ඒ මීට වසර හතකට පෙර දිනයකි. දිනය 2009 මැයි 01 දාය.සිව්වැනි ඊළාම් යුද්ධයේ අවසන් තීරණාත්මක සටනට සියල්ල සූදානම්ය. යුද මුක්ත කලාපයට ඇතුළු වී සිටි කොටි ත්‍රස්තයන් සහ ලක්ෂ සංඛ්‍යාත සිවිල් වැසියන් පිරිසක් මිනිස් පළිහක් සේ රඳවාගත් කොටි නායකයෝ එහි රැඳී සිටියහ. ඔවුන් එහි සිට හමුදා භට පිරිස් වෙත දිගින් දිගටම ප්‍රහාර එල්ල කරමින් සර්වාර් තෝඩ්ඩම් දෙසින් හමුදාවට ඉදිරියට ඒම සම්පූර්ණයෙන්ම ආවරණය කර තිබුණේය.
2009 ජනවාරි 25 දා මුලතිව් විජයග්‍රහණය කළ 59 වන සේනාංකයට අයත් භට පිරිස් එදා පටන් යුද මුක්ත කලාපයට ඇතුළුවන වඩ්ඩුවාකල් පාලම පසුකර යාමට නොහැකිව සිරවී සිටියහ.
කොටි ත්‍රස්තයන් කලපුවට එහා ඉවුරේ අඩි 15 ක් පමණ උසට භුගත බංකර් සහිත දැවැන්ත පස්බැම්මක් ඉදිකර හමුදාවේ ඉදිරි ගමන අවහිර කර තිබිණි.
මුහුදු වෙරළ අයිනේ වූ වැලි තීරය කොටි ත්‍රස්තයන් බෝම්බ අතුරා ආවරණය කර තිබිණි. මේ අයුරින් මීටර් 1700 ක් පමණ දිගට කොටි ආරක්ෂක වළල්ල ඉදිවී තිබුණු අතර මෙම බාධක බිඳගෙන ඉදිරියට යාම අසීරු කාරණයක් විය. මෝය කට අඩි දහයේ සිට අඩි විස්ස දක්වා ගැඹුරු වූයෙන් මෝය කට තරණය කර යාමද අසීරු විය. මෙම ආරක්ෂක වළල්ල බිඳ කොටි ත්‍රස්තයන්ගේ ග්‍රහණයේ සිටි සිවිල් වැසියන් මුදා ගතහොත් මෙය අවසන් සටනේ තීරණාත්මක මෙහෙයුමක් බව යුද හමුදාව වටහාගෙන තිබුණි. මේ නිසාම හමුදා මෙහෙයුම් නවත්වන්නට ජාත්‍යන්තරයේ බලපෑම් එල්ල කරන්නට කොටින්ගේ විදෙස්ගත නායකයෝ දැඩි උත්සාහයක නිරතවූහ.
මහින්ද රාජපක්ෂ ජනාධිපතිවරයා ප්‍රමුඛ රජයට එල්ලවූ විදෙස් බලපෑම හමුවේ දණ නොනමා ඉදිරියටත් මානුෂීය මෙහෙයුම ක්‍රියාත්මක කිරීමට උපදෙස් ලැබිණ.
මෙම තීරණාත්මක සටන අවසන් කිරීමේ මෙහෙයුමේ ප්‍රධාන වගකීම බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වාට පවරන්නට යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා තීරණය කළේය.
නන්දිකඩාල් මෝය කට හරහා ඇති මුලතිව් වඩ්ඩුවාකල් හා යුද මුක්ත කලාපයට යන ප්‍රදේශ වෙන් කරන කොටි ඉදිරි ආරක්ෂක වළල්‍ලේ භාරදූර වගකීම බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වාට පවරා ඉදිරි මෙහෙයුමට සූදානම් වීමට උපදෙස් දෙන්නේ ඒ අනුවය.
