මන්ත්‍රීවරුන්ට තීරු බදු රහිතව (Duty free) වාහන ගන්න ඉඩ දුන්නාම ඒකෙන් ජනතාවට බරක් පැටැවෙන්නේ නෑ. ඒකෙන් සිද්දවෙන්නේ ආණ්ඩුවට ලැබෙන ආදායමක් අඩුවීම විතරයි. ආණ්ඩුවේ ආදායම අඩුවීම ජනතාවට ප්‍රශ්නයක් තමයි. හැබැයි තීරු බදු රහිතව වාහන ගෙන්න දුන්නේ නෑ කියලා ආණ්ඩුවට (ජනතාවට) ලාභයක් වෙන්නෙත් නෑ.
තමන්ට දෙන තීරු බදු රහිත වාහන මිල දී ගන්න ඕන මන්ත්‍රීවරු. ඉතින් ඒ බර ආණ්ඩුවට (ජනතාවට) පැටැවෙන්නේ නෑ. මන්ත්‍රීවරුන්ට එහෙම වාහන ගේන්න දීලා වෙන ආදායම් ගොඩක් උපයාගන්නත් ආණ්ඩුවට පුළුවන්. ඔය වාහනවලට ඉන්ධන ඕන. ටයර්, අමතර කොටස් ඕන. ඕවා නඩත්තු කරන්න ඕන. ඉතින් ඔය හැම මාර්ගයකින් ම බදු ගන්න ආණ්ඩුවට පුළුවන්.
තීරු බදු රහිත වාහන මන්ත්‍රීවරුන්ට නොදී ඒ වෙනුවට රජයේ වාහන දෙනවා කියලා අසේල නලින් ද ලාල් (නලින් හේවගේ) නියෝජ්‍ය ඇමැතිවරයා කියලා තියෙනවා. රජයේ වාහන මිල දී ගන්නේ ජනතාවගේ බදු මුදල්වලින්. ඒ කියන්නේ මන්ත්‍රීවරුන්ගේ වාහන බර ජනතාවට පටවන විදිහක් ගැන තමයි මේ කියන්නේ.
රජයේ වාහන එළවන්න පුළුවන් රජයේ රියැදුරන්ට විතරයි. රාජ්‍ය සේවයේ ඉන්න රියැදුරන්ගේ වැටුප්, අතිකාල දීමනා හැම එකකට ම ජනතාවගේ බදු මුදල් වියදම් කරන්න වෙනවා. ඒ වගේ ම, ඉන්ධන, වාහන නඩත්තුව, ඒවාට අවශ්‍ය අමතර කොටස් වගේ මේ හැම එකක් වෙනුවෙන්මත් ජනතාවගේ බදු මුදල් වියදම් කරන්න වෙනවා.
මන්ත්‍රීවරයෙක්ට තීරු බදු රහිත වාහන දීමෙන් මෙහෙම බරක් ජනතාවට පැටවෙන්නේ නෑ. ඉතින් මේ යෝජනාව ඉදිරිපත් කරන්නේ ජනතාවට යහපතක් කරන අදහසින් කියලා නම් හිතන්න බෑ.
ආචාර්ය වරුණ චන්ද්‍රකීර්ති