රුසියානු සමූහාණ්‌ඩුව ශ්‍රී ලංකාවට අලුත් මිතුරෙක් නොවෙයි. අපේ තානාපති සම්බන්ධතාවන්ට මේ වසරේදී හැට වසරක් පිරි තිබෙනවා. සෝවියට් දේශය සමයෙහි සිට ලංකාව ඉතා මිත්‍රශීලීව සම්බන්ධතාවයක් දෙරට අතර පැවැත්වූවා. 1960 වසරේ සිට අද දක්‌වා විශාල ලාංකික උපාධිධාරීන් ප්‍රමාණයක් සෝවියට් රුසියාවෙන් උපාධි ලබා අපේ රටේ ආර්ථික සංවර්ධනයට දායක වෙමින් පවතිනවා. අදටත් දාහකට අධික ආසන්න ලාංකික ශිෂ්‍ය පිරිසක් රුසියාවේ විශ්වවිද්‍යල වල උසස් අධ්‍යාපනය ලබනවා. ඒ අනුව බලන කල රුසියාව ඇත්තටම අපට අලුත් මිතුරෙක් නොවෙයි. මම හිතන හැටියට මහින්ද රාජපක්ෂ ජනාධිපතුමාට පුළුවන් වුණා එදා මේ මිත්‍රත්වය අලුත් කළ යුතුය කියන අවශ්‍යතාව හඳුනාගන්න. ඒ නිසා එදා අපේ මිත්‍රත්වය නැවත අලුත්වීමක් වගේම උද්යෝගය ඇතිවුණා.
2005 වසරේ පමණ සිට රුසියානු සමූහාණ්‌ඩුව විශාල වශයෙන් ශ්‍රී ලංකාවේ වැඩ කටයුතු වලට නැවත වරක් දායක වන්නට පටන් ගත්තා. මේ අපේ රාජ්‍ය තාන්ත්‍රික ක්‍රියා මාර්ගයන් වල විශේෂ ජයග්‍රහණයක්. ත්‍රස්‌තවාදයට එරෙහිව යුද්ධයේදී අපට සවිමත් අවියක් හැටියට හිටිය ප්‍රධාන රටක් වශයෙන් රුසියානු සමූහාණ්‌ඩුව හඳුන්වන්න පුළුවන්. අපගේ ත්‍රිවිධ හමුදාවන් රට තුළ ගෙන ගිය යුද්ධයට මෙන්ම ශ්‍රී ලංකාව රටින් පිටත ජාත්‍යන්තරව ගෙන ගිය අරගලයේදී ද රුසියානු සමූහාණ්‌ඩුව සෑම අවස්‌ථාවකදීම අපිට සහයෝගය ලබා දුන්නා. විශේෂයෙන්ම එදා එක්‌සත් ජාතීන්ගේ සංවිධානයේ ආරක්‌ෂක මඬුල්ලේ රැස්‌වීම් වලදී ශ්‍රී ලංකාවට එරෙහිව සමහර රටවල් වලින් නැගුනු යෝජනා රුසියානු සමූහාණ්‌ඩුව නිසා වැළකී ගියා. ඇත්තෙන්ම ඊළාම් යුද්ධය අපට අපේ නියම මිතුරන් කවුද කියාත් හඳුනාගන්නට සැලැස්‌වුවා. රුසියානු සමූහාණ්‌ඩුව අපිට නියම අවංක මිතුරෙක් බවට තහවුරු වී අවසානයි.