යුද හමුදාපතිවරයාගේ උපදෙස් පරිදි වඩ්ඩුවාකල් බලායන බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා සටන් පවතින ඉදිරි ආරක්ෂක වළල්ලටම ගොස් නිලධාරීන් හා සෙබළුන් සමග ඉදිරි මෙහෙයුමට අවශ්‍ය තොරතුරු නිරීක්ෂණය කරගත්හ.
ඒ වනවිටත් 59 වන සේනාංකයේ භට කණ්ඩායම් බෝට්ටු මගින් ගොස් ඉදිරි ආරක්ෂක වළල්ල බිඳින මෙහෙයුමක් සඳහා පෙර පුහුණුවීම් කරමින් සිටියහ. හමුදා භටපිරිස් බෝට්ටු යොදාගෙන ඇරඹි පෙර සූදානම ගැන දැනගත් කොටි ත්‍රස්තයන් එම ප්‍රදේශයේ ආරක්ෂක වළලු තරකර කලපුව දෙසින් ඒමට නොහැකි සේ රැකවල් දැඩි කළහ. බෝට්ටු යොදාගෙන මෙහෙයුමක් කළහොත් සෙබළුන් තුවාල වීම වැඩිවිය හැකි නිසා එම අවදානම ගැනීමට වඩා මුහුද දෙසින්
ඇති වැලිපරය උපයෝගි කරගෙන මෙහෙයුමක් කළහොත් හමුදා භට පිරිස්වල මෙන්ම සිවිල් වැසියන්ගේ ජීවිතවලට එල්ලවන අවදානම අවමකරන්නටද හැකි බව බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා හමුදාපතිවරයාට පෙන්වා දුන්නේය. එම වැලිතීරයේ බෝම්බ පාත්ති මෙන් වළදමා තිබුනෙන් එම අභියෝගය භාරදූර වුවද ජීවිත හානි අවම කරගතහැකි බව ඔහු හමුදාපතිවරයාට දුරකථනයෙන් දැන්වීය.
මුහමලේ කොටි ඉදිරි ආරක්ෂක වළල්ල අවම සෙබළ ජීවිත හානියකින් බිඳගෙන එතැන් පටන් කිලෝමීටර් හැත්තෑවක් පමණ චුණ්ඩිකුලම් චලෙයි ඇතුළු බිඳ දැමිය නොහැකි වූ මෝය කටවල් බිඳ දමමින් ලැබූ ජයග්‍රහණවලට දුන් නායකත්වය නිසා බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වාට මෙම මෙහෙයුම භාර කරන්නට යුද හමුදාපතිවරයා කටයුතු කළේය.
“ප්‍රසන්න වැලිපරය හරහා යනවානම් කොච්චර දවසක් යයිද”, යුද හමුදාපතිවරයා දුරකථන ඇමතුමකින් විමසුවේය.
“සර් සතියක් වගේ කාලයක් ඇතුළත යන්න පුළුවන්” බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා කීය.
මාස පහක් පුරා එකතැන හිරවූ මෙහෙයුම සතියක් තුළ කර අවසන් කරන්නට විශ්වාසය පළකළ බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා ට ඒ අනුව එහි වගකීම භාර විය.
“ප්‍රසන්න ඔයා 59 ටේක් ඕවර් කරන්න. (59 සේනාංකයේ වැඩ භාරගන්න) අවශ්‍යනම් ඔයාගේ 55 ඩිව් එකේ ටෘෘප්ස් අරගන්න”, යැයි හමුදාපතිවරයා 02 දාම නියෝග කළේය.
55 වන සේනාංකාධිපතිව සිටි බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා සටන් පෙරමුණේ සිටි අත්දැකීම් බහුල පරිණත නිලධාරියකු ලෙසින් තම වගකීම භාරගෙන විත් මෙහෙයුමට අවශ්‍ය භට පිරිස් නොපමාව සූදානම් කළේය.
