Colombo Today Local News

අපි පාස්කු ප්‍රහාරට අලුත් පරීක්ෂනයක් කරනවා

පාස්කු ඉරිදා බෝම්බ ප්‍රහාරය සම්බන්ධයෙන් විමර්ශනය කළ විශ්‍රාමලත් විනිසුරු ඒන්.ජේ. ද අල්විස් මහතාගේ ප්‍රධානත්වයෙන් යුත් කමිටු වාර්තාව පිළි නොගන්නා බව කැබිනට් ප‍්‍රකාශක අමාත්‍ය විජිත හේරත් මහතා පවසයි.

ඔහු පැවසුවේ එය දේශපාලන අරමුණක් මත සිදු වූවක් බවත් හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති රවී සෙනෙවිරත්න සහ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ හිටපු අධ්‍යක්ෂ ශානි අබේසේකර මහතා ජාතික ජන බලවේගයේ විශ්‍රාමික පොලිස් සංසදයට සම්බන්ධ වූ පසු ඔවුන් ඉලක්ක කරමින් පත් කල එකක් බවත්ය.

විශ්‍රාමික පොලිස් සංසදය 2024 ජුනි 09 වන දින පිහිටුවන ලද බවත්, විශ්‍රාමික පොලිස් සංසදය පිහිටුවා දින තුනකට පසුවල 2024 ජුනි 12 වන දින එම කමිටුව පත් කරන ලද බවත් ඔහු පැවසීය.

එම කමිටුව මාස තුනක් ඇතුළත එනම් සැප්තැම්බර් 15 වැනි දින ජනාධිපතිවරණයට පෙර සිය වාර්තාව ඉදිරිපත් කිරීමට සැලසුම් කර තිබූ බවත් ඇමැතිවරයා කීය.

අද රජයේ ප‍්‍රවෘත්ති දෙපාර්තමේන්තුවේ පැවති කැබිනට් මාධ්‍ය හමුවේදී ඔහු මෙම අදහස් පල කරන ලදී.

එම ප්‍රහාරය සම්බන්ධයෙන් පූර්ණ විමර්ශනයක් සිදු කර නව පරීක්ෂණයක් ආරම්භ කරන බවද ඔහු එහිදී වැඩි දුරටත් සඳහන් කලේය.

“ඉතා පැහැදිලිවම මේ පරීක්ෂණ අපක්ෂපාතිව පවත්වාගෙන ගියේ එවකට CID හිටපු රවී සෙනෙවිරත්න මහතා සහ ශානි අබේසේකර මහතා ඇතුළු කණ්ඩායම. ගෝඨාභය රාජපක්ෂ බලයට පත්වුණා පළමු දඩයම කළේ ශානි අබේසේකරව එතැනින් ඉවත් කළ එක. ඒක අපි දන්නවා. පරීක්ෂණවලට බාධා කළේ දේශපාලන අධිකාරිය. අපි එහෙම බාධා කරන්නේ නෑ. අපි පරීක්ෂණ කරගෙන යනවා. ඔය පරීක්ෂණ කරන්නේම ඔතැනින් මේක ගලවන්න. ගම්මන්පිල ප්‍රශ්න කරන එකේ වාර්තාවේ විවිධ අයගේ නම් තියෙනවා. ඒ අය ගැන ගම්මන්පිල ප්‍රශ්න කරන්නේ නෑ. ගම්මන්පිලට ඕනේ ශානි අබේසේකර සහ රවී සෙනෙවිරත්නව මෙතැනින් ඉවත් කරන්න. අපි ඒක කරන්නේ. ඒ වුවමනාවට අපි යටවෙන්නේ නෑ…

මෙම කමිටු වාර්තාවේ පැහැදිලි ඉලක්කය වෙලා තියෙන්නේ වෙන කවුරුවත් නොවෙයි රවී සෙනෙවිරත්න සහ ශානි අබේසේකර මහත්වරු ව. මීට පෙර මානව හිමිකම් උල්ලංඝනය සම්බන්ධයෙන් ශ්‍රේෂ්ඨාධිකරණයේ නඩුවක් තිබ්බා…තීන්දු දුන්නා. හිටපු ජනාධිපතිවරයා ට විරුද්ධව, නිලන්ත ජයවර්ධන ට විරුද්ධව, හිටපු පොලිස්පතිවරයාට විරුද්ධව තීන්දු දුන්නා. ඒ නඩුවේ ශානි අබේසේකර මහත්තයාගේ නම සඳහන් වෙලා තිබුණේ නෑ. ඒ නඩුවේ රවී සෙනෙවිරත්නගේ නම සඳහන් වුණා. හැබැයි නඩු තීන්දුවේ කිසිදු තැනක ශ්‍රේෂ්ඨාධිකරණයේ විනිසුරුවන් 7 දෙනෙකුගෙන් යුක්ත පූර්ණ විනිසුරු මණ්ඩලයක විභාග කළ නඩු වාර්තාවේ රවී සෙනෙවිරත්න මහත්මයා කිසිදු චෝදනාවකට වරදකරුවෙක් වුණේ නැහැ. ඒ තීන්දුවේ ඔහුගේ නමවත් සඳහන් වෙලා නෑ. ඉතින් එහෙම තියෙද්දී තමයි මේ හදිස්සියේ විශ්‍රාමික පොලිස් සාමුහිකයේ කටයුතු ආරම්භ කරපු ගමන් සාගල රත්නායක රවී සෙනෙවිරත්න ව මුණ ගැහිලා තමන්ගේ කටයුතු සඳහා සහාය දෙන්න මෙතැනින් ඉවත්වෙන්න කියලා ඉල්ලීමකුත් කරලා තියෙන තත්ත්වයක් යටතේ දැන් මේ කමිටුවක් පත්කරලා වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ.