2006 නොවැම්බර් 16 වෙනිදා ජනාධිපති පුටින් හමුවීමට හැකි වූ පළමු අවස්ථාවේදී තමයි මම අපේ ජනධිපතිගේ ඉල්ලීම ඉදිරිපත් කලේ. එවිට ශ්‍රී ලංකාවට තම ජාතික ආරක්ෂාව දියුණු කරගැනීම සඳහා රුසියාවෙන් රාජ්‍යය ණයක් ලබා දීමට ජනධිපති පුටින් මුලින්ම අපට යෝජනා කළේය. එය පළමු රාජ්‍යය ණය ලෙස ඇමෙරිකානු ඩොලර් මිලියන 500ක් රුසියානු යුධමය නිෂ්පාදන මිලදී ගැනීමට දීර්ඝකාලීන ණය පහසුකම ලෙස පළමු වරට ලබා දීමටත් තීරණය කළා. දෙරටේ රාජ්‍යය ආයතනය අතර සිදුකල සකච්ඡා හා එකගතාවයන්ට පසුව 2010 පෙබරවාරි 8 වෙනිදා මා විසින් අත්සන් කරන ලද අවබෝධතා ගිවිසුමට අනුව වෙන්කරන ලද ඇමෙරිකානු ඩොලර් මිලියන 300ක රාජ්‍යය ණය මුදලෙන් කොටසක් පාවිච්චි කර ශ්‍රීලංකා ගුවන් හමුදාව එම්.අයි-171 හෙලිකොප්ටර් 14 මිලදීගන්නා ලදී. ඉතිරි දෙවන කොටස වත්මන් ජනාධිපති මෛත්‍රිපාල සිරිසේනගේ රුසියානු සංචාරය අතර තුලදී එක්තරා පෞද්ගලික සමාගමක මැදිහත් වීමෙන් රුසියානු නෞකාවක් මිළදී ගැනීමේ මුලික එකගතාවය මත එම ගිවිසම අලුත් කිරීමට රුසියානු රජය තීරණය කරන ලදී. ඒ අනුව, 2017 අගෝස්තු මාසයේ මොස්කව් හීදී මෙරට වත්මන් ආරක්ෂක ලේකම්වරයා එම ගනුදෙනු වලට අදාළ කොන්ත්‍රාත්තු සහ ඊට සම්බන්ධ අනෙකුත් කටයුතු මෙම වසර අවසන් වීමට පෙර අවසන් කරන බවට රුසියානු පාර්ශවයට පොරොන්දු විය. ඒ අනුව රුසියාවේ සිටින ශ්‍රී ලංකා තානාපතිවරයාගේ සේවයද දෙසැම්බර් මාසය දක්වා දීර්ඝ කිරීමට වත්මන් ආණ්ඩුව කටයුතු කර දැන් එය “තේ කුරුමිණියා” නිසා නැවත පෙබරවාරි දක්වා දීර්ඝ කර ඇත.
අපි වගේම රුසියාවත් බරපතල ත්‍රස්‌තවාදී ප්‍රශ්න වලට මුහුණු දුන් රටක්. එදා ජනාධිපති පුටින්ගේ නායකත්වය යටතේ රුසියාවට පුළුවන් වුණා චෙච්නියාවේ ත්‍රස්‌තවාදයට විරුද්ධව හමුදාව මෙහෙයවලා එයින් ජයග්‍රහණය කරලා ඒ ප්‍රදේශය සංවර්ධිත ප්‍රදේශයක් බවට පත් කරන්නට. අද චෙච්නියානු ප්‍රදේශය ලබා ඇති ආර්ථික ජයග්‍රහණ මෙයට හොඳම සාධක. ඇත්තටම මේ චෙච්නියානු ප්‍රශ්නයේදී රුසියාව ගත් සමහර ක්‍රියා මාර්ගයන් එදා ජනාධිපති රාජපක්ෂ ද සිදුකල බව මගේ හැඟීම. අද පැහැදිලිව පේනවා ඒ හා සමාන ක්‍රියා දාමයන්ද අපේ නැගෙනහිර පළාතේ සිදුවුණු බව. අද චෙච්නියාවේ ජනාධිපති ධුරය දරන්නේ හිටපු ගරිල්ලා නායකයෙක්. තුවක්‌කුව අත්හැරදා ප්‍රජාතන්ත්‍රවාදී මගකට යොමු චෙච්ච මේ නායකයා වටා අද සියලුම මතවාදීන් එක් වෙලා තිබෙනවා. මේ නායකයාට අද පුළුවන් වෙලා තියෙනවා චෙච්නියානු ජාතිකයන්ගේ සිතුම් පැතුම් වලට අනුකූලව ක්‍රියා කරමිනුත්, ඔවුන්ගේ සංස්‌කෘතික හා සම්ප්‍රදායයන් ආරක්‌ෂා කරගනිමින් රුසියානු ජාතිකයන් හා රජයත් සමග විශාල සමීප සම්බන්ධතාවක් පවත්වා ගැනීමට. මේ සියලුම දේවල් වල ප්‍රතිඵලය අද ඔබට චෙච්නියාව දිහා බලන කොට දකින්නට ලැබෙනවා. රුසියාවේ පැවැත්වුණු පාර්ලිමේන්තු මැතිවරණයේදී චෙච්නියානුවත් 91% ක ප්‍රතිශතයක් පුටින්ගේ මතයට ඡන්දය දීමෙන් චෙව්නියාවේ අනාගතය සහ ඇති ජනතා කැමැත්ත ප්‍රකාශ වෙනවා. එසේම ප්‍රජාතන්ත්‍රවාදී සමාජ රාමුවකට ඔවුන්ගේ ඇති කැමැත්ත ද මෙයින් නිරීක්‌ෂණය වෙනවා. ශ්‍රී ලංකාවේ නැගෙනහිර දිස්‌ත්‍රික්‌කයේ පළාත් සභා ඡන්ද පැවැත්වීම යුද්ධයෙන් පසු මහින්ද ජනධිපතිගේ රජය ගත් තීරණය එදා ලබා ගත් විශිෂ්ටම ජයග්‍රහණයක් ලෙස හඳුන්වන්නට පුළුවන්.
