විධායක ජනාධිපති බලතල අහෝසි කිරීම සහ පවතින මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම මේ ආණ්‌ඩුව පත්වනවිට ජනතාවට දුන් ප්‍රධාන ප්‍රතිඥා දෙකකි. නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක් සම්පාදනය කිරීමේ අරමුණ එය බව ප්‍රකාශ වුවද යෝජිත නව ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාවෙන් ද ජනාධිපති බලතල එලෙසින්ම පවත්වාගෙන යැමට යෝජනා වී ඇතැයි පසුගියදා ප්‍රකාශ විය. යෝජිත නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ අරමුණු පිළිබඳ මානව හිමිකම් හා සංවර්ධනය පිළිබඳ නීතිවේදී සංවිධානයේ විධායක අධ්‍යක්‌ෂ නීතිඥ කල්‍යානන්ද තිරාණගම සමඟ පැවැත්වූ සාකච්ඡාවකි මේ.
වර්තමාන ආණ්‌ඩුව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීමට ප්‍රතිඥා දුන්නත් යෝජිත නව ව්‍යවස්‌ථාවෙනුත් ජනාධිපති බලතල ඒ ආකාරයෙන්ම පවත්වාගෙන යැමට උත්සාහ දරන බව පෙනෙනවා?
ව්‍යවස්‌ථා සම්පාදක මණ්‌ඩලය පිළිබඳ අගමැතිතුමා පාර්ලිමේන්තුවේදී ප්‍රකාශ කළේ එම මණ්‌ඩලය පත් කරන්නේ කරුණු 3 ක් ඉටු කරගැනීමට බවයි. ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම සහ බලය බෙදීම ඒ කරුණු තුනයි. මේ සඳහා පාර්ලිමේන්තුවේ කමිටු තුනක් පත් කළා. ඊට අමතරව මන්ත්‍රීවරුන්ගෙන් සැදුම් ලත් කමිටු 6 ක් පත් කළා. ජනතා අදහස් විමසන්නත් වෙනම කණ්‌ඩායමක් පත් කළා. ආණ්‌ඩුවේ උපදේශකයන් සහ ව්‍යවස්‌ථා විශාරදයන්ගේ උපදෙස් මත මන්ත්‍රී කමිටු 6 ක් විසින් දැන් වාර්තා 6 ක් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කර තිබෙනවා. නමුත් මේ එක වාර්තාවකවත් අගමැතිතුමා සඳහන් කළ කරුණු තුනෙන් පළමු සහ දෙවැනි කාරණා ගැන එනම් ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම පිළිබඳ කිසිදු සඳහනක් නෑ. එම වාර්තා හයේම සඳහන් වන්නේ බලය බෙදීම ගැන පමණයි.
කරුණු තුනක් ඉටුකර ගැනීමට කමිටු හයක් පත්කරල ඒවායේ වාර්තා එනවිට කරුණු දෙකක් හැලී යැමෙන් පෙනෙන්නේ මේ ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ගේන්න හදන්නෙ ජනාධිපති බලතල ඉවත්කරන්නවත්, පවත්නා මැතිවරණ ක්‍රමය ඉවත් කරන්නවත් නෙමෙයි බලය බෙදීමට පමණක් බවයි. බලය බෙදීම ජනතාවගේ ඉල්ලීමක් නෙමෙයි. ජනතාව ඉල්ලුවේ ජනාධිපති ක්‍රමය ඉවත් කිරීමට සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමටයි. සෝභිත හාමුදුරුවොත් කිව්වේ මේ ජනාධිපති ක්‍රමයත් මේ මැතිවරණ ක්‍රමයත් අපේ රටට නොගැලපෙන නිසා ඒවා ඉවත් කරන්න කියලයි. ආණ්‌ඩුවේ මේ නව ව්‍යවස්‌ථාව සම්පාදනය කිරීමේ අරමුණ බලය බෙදීමයි. ඒ අරමුණට ජනාධිපති ක්‍රමය ඉවත් කිරීම සහ මැතිවරණ ක්‍රමය වෙනස් කිරීම එකතු කළේ නව ව්‍යවස්‌ථාවට එල්ල වන ජනතා විරෝධය වළක්‌වන්නටයි.
මේ ආණ්‌ඩුව බලයට පත්කර ගන්න බොහොම මහන්සි වුණු පිරිසක් ඉන්නවා. ඒ දෙමළ ඩයස් පෝරාව, දෙමළ බෙදුම්වාදීන් සහ ඇතැම් විදේශ රටවල්. මේ තුන්ගොල්ලන්ගෙ එකම ඉල්ලීම වුණේ විධායක ජනාධිපති ක්‍රමය වෙනස් කිරීමවත්, මැතිවරණ ක්‍රමය වෙනස් කිරීමවත් නෙමෙයි, බලය බෙදල උතුරු නැගෙනහිරට වෙනම පාලනයක් දීමයි. ඒ ඉල්ලීම ඉටුකිරීම තමයි මේ නව ව්‍යවස්‌ථාවේ සැබෑ අරමුණ.