ඒ වාර්තාවේ තවත් අය පිළිබඳව සඳහන් කරලා තියෙනවා. හිටපු පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහත්මයා පිළිබඳවත් තවත් විවිධ අයත් පිළිබඳව නිර්දේශ ඉදිරිපත් කරලා තියෙනවා. ගම්මන්පිලට ඒවා පෙන්නේ නෑ. ඒවා දකින්නේ නෑ. දැන් මේ මෙච්චර කාලයක් නිදාගෙන ඉඳලා..ඔහු ආණ්ඩුවේ අමාත්‍යධුර දැරුවා. විපක්ෂයේ හිටියා. ඒ මොකක්වත් නැතිව දැන් මේ වුවමනාව කාගේද කියලා පැහැදිලියිනෙ හරියටම ජන්ද ප්‍රචාරක කටයුතු ඉවරවෙන්නේ සැප්තැම්බර් 18, 17 තමයි මේ වාර්තාව ලබා දෙන්නේ. මේක නිකම්ම නිකම් කමිටු වාර්තාවක්.

ජනක ද සිල්වා කොමිසම් වාර්තාවේ කිසි තැනක රවී සෙනෙවිරත්න මහත්මයා ව වරදකරුවෙක් කරලා නෑ. එහෙම තියෙද්දී තමයි හිතා මතා මේ වගේ කමිටු වාර්තාවක් ඉදිරිපත් කරලා තියෙන්නේ. ඒ නිසා මේ නිර්දේශ ඒ විදියටම අපි පිළිගන්නේ නෑ. රජයක් විදියට මේ දේශපාලන වුවමනාවට පත්කරපු විෂමාචාර චෝදනාවලට ලක්වෙච්ච හිටපු මහාධිකරණ විනිසුරුවරියක් විශ්‍රාම ගියාට පස්සේ සම්බන්ධකරගෙන පත්කරපු වික්‍රමසිංහ ගේ මේ දේශපාලන පළිගැනීමේ ඉලක්ක කරගෙන පිහිටවපු මේ කමිටුව අපි පිළිගන්නේ නෑ. ඒ නිසා අපි රජයක් විදියට ඉතා වගකීමෙන් යුක්තව මේ සියලුම වාර්තාවල තියෙන කරුණු සහිතව පූර්ණ විමර්ශනයක් සහිත නව පරීක්ෂණයක් පවත්වනවා. ඒ පරීක්ෂණයෙන් අපි මේ අසාධාරණයට ලක්වෙච්ච වින්දිතයින්ට සාධාරණය ඉටු කරන්නත් මේ රටේ නීතිය ස්ථාපිත කරන්න අවශ්‍ය පියවර ගන්නත් වගකීම් සහගතව කටයුතු කරනවා…මට කියන්න කනගාටුයි මම මේවා කියන්න හිටියේ නෑ.

මේ විනිසුරුතුමිය ගැන මේවා අපි කියන්න හිටිය දේවල් නොවෙයි. නමුත් එතුමිය මේ වගේ මරාල කර ගහන්න හදනකොට තේරුම් ගන්න ඕනේ මේ අනුන්ගේ පව් කරගහන්න ගිහිල්ලා වෙන තත්ත්වය. ඉතින් මේ වගේ කමිටුවලින් දෙන වාර්තා අපිනම් කොහෙත්ම පිළිගන්නේ නෑ. ගම්මන්පිල මහත්තයා උස්සන්ගියාට අපිට කරන්න දෙයක් නෑ. අපි මේ පිළිබඳව අපක්ෂපාතී සාධාරණ පරීක්ෂණයක් කරලා කවුරුහරි නිලධාරියෙක් ඒ වගකීම් පැහැර හැරලා තියෙනවා නම් අපිට ඒකෙ තරාතිරමක් නැහැ. ඒකෙ හංගන්න දෙයක් නැහැ අනිවාර්යෙන්ම ඕනෑම පුද්ගලයෙක් රජයේ නිලධාරියෙක් හෝ වෙනත් පුද්ගලයෙක් මෙතන වැරද්දක් කරලා තියෙනවා නම් එය සාධාරණ අපක්ෂපාතී පරීක්ෂණයකින් අපි අනිවාර්යේන්ම නීතිය ක්‍රියාත්මක කරනවා. අපි ඒකට පැකිලෙන්නේ නෑ.”

Related posts

කොවිඩ් ආසාදිත උසස් පෙළ සිසුන්ට විභාග මධ්‍යස්ථාන ලෙස රෝහල් සූදානම් කෙරේ

colombotoday

අසහාය සිනමාවේදියා දැයෙන් සමුගනිද්දී සම්මානය හොරු ගනී…

colombotoday

කොරෝනා ගැන අසත්‍ය ප්‍රචාර පතුරවන පුද්ගලයින් සොයන්න CIDයෙන් කණ්ඩායම් තුනක්

colombotoday

තැපැල් සේවය අත්‍යවශ්‍ය සේවාවක් කරමින් ගැසට් නිවේදනයක්

Admin

සුමාත්‍රා දූපත ආසන්නයේ භූ චලනයක්

colombotoday

පෞද්ගලික දේවල් අදාල නෑ.. ජනපතිගේ සමනල් ප්‍රකාශයට හිටපු අගමැතිගෙන් පිළිතුරු

colombotoday