අද ශ්‍රීලංකා රජය ක්‍රියාකරන ආකාරයටම 1996 වසරේදී රුසියානු හමුදා සම්පූර්ණයෙන්ම චෙව්නියාවෙන් අයින් කර ගත්තා. එවකට හිටපු රජය සිතුවා මෙයින් වත් චෙව්නියාවේ ගැටුම් සමතයකට පත් වේවි කියලා. නමුත් සිදු වූයේ එය නොවේ. නිදහස් ප්‍රදේශයක් හැටියට චෙව්නියාවට එදා බැරිවුණා ඉදිරියට යන්නට. සිදුවූයේ චෙව්නියාව අන්තවාදී මූලධර්මවාදීන්ගේ තෝතැන්නක් වුණා. මේ සියලු දේවල් අපේ උතුර නැගෙනහිර ප්‍රදේශවල පසුගිය සමය තුළ සිදුවුවා. සංඛ්‍යාලේඛන වලට අනුව වැඩිපුරම චෙච්නියානු ජාතිකයන් ජීවත් වුයේ වෙව්නියාවේ නොව අනිකුත් ප්‍රදේශ වලයි. අපේත් දෙමළ ජනතාව වැඩිවශයෙන් ජීවත් වන්නේ උතුර නැගෙනහිර ප්‍රදේශවල නොව අනිකුත් ප්‍රදේශවලයි.
ජනධිපති පුටින් වටා සැමවිටම සිටින්නේ දක්ෂ උපදේශකයන්, විශේෂයෙන් සෙර්ගේයි ලාව්රොව් රුසියානු සමූහාණ්‌ඩුවේ විදේශ කටයුතු පිළිබඳ ඇමැතිවරයා. අපේ රටේ යුද්ධය අවසානයේ දී, 2009 ඔක්තෝබර් මස 26 වෙනිදා ඔහු ශ්‍රී ලංකාවට පැමිණියා. එය වසර 52 ක් ඇතුළත රුසියානු හෝ සෝවියට් විදේශ අමාත්‍යවරයෙක් ශ්‍රී ලංකාවට පැමිණෙන ප්‍රථම අවස්‌ථාව වුනා. රුසියානු විදේශ ඇමතිවරයා එදා පැමිණියේ රුසියානු රජයේ විශේෂ ආරාධනාවක් රැගෙන. ඒ අනුව තමයි 2010 පෙබරවාරි 6 – 8 අතර කාලයේදී ජනධිපති මහින්ද රාජපක්ෂගේ රුසියානු රාජකාරි සංචාරය සිදුවන්නේ. නමුත් යහපාලනය තානාපති පම්පෝරි ගැසුවේ වසර 44 පසුව රටෙහි නායකයන් 2016 හමුවූ බවටය. ලාව්රොව් මහතා ශ්‍රී ලංකාවට සමග සමීප සම්බන්ධතා පවත් වූ තම විදේශ සේවය ආරම්භ කළ සමයේ ඔහුට පළමු පත්වීම ලැබුණේ ද ශ්‍රී ලංකාවටය. ඒ 1972 වර්ෂයේදී. ශ්‍රී ලංකාවේ රුසියානු තානාපති කාර්යාලයේ සේවය කර ඇති ලාව්රොව් මහතා මොස්‌කව් විශ්වවිද්‍යාලයේ සිංහල භාෂාවද ප්‍රගුණ කර ඇත. අදත් මා සමග සිංහල භාෂාවෙන් ටිකක් හෝ කතා කිරීමට අමතක නොකරන රාජ්‍ය නායකයෙකි.