යුද බිමේ අත්දැකීම් බහුල දක්ෂ සෙන්පතියකු වූ මේ වනවිට මේජර් ජෙනරාල් නිලයේ සිටින ප්‍රසන්න ද සිල්වා මහතාගේ ජීවමාන අත්දැකීම් සමග මතකය අවදිකරන්නට අප සිතුවේ තිස්හතර වසරක හමුදා දිවියෙන් විශ්‍රාම ගැනීමට ඔහුට ඇත්තේ තවත් දින තුනක් පමණක් වන නිසාය. එදා හත්වසකට පෙර ඊළාම් යුද්ධයේ තීරණාත්මක සන්ධිස්ථානයක් කරා භට පිරිස් මෙහෙයවමින් සේනාංකාධිපතිවරයකු ලෙස නායකත්වය දුන් මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා සිව්වැනි ඊළාම් යුද්ධයේ තීරණාත්මක සටන්වලට නායකත්වය දුන් සෙන්පතියකු ලෙස සෙබළුන් අතර නමක් දිනාගත්තේය.
සිව්වැනි ඊළාම් යුද්ධයේ සටන් පෙරමුණටම ගොස් සෙබළුන් අතරේ සිට සටන් මෙහෙයවූ සේනාංකාධිපතිවරුන් දෙදෙනා ලෙස විරාජමාන වූයේ මේජර් ජෙනරාල් ජගත් චූලනාභ ඩයස් හා මෙකී මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා පමණකි.
මාවිල්ආරු සොරොව්ව වසදමා සිව්වැනි ඊළාම් යුද්ධය අරඹූ කොටි ත්‍රස්තයන්ගේ ගරිල්ලා උපක්‍රම පරයමින් භූමියට ස්වභාවයට අනුගතවෙමින් මෙහෙයුම් කර විජයග්‍රහණය අත්පත් කරදෙන්නට එවකට කර්නල් ධුරයේ සිටි ප්‍රසන්න ද සිල්වා මහතා විශේෂ බළකා බළසේනාධිපති ලෙසින් කටයුතු කළේය. විශේෂ බළකා භට පිරිස් යොදවා මාවිල්ආරු සොරොව්ව මුදාගැනීමට නායකත්වය දුන් හෙතෙම මනිරාසකුලම්, සාම්පූර්, වාකරේ දක්වා මෙහෙයුම්වලට යොදවන්නට යුද හමුදාපතිවරයා කටයුතු කළේය. මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා විශේෂ බළකාය සතු භූමියේ අත්දැකීම් සහිත දක්ෂ නිලධාරියකු වූයෙන් භටපිරිස් සාර්ථකව මෙහෙයවීය.
නැගෙනහිර මුදාගැනීමේ මෙහෙයුමෙන් පසුව වන්නි මානුෂීය මෙහෙයුම සඳහ 55 වන සේනාංකාධිපති ලෙස පත්කර යැවෙන එවකට බ්‍රිගේඩියර්වරයකු වූ ප්‍රසන්න ද සිල්වා මහතා වසර ගණනාවකට පසුව උතුරු ආරක්ෂක වළල්ල බිඳ දමන්නට භට පිරිස් මෙහෙයවන්නේ එතෙක් කාලාන්තරයක් තිස්සේ සිදුවූ සෙබළ ජීවිත හානි සියල්ලම අවම කරමිනි.
එතැන් පටන් චුණ්ඩිකුලම්, චලෙයි ඇතුළු බිඳ දැමිය නොහැකි කොටි ආරක්ෂක වළලු සහිත මෝය කටවල් බිඳලමින් ඉදිරියට ඇදෙන්නේ සෙබළුන්ගේ ජීවිත වල ආරක්ෂාව තහවුරු කරමිනි.
අවසන් සටනේ තීරණාත්මක මෙහෙයුම වූ වඩ්ඩුවාකල් පාලම ඉදිරියේ වූ කොටි ආරක්ෂක වළල්ල බිඳ දමන්නේත් එවැනි සැලසුම් යොදමිනි.
