ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමග සිදුවූ සාකච්ඡාවල සත්‍ය තත්වය ජනාධිපති අනුර දිසානායක මහතා රටට හෙළි කළ යුතු බව හිටපු ජනාධිපති රනිල් වික්‍රමසිංහ මහතා සඳහන් කරයි.
ජාත්‍යන්තර මුල්‍ය අරමුදල සමඟ සාකච්ඡාව ඊළඟ අයවැයෙන් පසුව සිදුවන බව වාර්තා වන බවද පැවසූ ඔහු මේ සම්බන්ධයෙන් සත්‍ය තත්ත්වය ජනාධිපතිවරයා විසින් පැහැදිලි කළ යුතුව ඇතැයිද කියා සිටියේය.
ඒ මහතා මේ බව කියා සිටියේ ප්‍රජාතන්ත්‍රවාදී පෙරමුණේ අපේක්ෂකයන්ගේ ජය තහවුරු කිරීමට අතුරුගිරියේදී පැවති ජන හමුවක් අමතමිනි.
එහිදී ඔහු මෙසේද කියා සිටියේය.
”අප රට පාලනය සඳහා පළපුරුදු කණ්ඩායමක් ඉදිරිපත් කර තිබෙනවා. පාර්ලිමේන්තුවට යැවිය යුත්තේ පළපුරුදු කණ්ඩායමක්. රටේ ආර්ථිකය ඉදිරියට ගෙනයාම පාර්ලිමේන්තුවට බාර වී තිබෙනවා.
අපගේ ආර්ථිකය ගැන තීන්දු තීරණ ගන්නේ පාර්ලිමේන්තුවෙන්. පාර්ලිමේන්තුවේ මේ පිළිබඳ අත්දැකීමක් පළපුරුද්දක් ඇති අය අවශ්‍යයි. නැතිනම් පාර්ලිමේන්තුවේ සිදුවන්නේ කුමක්ද?
පාර්ලිමේන්තුව තබා ප්‍රාදේශීය සභාවක්වත් නොදුටු අය පාර්ලිමේන්තුවේ තබන්න පුළුවන්ද?
මේ රටේ අනාගතය භාරගන්න පාර්ලිමේන්තුවට ගෑස් සිලින්ඩරයේ මන්ත්‍රීවරුන් පත් කරන්නැයි අපේ ඡන්දදායකයන්ගෙන් ඉල්ලා සිටිනවා.
අපේ රටේ ආණ්ඩුවක් බාරගන්න කිසිවකුත් නැති විටක මා ඉදිරිපත් වුණා. අනෙක් පක්ෂ වල අය දුවලා හැංගුණා. සමහරු මා සමග ආණ්ඩුව ගෙනයන්න එකතු වුණා.
වසර දෙකෙන් මේ තත්ත්වය සාමාන්‍යකරණය කරන්න ඉදිරිපත් වූ අය ගෑස් සිලින්ඩරය යටතේ මහ මැතිවරණයට ඉදිරිපත් වී තිබෙනවා.
මෙහි පළපුරුද්දක් ඇති කණ්ඩායමක් සිටිනවා. ඔවුන් ආර්ථිකය ගැන නොදන්නා අය නොවේ. අද ජනතාව ජීවත් වන්නේ මේ කණ්ඩායම නිසා.
අප රට භාර ගනිද්දි මූල්‍ය අරමුදලේ විශේෂ වැඩසටහනට එකතු වුණා. අපගේ අවසන් ප්‍රතිඵලය කුමක්ද?
ණය තිරසර බව නැවත ඇති කරන්නට, ණය ප්‍රතිව්‍යුහගත කිරීමේ වැඩසටහන අවසන් කරන්නට අපට හැකි වී තිබෙනවා. අප එය පියවරෙන් පියවරට ගියා. පළමුවෙන්ම දේශීය ණය ප්‍රතිව්‍යුහගතකරණය කළා. 2023දී අප ඒ කටයුත්ත අවසන් කළා. ඉන් පසුව අප ද්විපාර්ශවික ණය පිළිබඳ එකඟතාවයකට පැමිණියා. අපට ණය දුන් රටවල් දහ අටක්ම ඊට සහභාගී කරගත්තා.