දෙමළ ජනතාව ඉතාම පැහැදිලිව ඒ අයගෙ ඉල්ලීම් ඉදිරිපත් කරල තිබෙනවා. ඒ ඉල්ලීම්වලට ආණ්‌ඩුව තමන්ගේ ස්‌ථාවරය ප්‍රකාශ නොකර ඒ ප්‍රශ්නය ජනතාවට සහ විවිධ කමිටුවලට භාරදීලද?
ආණ්‌ඩුව මේ ප්‍රශ්නය පිළිබඳ ආණ්‌ඩුවේ විසඳුම නොකියන්නේ රහසක් තිබෙන නිසා බවයි මගේ අදහස. දෙමළ ජනතාව උතුර නැගෙනහිර එක්‌කර වෙනම පාලනයක් ඉල්ලනවා. ඉඩම් බලතල, පොලිස් බලතල ඉල්ලනවා. ආණ්‌ඩුකාරවරයාගේ බලතල ඉවත්කරන ලෙස ඉල්ලනවා. ඔවුන් උතුරු නැගෙනහිරට නිදහස් ස්‌වාධීන පාලනයක් ඉල්ලද්දී ආණ්‌ඩුව ඒක අමතක කරල සංහිඳියාවක් ගැන කතා කරනවා. එහෙම කළා කියල දෙමළ ජනතාවගේ ඉල්ලීම් වෙනස් වෙන්නේ නෑ. ආණ්‌ඩුවේ ප්‍රධානීන් යාපනේට ගිහින් සිංහල මිනිස්‌සුන්ට ආරාධනා කරනවා දෙමළ ජනතාව විඳින දුක බලන්න එන්න කියල. ප්‍රශ්නෙට උත්තරේ ඒක නෙමෙයි. මෙන්න අපේ විසඳුම කියල එක්‌සත් ජාතික පක්‌ෂයවත්, ආණ්‌ඩුවට සම්බන්ධ වී සිටින ශ්‍රීලනිප කණ්‌ඩායමවත් ජනාධිපතිතුමාවත් කියන්නෙ නෑ.
ප්‍රශ්නෙ විසඳන්න ඕන බලතල තියෙන අයනෙ. ජනතාව ඒ අයට බලතල දුන්නෙ ප්‍රශ්නෙ විසඳන්න. මේකට විසඳුම මොකක්‌ද කියල ජනතාවගෙන් අහල වැඩක් නෑ. මම නම් හිතන්නෙ මේකට විසඳුම මොකක්‌ද කියල ජනතාවගෙන් අහන්නෙ ආණ්‌ඩුව ඇඟ බේරා ගන්නයි.
ඡේ. ආර්. ජයවර්ධන මහතා 13 වැනි ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථාව ගෙනැල්ල පළාත් සභා දුන්නත් එයින් එහාට ගිහින් විධායක ජනාධිපති ක්‍රමය නැතිකරන්න ගියේ නෑ. එයට හේතුව විධායක ජනාධිපති ක්‍රමය පැවතුණොත් විතරයි. ඒ පවතින රාමුව තුළ ශ්‍රී ලංකාවට ඒකීය රටක් ලෙස පැවතිය හැක්‌කේ. විධායක ජනාධිපති ක්‍රමය සම්පූර්ණයෙන්ම අහෝසි කරල බලතල බෙදුවොත් රට බෙදෙනවා. ඒක වළක්‌වන්න බෑ. ඡේ. ආර්. ජයවර්ධන මහතාවත් ප්‍රේමදාස මහතාවත් ඒකට කැමැති වුණේ නෑ. චන්ද්‍රිකා ජනාධිපතිනිය එය කරන්න හැදුවත් එදා එජාපය එයට එරෙහි වෙලා පාර්ලිමේන්තුවේ ඒ පනත ඉරල දැම්මා. පාර්ලිමේන්තු තේරීම් කාරක සභාව කියල එකක් පත් කළේ සියලු පක්‌ෂ එකතුවෙලා ඒ පාපකර්මෙ කරන්න. නමුත් ඒක කරන්නත් බැරිවුණා. හේතුව මේක තුළිනුත් හැමෝම බලන්නෙ අනුන් පරද්දල තමුන් බලයට එන්න.