එසේම තානාපති කාර්යාලයක් හැටියට එදා අපිට පුළුවන් වුණා රුසියානු විදේශ අමාත්‍යාංශය සමග ඉතා සමීප සම්බන්ධතාවක් පවත්වා ගන්නට. අපි හැම විටම ලංකාවේ තත්ත්වය අවංකව නිවැරදිව නියම වේලාවට රුසියානු රජයට පැහැදිලි කර සිටියා. හැකි සෑම විටකම අපිට ඔවුන්ගේ අදහස් විමසා බලන්නටත් උපදෙස් ලබා ගන්නටත් හැකි වුණා. ඒ නිසාම රුසියානු රජය දැනගෙන හිටියා අපට තිබුණු දූරදර්ශී පාලනයට අමතර ශක්‌තියක් හැටියට තාක්‌ෂණික ඥානයද ලබා දිය යුතුය යන්න. අපේ ත්‍රිවිධ හමුදාවන්ගේ තාක්‌ෂණික ඥානය හා ශක්‌තිය වර්ධනය කිරීම සඳහා රුසියාව විශාල වශයෙන් ආධාර ලබා දී තිබෙනවා. ඇත්තටම එදා අප සතුටු වුණා රජයක් හැටියට මේ මිත්‍ර සම්බන්ධතා වල ප්‍රතිඵලයක් දෑස් ඉදිරිපිටම දකින්නට ලැබෙන කොට. එදා රුසියානු රජය කොලඹ තානාපති කාර්යාලය සැදීමට තීරණය කල කාලයේදී ඔහුන්ගේ අදහසක්ද තිබුණා ආරම්භ කරන මොහොතේ රුසියානු ජනධිපති හෝ අගමැතිවරයාගේ සංචාරයක් සැලසුම් කරන්න. නමුත් අවාසනාවකට අපේ රජය එහි වටිනාකම හරියට තේරුම් නොගෙන එම වසරේදීම නැවතත් ශ්‍රී ලංකාවේ ජනධිපති රුසියාවේ සංචාරය කිරීමට ගත් තීරණය නිසා රුසියානු නායකයාගේ සංචාරය සිදුනොවුනු බව කිව යුතුය. එපමණක් නොව යහපාලනය රජයේ මුල් කාලයේදීම කොලඹ ඉදිකරමින් තිබුණු නව රුසියානු තානාපති කාර්යාලයේ ඉඩමට හදිස්සියේ කඩාකප්පල්කාරී පිරිසක් පැමිණි කල උද්ගෝෂණ නිසා, 2016 තානාපති කාර්යාලය වැඩ අවසානයේ අවම වශයෙන් විදේශ කටයුතු නියෝජ්‍ය අමාත්‍යවරයා හෝ ලංකාවට නොපැමිණියේ එදා කල මදිපුංචිකමට බව අදවත් තේරුම් ගත යුතුය.
මේවා පිළිබඳ රටේ නායකත්වය දැණුවත් කිරීම හෝ නොකිරීම එම දේශපාලකයින්ගේ හැසිරීම මත නිලධාරීන් තීරණය ගන්නා බවට එක් උදාහරණයක් මතක්කර සිටිමු. 2015 වර්ෂයේ යහපාලන රජය බලයට පත් වූ විගසම සමරවීර විදේශ අමාත්‍ය විසින් රුසියානු රජය යුක්රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දී ඇති බවට චෝදනා කරමින් ජාත්‍යන්තරය වශයෙන් රුසියාවට සිදුකල කෙනෙහිලිකම් වලට එදා රුසියාව පිළිතුරු නොදී අද එයට පිළිතුරු දී ඇති බව අපේ තානාපති තවමත් තේරුම් ගෙන නැත. එසේ නැතිනම් ඔහුගේ නායකයා රුසියාවේ ජනාධිපති පුටින්ට දුරකථනයෙන් කතා කරන බවට හෝ පුද්ගලික ඉල්ලීම් ලිපියක් යොමුකරන බවට ප්‍රසිද්ධයේ ප්‍රකාශ කිරීමට පෙර, දෙරටේ තානාපති සම්බන්ධතාවන්ට හැට වසරක් පිරි සැමරීමට රුසියානු රජය නිකුත් කරන මුද්දර හා තේ තහනම එකම දිනයේදී සිදු වුයේ කෙසේද යන්න සොයා නොබැලිම රුසියානුවන් තවමත් තේරුම් නොගැනීමයි.