ජුනි 26 වැනිදා ඒ වැඩසටහන අවසන් කළා. ඉන් පසුව අපි වානිජ ණය ගත් අය සමඟ සැප්තැම්බර් 18 වැනිදා මූලික එකඟතාවයකට පැමිණියා.
මගේ කාලය අවසන් කර ඡන්දයකට යෑමට පෙර මේ කටයුතු සියල්ල කළා. අනුර දිසානායක ඇතුළු පිරිස මේ වැඩසටහන පිළිගෙන තිබෙනවා.
අපි එනකොට ආර්ථිකය හැකිලී තිබුණා. 2023 තුන්වන කාර්තුවේ එනම් ජුලි අගෝස්තු සැප්තැම්බර් කාලයේදී අපි මේ රටේ ආර්ථික හැකිලීම නැවැත්තුවා.
එමෙන්ම අපගේ විදේශ විනිමය ලබාගන්න මූලික අංශ වන විදේශ ආයෝජන, සංචාරක ව්‍යාපාරය, අපනයන සහ විදේශ රැකියා වලින් එන ආදායම වැඩි කරගන්නට අපට හැකියාව ලැබුණා.
විදේශ වාණිජ ගනුදෙනු වල සීමා ඉවත් කරන්නට හැකි වුණා. එමෙන්ම උද්ධමනය අඩු කළා. සැප්තැම්බර් මාසය වන විට රට සාමාන්‍ය තත්ත්වයකට පැමිණ තිබුණා.
එමෙන්ම පොලිය සියයට දහයකට අඩු කර තිබෙනවා. විදේශ විනිමය සංචිතය ඩොලර් බිලියන හයක් දක්වා වැඩිකර තිබෙනවා. එමෙන්ම අප මුදල් අච්චු ගැසීම නතර කළා.
දළ දේශීය නිෂ්පාදනයෙන් 8.3 ක් වූ ආණ්ඩුවේ ආදායම 2023 වන විට 11.8 ක් බවට එය පත්වුණා.
ආදායම් වියදම් පරතරය සියයට අටයි දශම තුන දක්වා අඩු කර තිබෙනවා. එදා ඩොලරය තිබුනේ 380 කට. අද එය 300 දක්වා අඩුකර තිබෙනවා. අවුරුදු 73 කට පසු මහ බැංකුවේ මුදල් නැතුව අප මූල්‍ය පාලනයක් ගෙන ගියා.
අපේ 2025 අයවැය මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කර හදන්නට තිබුණා. කරන්න තිබුණේ එපමණයි.
ඒ අනුව අප රාජ්‍ය සේවක පඩි වැඩි කිරීම සඳහා අනුමැතිය ලබා දුන්නා. මූල්‍ය අරමුදලත් ඊට එකඟ වී තිබුණා.
මූල්‍ය අරමුදලේ කණ්ඩායම මෙරටට පැමිණි විට ආණ්ඩුව එකඟතාවයකට එළඹ නැහැ. නිව්යෝර්ක් ගිහින් සාකච්ඡා කරන බව දැන් කියා තිබෙනවා.
රත්නපුරේදී අනුර දිසානායක ජනාධිපති කිව්වේ මේ වන විටත් ආර්ථික උපදේශක ඇතුළු මුදල් අමාත්‍යංශය නියෝජනය කරන නිලධාරීන් එක්සත් ජනපදයේ ජාත්‍යන්තර මූල්‍ය අරමුදල සමග සාකච්ඡා කරන බවයි. ඔවුන් ඉදිරිපත් කළ යෝජනා ගැන කතා කරන බවත් කිව්වා.
නමුත් සාකච්ඡා අවසන් නොවූ බවත් ඊළඟ අයවැයෙන් පසුව එම සාකච්ඡා අවසන් වන බවත් මාධ්‍ය වාර්තා කර තිබුණා.
