29 C
Colombo
16 April 2025
Colombo Today Local News

මුස්ලිම් නීතිය තහනම් කරන්න.. කාන්තා සංවිධාන අටකින් ඉල්ලීම්

ශ්‍රී ලංකාවේ මුස්ලිම් කාන්තාවන්ට දෙවැනි පෙළ පුරවැසියන් ලෙසින් සලකන මුස්ලිම් පුද්ගල නීතිය අහෝසි කිරීමට රාජ්‍යය පියවර ගතයුතු බව කාන්තා සංවිධාන එකමුතුවක් පවසයි.

ස්විට්සර්ලන්තයේ ජිනීවා නුවරදී CEDAW හෙවත් කාන්තාවන්ට එරෙහි සියලුම ආකාරයේ නොසලකා හැරීම් තුරන් කිරීමේ ප්‍රඥප්ති සැසිවාරය හමුවේ ඒකාබද්ධ ප්‍රකාශයක් කළ සංවිධාන අටක එකමුතුව, ලාංකීය කාන්තාවන්ගේ අයිතිවාසිකම් සුරැකීම සඳහා වූ දීර්ඝ යෝජනාවලියක් ඉදිරිපත් කළේය.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් පුද්ගල නීතිය මගින් ළමා විවාහ නීතිගත කිරීම, ක්වාසි අධිකරණයේ විනිසුරුවන් පත්කිරීම, කාන්තාවන්ට අධිකරණය ඉදිරියේ පෙනී සිටීමට එල්ලවන බාධා සහ බහු විවාහ සඳහා පුරුෂයන්ට බිරිඳගේ අනුමැතියක් අවශ්‍ය නොවීම ඇතුළු කාන්තා පීඩක කරුණු ගණනාවක් CEDAW සඳහා වූ කාන්තා ක්‍රියාකාරී කමිටුව සිය ප්‍රකාශය මගින් පෙන්වා දී තිබේ.

මුස්ලිම් පුද්ගල නීතිය සංශෝධනය කිරීම මුස්ලිම් සමාජයට අදාළ කරුණක් බව රාජ්‍යය දිගින් දිගටම පවසන නමුත් තමන් එම ස්ථාවරයට දැඩි විරෝධය පළකරන බවත් මුස්ලිම් කාන්තා සංවිධාන ද සාමාජිකත්වය දරන සංවිධාන එකමුතුව අවධාරණය කරයි.

“වසර 66 කට වැඩි කලක් මුස්ලිම් කාන්තාවන් සහ දැරියන්ට එරෙහිව රාජ්‍යයේ අනුග්‍රහය සහිතව සිදුවන සංවිධානාත්මක නොසලකා හැරීම් වහාම නැවතිය යුතුය,” යනුවෙන් ද නිවේදනයේ දැක්වේ.

CEDAW සඳහා වූ කාන්තා ක්‍රියාකාරී කමිටුව ජිනීවා නුවරදී ඉදිරිපත් කළ යෝජනා අතර:

  • ව්‍යවස්ථාවේ මූලික අයිතිවාසිකම් පිළිබඳ පරිච්ඡේදයට කාන්තා අයිතිවාසිකම් ද ඇතුලත් කිරීම
  • මුස්ලිම් පුද්ගල නීතිය සහ තේසවලාමේ නීතිය අහෝසි කිරීම
  • ශ්‍රී ලංකාවේ සියලුම ක්ෂේත්‍රවල කාන්තාවන්ට සමාන සේවයට සමාන වැටුප් ලබාදීම
  • කාන්තාවන්ට පමණක් බලපවත්වන නීති අහෝසි කිරීම
  • ස්ත්‍රී දූෂකයන් නීතියේ රැහැනින් පළායාමට එරෙහිව අධිකරණ ක්‍රියාදාමය කාර්යක්ෂම කිරීම
  • යුද්ධයෙන් පීඩාවට පත්ව සිටින වැන්දඹුවන් ඇතුළු කාන්තාවන්ගේ ජීවන තත්වය නගාසිටුවීමට පියවර ගැනීම
  • සමලිංගික සම්බන්ධතා පිළිබඳ දණ්ඩ නීති සංග්‍රහයේ ඇතුළත් වගන්ති ඉවත්කිරීම

වත්මන් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 16 වෙනි වගන්තිය ප්‍රකාර සම්මත නීතියක් සම්බන්ධයෙන් අධිකරණ විමර්ශනයක් පැවැත්වීම තහනම් කිරීම සුළු ජනකොටස් නොසලකා හැරීමකට මග පෑදෙන බව පෙන්වාදෙන කාන්තා සංවිධාන, නව ව්‍යවස්ථාව සම්පාදනය කිරීමේදී එම වගන්තිය ඉවත්කළ යුතු බවත් අවධාරණය කරයි.

Related posts

සංචරණ සීමා ඉවත් කළ පසු පළාත් තුළ පමණක් දුම්රිය සහ බස් ධාවනය කිරිමට සැලසුම්

colombotoday

සජිත් සුළඟට හසු වූ අයට යන-එන මං නෑ ! දුරකතන ඇමතුම්වලටත් පිළිතුරු නෑ !!

colombotoday

කොච්චිකඩේ පල්ලිය අසලින් හමුවූ බෝම්බය නිෂ්ක්‍රීය කිරීමට යාමේදී පුපුරා යයි…

colombotoday

වනිඳු පිලිබද තීරනයක්

Admin

මුස්ලිම් රටවල් වැනසූ බලවේග අප රටටද අතපොවා ඇත, එක්වී පොදු සතුරා පරදමු.. හිටපු ජනපතිගෙන් මුස්ලිම් ජනතාවට ඇරයුම්

colombotoday

නැවතත් කොටි ඉල්ලන විජයකලාට අධිකරණය අද දුන් තීන්දුව…

colombotoday