැනි කි‍්‍රයාවන්ට වරදකරුවන් වන අයට නීතිය කි‍්‍රයාත්මක කරන ලෙසත් ජනාධිපතිතුමා අදාළ අංශවලට උපදෙස් දී ඇත.

– ජනාධිපති මාධ්‍ය අංශය

 

Related posts

OIC ගේ මුව ආවරණය ගලවන්න ගිය රැප් ගායකයාට වැඩ වරදී…

colombotoday

ජනපතිට, හිටපු ජනපති සුබ පතයි.. යහපාලනයනම් සුබ නෑ කියයි

colombotoday

රථ වාහන සඳහා අවම දඩය රුපියල් 2500 – නව කාබන් බද්දක්ද පනවයි

colombotoday

ඉතිහාසයේ මුල්වරට උතුරු පළාතට දමිළ ආණ්ඩුකාරවරයෙක් පත්වෙයි

colombotoday

එජාපය බොරු ප්‍රචාර කරනවා. මම මැරෙන්නෙත් ශ්‍රිනිපයෙන්. එජාපයට ගියා කිවූ බුද්ධදසගෙන් ප්‍රකාශයක්

colombotoday

දේශීය ණය ප්‍රශස්තකරණ සැලැස්ම ගැන තීරණයකට රාජ්‍ය මුදල් කාරක සභාව අද රැස්වෙයි..

Admin