මේක හරි කතාවක් නේ. මේවා ඔක්කොම හරි කියා අනුර කිව්වා. දැන් හැම එකක්ම මගේ පිට දාන්න හදනවා. මම කෝටි හතක කජු කකා හිටපු බව කියනවා. එහෙම නම් මට වෙන වැඩ කරන්න වෙන්නේ නැහැ.
මම මේ සියල්ල සකස් කළා. තිබුණේ අන්තිම අත්සන දාන්න විතරයි. කොළඹදී එකඟ වී නිව්යෝර්ක් ගිහින් අත්සන් කරන්න ඔවුන්ට තිබුණේ. එහෙනම් ඔවුන්ට අයවැය හදන්න තිබුණා. දැන් මොවුන් කරන සාකච්ඡා මොකක්ද? ඒක වහාම කියන්න.
අපගේ අන්තිම කාලය වන විට අපේ ආදායම බිලියන 3700 ක් වී තිබුණා. මේ වසරේ දළ දේශීය නිෂ්පාදනයෙන් සියයට දහතුනක ආදායම් ලබා ලබාගන්න අප ඉලක්ක කර තිබුණා.
රුපියල් බිලියන 5000ක් ආදායමක් සහිතව රටේ ආර්ථිකය හදන්නට බලාපොරොත්තු වුණා.
මේ ආණ්ඩුව ඉදිරිපත් කර තිබෙන යෝජනා ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? මොවුන්ගේ අලුත් යෝජනා ඔක්කොම දානවා නම් රටේ වියදම ඩොලර් බිලියන 5600 ක් පමණක් වෙනවා.
අනෙක් අතින් රටේ ආදායම රුපියල් බිලියන 3000 දක්වා පහත බසිනවා. එවිට අයවැය පරතරය රුපියල් බිලියන 1000 සිට 2500 දක්වා වැඩි වෙනවා. එවිට ඒ මුදල් හොයන්නේ කොහොමද? මුදල් අච්චු ගහන්න හැකියාවක් නැහැ. මුදල් අච්චු ගහන්නේ නැතැයි අප මූල්‍ය අරමුදලට එකඟ වී තිබෙනවා. එමෙන්ම හිතුමතේ ණය ගන්නත් බැහැ.
මේ ගැන ජනාධිපති වහාම රටට කියන්න. ජනපති කිසිම දෙයක් රටට කියා නැහැ. මේ තත්ත්වය ගැන වහාම රටට කියන්න. මේක හංගගෙන ඉන්න එපා.
සෙනසුරාදා වන විට කිසිම ප්‍රශ්නයක් තිබුණේ නැහැ. ඉරිදා ප්‍රශ්නය ඇති වුණේ කොහොමද? ජනතාව මෙය දැනගත යුතුයි. ආපහු පෝලිම් ඇති වෙනවාද? උද්ධමනය වැඩි වෙනවද? රුපියල බාල්දු වෙනවද? පොලිය වැඩි වෙනවද? ජනතාව මේ ඇත්ත දැනගත යුතුයි.
අපේ අයවැය පරතරය බිලියන 2500ක දක්වා යනවා නම් රටට වන්නේ කුමක්ද? එහි විපාක අමුතුවෙන් කිව යුතුද? පළමුවෙන් දැන් තිබෙන සැබෑ තත්ත්වය ගැන රටට කියන්න.
මෙහෙම ප්‍රශ්න අනාගතයේ ඇතිවෙන්න පුළුවන් නම් මේවාට මුහුණ දෙන්න දන්න අය පාර්ලිමේන්තුවට එවන්නැයි මා ජනතාවට කියනවා.
අයවැයක් තියා විසර්ජන පනත ගැනවත් හරියට දන්නේ නැති අය පාර්ලිමේන්තුවට එවලා හරියනවද? ඡන්ද දෙන විට එක කාරණයක් මතක තියාගන්න. ඔබේ ගෙදර ආර්ථිකය දෙස බලා කරුණාකර ගෑස් සිලින්ඩරය ළඟින් කතිරය ගහන්න.