යුද හමුදාපති ලුතිනන් ජෙනරාල් සරත් ෆොන්සේකා (වත්මන් ෆීල්ඩ් මාර්ෂල්) අවශ්‍ය සියලු පහසුකම් සපයා දෙන්නට නියෝග කළේය.
ඒ අනුව විශේෂ බළකා නිලධාරියකු වූ ලුතිනන් කර්නල් සුජීව සෙනරත් යාපා යටතේ වූ 593 බළසේනාව සහායට ලබාගැණිනි. 11 වන ගැමුණු, 12 වන පාබල, 6 වන පාබළ භටපිරිස් සමග හතර වන විශේෂ බළකායද එම බළසේනාවට ඇතුළත් විය.
593 බළසේනාව සතුරු බළකොටුවට ඇතුළුවත්ම කොටි ග්‍රහණයේ සිටින සිවිල් වැසියන් හමුදා පාලන ප්‍රදේශයට ආරක්ෂිතව ගැනීම භාර කෙරෙන්නේ කර්නල් අරුණ ආරියසිංහ යටතේ වූ 592 බළසේනාවටය.
මේ වනවිටත් බ්‍රිගේඩියර් ශවේන්ද්‍ර සිල්වා යටතේ වූ 58 වන සේනාංකය යුද මුක්ත කලාපයට එක් පසකින් ඇතුළුවීම සඳහා දැඩි සටන් මැද ළඟාවෙමින් සිටියහ. එම සටන් පෙරමුණට මුහුණ දීමටද කොටින්ට අසීරු විය. ඒ අතරේ කොටි ත්‍රස්තයන් වඩ්ඩුවාකල් පාලම දෙසින් හමුදා ඉදිරි මෙහෙයුම් නවත්වන්නට මරාගෙන මැරෙන කොටි ත්‍රස්තයන් ආරක්ෂක වළලු වෙත ස්ථානගත කර තිබුණේය.
“මේ සටන ඉතාමත් තීරණාත්මක එකක්. එක පැත්තකින් අපේ සෙබළ ජීවිත රැකගන්න ඕන. අනික් පැත්තෙන් කොටින්ගේ ග්‍රහණයේ ඉන්න අහිංසක සිවිල් වැසියන් ජීවිත හානියකින් තොරව මුදා ගන්න ඕනා. ඒ වනවිට ජාත්‍යන්තර ප්‍රජාවත් අපි කරන්නේ මොකක්ද කියලා අවධානයෙන් සිටියේ. ඒ නිසා අපි සුළු අත්වැරදීමක්වත් නොවන්නට වගබලාගත්තා.
මුහුදු වෙරළ අයින දිගේ මෙහෙයුම ඉදිරියට සැලසුම් කළේත් ඒමගින් සිදුවන වෙඩි හුවමාරුවන් වලදී වෙඩිබලය මුහුද දෙසට හරවන්නට අවශ්‍ය වූ නිසයි. එසේ නොවුණනම් සිවිල් වැසියන් තුවාල වීමත් වැඩිවන්න පුළුවන් නිසා අපි එල්.ටී.ටී.ඊ. යට හිතාගත නොහැකි සැලසුමක් මෙහෙයෙව්වා,” යැයි මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා අප සමග සිය මතකය අවදිකළේය.