අද කරන්න හදන්නෙත් සියලු දෙනා හවුල් කරගෙන ඔය පාප කර්මය කරන්න. ජනතාවගෙනුත් අදහස් විමසමින් ජනතාවත් හවුල් කරගන්නව. ඔය පත්කළ කමිටුවලත් රට ගැන හැඟීමක් තියෙන අය ඉන්න බවක් පෙනෙන්න නෑ. රට පුරා අදහස් විමසීම් වගේම සියලු පක්‌ෂ නියෝජනයන් තිබෙන බව පෙන්වන්නෙ මේ කරන්න හදන දේට ප්‍රජාතන්ත්‍රවාදී මුහුණුවරක් දෙන්නයි. මේ ක්‍රියාවලියට විරුද්ධ අයගේ පවා නම් මේ කමිටුවලට ඇතුළත් කර තිබෙනවා. සියලු දේශපාලන පක්‌ෂ සම්බන්ධ කර ගන්නවා. ඒ අයගෙ නම් කමිටුවල තිබෙනවා. නමුත් ඒ අය කියන්නෙ අපේ යෝජනා කිසිවක් මේකට ඇතුළත් කරල නෑ කියල. මේ මේ දේවල්වලට අපේ විරුද්ධත්වය ප්‍රකාශ කළා කියලවත් කිසිතැනක සඳහන් වෙන්නේ නෑ. සියලු පක්‌ෂ නියෝජනයෙන් සහ මුළු රටේම ජනතාවගේ අදහස් විමසා මේ ව්‍යවස්‌ථාව සම්පාදනය කරන බව ප්‍රකාශ කරන්නෙ ඊට සුජාත භාවයක් ආරෝපණය කරන්නයි. නමුත් අවසන් වාර්තාවේ තිබෙන්නේ බලය බෙදීම පමණයි.
13 ව්‍යවස්‌ථා සංශෝධනයට එහා බලයක් අවශ්‍යයි යන්න උතුරේ මහ ඇමැතිවරයාගේ ඉල්ලීමක්. මේ ඉල්ලීමත් පළාත් සභාවලට බලතල පැවරීමත් පිළිබඳ ඔබේ මතය කුමක්‌ද?
රටේ ඒකීය භාවයේ සීමාව තමා 13. ආණ්‌ඩුකාරවරයා පත්කරන්නෙ ජනාධිපති. පැරණි ව්‍යවස්‌ථාව අනුව ආණ්‌ඩුකාරවරයා ජනාධිපතිගෙ නියෝජිතයෙක්. ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය නැතිව මහඇමැතිවරයාට හිතුවක්‌කාර ලෙස කටයුතු කරන්න බෑ. පනතක් ගෙනාවත් ආණ්‌ඩුකාරවරයාගේ අනුමැතිය ඊට අවශ්‍යයි. රාජ්‍ය සේවය ක්‍රියාත්මක වෙන්නෙත් ආණ්‌ඩුකාරවරයාගේ අනුදැනුම ඇතිව. මුදල් පාලනයත් තිබෙන්නේ ආණ්‌ඩුකාරවරයා යටතේ. රටේ එකීය භාවය ආරක්‌ෂා වෙන්නෙ ආණ්‌ඩුකාරවරයා සතු මේ බලතල නිසයි. මේ අයගෙ ඉල්ලීම ආණ්‌ඩුකාරවරයා කටයුතු කළ යුත්තේ මහඇමැති සහ පළාත් සභාවේ ඇමැති මණ්‌ඩලයට අනුව බවයි. යම්විදිහකින් එය ඉටුවුණොත් එය රටේ ඒකීය භාවයට තර්ජනයක්.
ආණ්‌ඩුවේ බලතල රට පුරා ක්‍රියාත්මක වෙන්නෙ දිසාපති හා මහලේකම් කාර්යාල හරහා. ඒ සෑම තැනකම සිටින්නේ රජය පත් කරන නිලධාරීන්. එය මහ ආණ්‌ඩුවෙන් ඉවත් කර පළාත් සභාවලට පැවරිය යුතු බව තවත් ඉල්ලීමක්. එවිට මේ නිලධාරීන් ක්‍රියාත්මක වන්නේ මහ ඇමැතිවරයා යටතේ. මෙතෙක් රට පුරා එකම ප්‍රතිපත්තියක් ක්‍රියාත්මක වීම ඉන්පසු අහෝසි වෙනවා. ඉන්පසු ඇතිවන්නේ ඒ ඒ පළාත්වල මහ ඇමැතිවරුන්ට උවමනා පරිදි ක්‍රියාත්මක වන රාජ්‍ය සේවයක්. ඒ අනුව පළාත් නවයේ ආකාර නවයකට අනුවයි, රාජ්‍ය සේවය ක්‍රියාත්මක වන්නේ. මේ නිසා රටේ බහුතර ජනතාවට විශාල අසාධාරණයක් සිදු වන්නට පුළුවන්. නීතිය සමානව ක්‍රියාත්මක වීම බිඳවැටීමෙන් රට බරපතළ අවුල් සහගත තත්ත්වයකට පත්වෙන්න පුළුවන්. එවිට ඒ ඒ පළාත් සභාවල තීරණ අනුවයි, එක් එක් පළාත් සභාවල කටයුතු කෙරෙන්නේ. රට පුරා නීති පැනවීමේ බලය පාර්ලිමේන්තුවට අහිමි වෙනවා. එය භයානක තත්ත්වයක්. මේ බලය බෙදීම් ක්‍රියාත්මක වුණොත් රට දෙකට නෙමෙයි මම හිතන්නේ, රට නවයකට කැඩෙනවා.
දිවයින ඉරිදා සංහ්‍රගහය
ව්‍යවස්ථා අනුකමිටුවේ සම්පූර්ණ වර්තාව මෙතැනින්