එදා ජේ ආර් ජයවර්ධන රජය කල සමච්චලයට වසර 37 පුරාම අපේ රටේ නායකයකුට රුසියාවට ආරාධනා නොකිරීම තවත් එක් පාඩමක් බව අපේ රාජ්‍යතාන්ත්‍රික නිලධාරීන් අදවත් තේරුම් ගන්නේ නැත. නමුත් ඔහුන්ගේ අවබෝධයට මෙම කාරනාව කිව යුතුය. සමරවීර අමාත්‍ය විසින් රුසියානු රජය යුක්රේනියානු කැරලිකරුවන් සඳහා ශ්‍රී ලංකා තානාපති හරහා ආයුධ ලබා දුන් බවට කල චෝදනාවට මෙසේ පිළිතුරු දී ඇත. රුසියානු – යුක්රේනියාව අතර විපරමට එක් ප්‍රධාන හේතුව යුක්රේනියාව පාලනය කල ක්‍රිමියා ප්‍රාන්තය රුසියාවට එකතු කර ගැනීමයි. ක්‍රිමියාවට අමතරව රුසියාවේ වෙනත් ප්‍රදේශ අතර අපට ඓතිහාසික වශයෙන් සම්බන්ධයක් ඇති ස්ථාන බොහොමයක් ඇති බවට කිසිදු තර්කයක් නොමැත. අද සමරවීර ඇමතිවරයාට මෙසේ පිළිතුරු ලැබී ඇත. සෝවියට් සමූහාණ්ඩුව සමයේ ඇරඹි දෙරට අතර තානාපති සබඳතා වලට වසර 60 ක් සපිරීම නිමිත්තෙන් මෙම සමරු මුද්දර නිකුත්කිරීම. එනම් රුසියාවට අයත් ක්‍රිමියාවේ දී ඓතිහාසික වශයෙන් ශ්‍රී ලාංකිකවට වැදගත් මුල් දින කවරයක් සහිත මුද්දර දෙකක් 2017 දෙසැම්බර් 18 දින නිකුත් කෙරිණි. රූබල් 35 බැගින් වූ වටිනාකමින් යුතු එම මුද්දර දෙකින් එකක අපගේ ඓතිහාසික දඹුලු රාජමහා විහාරය ද, දෙවන මුද්දරයෙහි ක්‍රිමියාවෙහි පිහිටි ඓතිහාසික දේවස්ථානයක් විදහා දැක්වෙයි. රුසියානුවන් මේ සියලු දේ සුදානම් කර, එදිනම එනම් 2017 දෙසැම්බර් 18 දා සිට ශ්‍රී ලංකාවේ තේ ආනයනය කිරීමට තහංචි රුසියානු සමුහාණ්ඩුවට ඇතුළුව කසාක්ස්තානය, බෙලොරුසියාව, කිර්ගිස්තානය, ටජිකිස්තානය යන රටවල් හතරේම ක්‍රියාත්මක කරන ලදී. එවැනි අවස්ථාවක තේ වලට වාණිජමය වශයෙන් සිදූවන අපකීර්තියට තුඩුදෙන ප්‍රචාරයන් නැවැත්වීමට වහාම කටයුතු කිරීම හෝ අවම වශයෙන් මාධ්‍ය නිවේදන නිකුත් නොකිරීම කිරීම හෝ රුසියානු ශ්‍රී ලංකා සමරු මුද්දර නිකුත්කිරීමේ උත්සවට හෝ සහභාගී නොවීම තානාපතිගේ දක්ෂ හෝ අදක්ෂතාවයි. ජනපති මෛත්‍රීපාලගේ 2020 ශ්‍රී ලංකා රජයේ දැක්මට රුසියානු පිළිතුරු 2017 අවසාන වීමටත් පෙර මෙසේ ලබා ගැනීම යහපාලනයේ තවත් ජයග්‍රහණයකි.
රාජපක්ෂවරුන්ගෙන් පළිගැනීමට පොලිස් වාර්තාව පවා සහතික නොකළ තානාපති කෙනෙක් සහ ගමන් බලපත්‍රය අවලංගු නොකළ බවට අසත්‍ය චෝදනාවක් මත අත්අඩංගුවේ ඇති කන්ටේනරය නිදහස් කිරීමට ශක්තියක් නැති කෙනෙකුට එදා නිවසට ආරාධනා කිරීම ගැන අද අප කනගාටු වන්නේය. නමුත් ඒ දෙදෙනාම මෙසේ රුසියාව හා මිත්‍ර රජයන් සමග හොද හිත පලුදු කර ගැනීම කොතරම් අඥාණ ක්‍රීයාවක්දැයි වටහා ගැනීමට අපේ තනාපති ට හෝ ජනාධිපති ට අත්දැකීම් නැති වීම අපේ රටේ අවාසනාවකි.
උදයාංග වීරතුංග –
රුසියාවේ හිටපු ශ්‍රී ලංකා තානාපති.