අපි සතුරාට හැම විටම පෙන්නුවේ කලපුව දෙසින් එන වගක්. ඊට කලින් භට පිරිස් ඒ පැත්තේ යන්න උත්සාහ කළ හොත් සතුරා වැඩි අවධානයක් යොමුකළේ එතැනටයි. අපි ඒ පැත්තේ මඟක් එනකන් භටපිරිස් ඉදිරියට ස්ථානගත කළා. කලපුව දිගේ භට පිරිස් ඔත්තු බලන්නට එන බව හඟවන්නට විශේෂ බළකා කිමිඳුම් භටයන් කොටි ආරක්ෂක වළල්ල ඉදිරියට ගොස් පා සලකුණු තබා ආවා. ඒ සියල්ලෙන් සතුරා නොමග යවන අතරේ රාත්‍රි කාලයට සතුරාට නොදැනෙන්න මුහුදු වෙරළ අයිනෙන් යුද අගල් කැපීම අරඹුවා. සේනාංකාධිපතිවරයාගේ උපදෙස් අනුව 11 වන ඉංජිනේරු බළකා භටයින් යොදවා වඩ්ඩුවාකල් මුහුද තීරය අයිනේ වූ පටු වැලි තීරයේ බෝම්බ ගලවා ඉවත් කෙරිණි. 11 වන ගැමුණු රෙජිමේන්තු භට පිරිස් වලට යුද අගල් දෙකක් කපාගෙන ඉදිරියට යාම පැවරිණි.
සිල්පර කොටන් හයසියයක් පමණ සෙබළ කරමතින් ඉදිරියට යැවිණි. සිල්පර කොටන් තුන්දහසක් පමණ හැකිතරම් දුර ගෙන ආවද මුහුදු වැල්‍ලේ ට්‍රැක්ටර් එරෙන බැවින් බැරල් තහඩු දිගහැර තහඩු මතින් ඒවා ආසන්නයටම ගෙන්වා ගැණිනි. රාත්‍රී කාලයට හොර රහසේ යුද අගල් කැපුවේ අනෙක් සටන් පෙරමුණට දරුණු ප්‍රහාර මාලාවක් එල්ල කරමිනි.
මුහුදු වෙරළ අයිනේ වැල්‍ලේ කානු කපමින් ඉදිරියට යන භටපිරිස් වලට මුහුදු රැල්ලෙන් දැඩි බලපෑම් එල්ල වන්නටද විය. රාත්‍රි කාලයේදී අමාරුවෙන් කපාගත් කානුව මුහුදු රැල්ලත් සමග වැසී යන්නටත්, වැල්ල කඩාගෙන යාමත් නිසා වැලි බිත්ති දෙපැත්තට තහඩු ගසා උඩින් සිල්පර කොටන් යෙදවීම අසීරු කාරණයක් විය. රාත්‍රී කාලයේදී දින පහක් තිස්සේ නිදි මරාගෙන ඉදිරි ආරක්ෂක වළල්‍ලේ මීටර් එකසිය පනහක් දක්වා යුද අගල් කපා ආරක්ෂිත බංකර්ද තැනූහ. විනාඩි දහයක් ඇතුළත ක්ෂණිකව බංකර් හදා අවසන් කිරීමට භටපිරිස් සූදානම් කෙරිණි.
කොටි පස්බැම්මට ආසන්නයේ තෙක් ඉදිරියට යුද අගල් කපා අවසන් අදියර දක්වා පැමිණ ඉදිරියට යාමේ ඉලක්කය හයවන පාබළ රෙජිමේන්තුවට පැවරීය.
මැයි 10 දා වනවිට යුද හමුදාපතිවරයා චීනයේ නිල සංචාරයක් සඳහා පිටව යාමට වූයෙන් ඉදිරි මෙහෙයුම් ක්‍රියාත්මක කළ යුතු ආකාරය පිළිබඳව 09 දා වන්නි ආරක්ෂක සේනා මූලස්ථානයට ගොස් උපදෙස් දුන්නේය. මැයි 12 දා බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා ඇමතූ ආරක්ෂක ලේකම් ගෝඨාභය රාජපක්ෂ මහතා ඉදිරි මෙහෙයුම ගැනත් එදින (12) රාත්‍රියේම කොටි ආරක්ෂක වළල්ල බිඳගෙන යාම පිළිබඳවත් විමසීය.
