Colombo Today Local News

කිඹුලාඇළේ ගුණා ඇතුළු පාතාලයන් 9ක් ගේන්න CIDය තමිල්නාඩුවට

තමිල්නාඩුවේ රැඳවුම් කඳවුරක රඳවා සිටියදී ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය විසින් සිය භාරයට ගන්නා ලද ‘කිඹුලාඇළේ ගුණා’ ඇතුළු මෙරට පාතාලයන් 9 දෙනා මෙරටට රැගෙන ඒම සඳහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ නිලධාරීන් පිරිසක් අද හෙට ම ඉන්දියාවේ තමිල්නාඩුව බලා පිටත්ව යාමට නියමිත ය.

ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් අත්අඩංගුවට ගැනුණු කිඹුලාඇළේ ගුණා හෙවත් සින්නයියා ගුණසේකරන්, කොට ගාමිණි හෙවත් අලහප්පෙරුමගේ සුනිල් ගාමිණී ෆොන්සේකා, බුම්මා හෙවත් ස්ටැන්ලි කෙනඩි ප්‍රනාන්දු, අතුරුගිරියේ ලඩියා හෙවත් දීනමුල්ල කංකානම්ලාගේ නලීන් චතුරංග, කෙසෙල්වත්ත ධනුක, වැල්ලේ සුරංග හෙවත් ගමගේ සුරංග ප්‍රනාන්දු, පූකුඩිකන්නා හෙවත් සින්නයියා දිලීපන් (කිඹුලාඇළ ගුණාගේ පුතා) පුෂ්පරාජා සහ මොහොමඩ් අස්මින් යන පාතාල අපරාධකරුවන් මෙලෙස යළි මෙරටට රැගෙන ඒම සඳහා රහස් පොලිස් කණ්ඩායම ඉන්දියාව බලා පිටත්ව යනු ඇත.

මේ සම්බන්ධයෙන් අදහස් දැක්වූ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ උසස් නිලධාරියෙකු මහජනතාවගෙන් ඉල්ලා සිටින්නේ, මෙම පුද්ගලයන් විසින් සිදුකරන ලද පාතාල ක්‍රියා, මිනිස් ඝාතන ඇතුළු වෙනත් අපරාධ තොරතුරු ඇත්නම් ඒ සම්බන්ධයෙන් වහා අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව වෙත දන්වන ලෙස ය. එමෙන් ම, මොවුන්ට එරෙහිව කිසියම් පැමිණිලි ඇත්නම් ඒ සම්බන්ධයෙන් ද රහස් පොලිසිය දැනුවත් කරන ලෙස අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව මහ ජනතාවගෙන් ඉල්ලීමක් කරයි.

එල්ටීටීඊයට නැවත පණ පෙවීමේ අරමුණෙන් ආයුධ ජාවාරමක නිරත වූ බවට එල්ල වී ඇති චෝදනා සම්බන්ධයෙන් විමර්ශනයක් පැවැත්වීම සඳහා මොවුන් ඉන්දීය ජාතික විමර්ශන ඒජන්සිය මගින් සිය භාරයට ගෙන තිබිණි.

පකිස්තාන මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවෙකු සමග සම්බන්ධකම් පැවැත්වීම සම්බන්ධයෙන් අත්අඩංගුවට ගෙන තමිල්නාඩුවේ රැඳවුම් කඳවුරක රඳවා සිටි ශ්‍රී ලාංකික පාතාලයන් 9 දෙනාගෙන් වැඩි පිරිසකට ජාත්‍යන්තර රතු නිවේදන නිකුත් කර ඇති බව ද අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අවධාරණය කරයි.

Related posts

ජනබලය විරෝධය දිනයේදී සුනාමි පෙරහුරුවක්

colombotoday

වදුරඹ අපරාධ අංශයේ OIC අත්අඩංගුවට

colombotoday

ආර්ථික පීඩනය නිසා බොහෝදෙනෙකුට පපුවේ අමාරුව

colombotoday

නාමල්ට එරෙහි මුදල් විශුද්ධිකරණය පැමිණිල්ලක් යළි කැඳවෙයි

Admin

කුණු කන්දට යටවී මිය ගිය අයගේ මිනී පෙට්ටියෙනුත් ගසා කාලා (Video)

colombotoday

හිජාස් හිස්බුල්ලා අධිකරණයට ඉදිරිපත් කරන්නැයි නීතිපති උපදෙස්

colombotoday