සර් තවම ලෑස්ති නැහැ. දැන්ම ගියොත් අපේ අයගේ කැෂුවල්ටි වැඩි වෙන්න (තුවාලකරුවන්) පුළුවන්” යැයි බ්‍රිගේඩියර් ප්‍රසන්න ද සිල්වා පැවසුවේය.
ප්‍රසන්න කරන්න දෙයක් නැහැ. කැෂුවල්ටි අවම කරගෙන අදම ඉක්මනට පනින්න. ආරක්ෂක ලේකම්වරයා නියෝග කළේය. එදින මෙම මෙහෙයුම නොකළා නම් ජාත්‍යන්තර බලපෑම් හමුවේ යුද්ධය අතරමග නතර කරන්නට වන තත්ත්වයක් වූයෙන් ආරක්ෂක ලේකම්වරයා එකී හදිසි තීරණය ගත්තේ දැඩි විශ්වාසයක් ඇතිවය. යුද හමුදාපතිවරයා චීනයේ සිට සේනාංකාධිපතිවරයා අමතා ඉදිරි කටයුතු සම්බන්ධව උපදෙස් දුන්නේය.
වහාම ඉංජිනේරු කණ්ඩායම් අටක් වඩ්ඩුවාකල් පාලම යළි පිළිසකර කිරීමේ මෙහෙයුමට ලෑස්ති කෙරිණි. කලපුව දෙසින් මෙහෙයුමක් කරන බව හඟවන්නට ඒ දෙසින් ක්‍රමයක් යොදමිනි. රාත්‍රී කාලයේදී කැපූ යුද අගල් මතින් උමං දෙකක් කොටින්ට නොතේරෙන්නට ඒ ආසන්නයටම ඉදිකර ගෙන තිබුණේය. බිංකුන්ඩන් මෙන් වැලි පොළව හාරා කළ බිංකුන්ඩා මෙහෙයුම අවසාන අදියරට අවේ මෙලෙසිනි.
6 වන පාබළ රෙජිමේන්තුවේ භට පිරිස් දරුණු සටන් මැද ඉදිරියට රොතු පිටින් මතුවෙමින් උමං මාර්ග ඔස්සේ පැමිණ එල්ල කළ ප්‍රහාරයෙන් කොටි බංකර් විසිපහක් පමණ අත්පත් කර ගැනිණි.
සතුරාට අනපේක්ෂිත ප්‍රහාරයක් එල්ලවූයෙන් බංකර් අතහැරියද එහි යොදවා තිබූ මරාගෙන මැරෙන කොටි මරාගෙන මැරෙන ප්‍රහාර එල්ල කළහ.
අනෙක් කොටින්ද ප්‍රහාර මාලාවක් මේ සමග එල්ල කරන්නට වූයේ මෙම සටන පරාජය වුවහොත් කොටි නායකයන් සැඟවී සිටින යුද මුක්ත කලාපයට නව ප්‍රවේශයක් සැකසෙන නිසාය. මේ නිසාම 58 වන සේනාංකයත්, 53 වන සේනාංකයත් සමග අනෙක් පසින් සටන් කළ වේලාවන් ඇතුළු කොටි නායකයන් ද සටන් පෙරමුණට කැඳවිණි. ප්‍රහාර මාලාවන් පහක් පමණ හමුදා භට පිරිස් වෙත එල්ලවූ අතර දරුණු සටන් මැද මරාගෙන මැරෙන බෝම්බකරුවන්ගේ මෙහෙයුමක්ද ක්‍රියාත්මක විය.
“දරුණු ගැටුම අතරේ කොටින්ගේ මරාගෙන මැරෙන බෝට්ටු දෙකක් ඇවිත් අපේ භට පිරිස් සිටින තැන පුපුරාගන්න උත්සාහ කළා. මරාගෙන මැරෙන බෝම්බකරුවන් අටදෙනෙක් අපේ කණ්ඩායම් මැදට බැස්සා. එතැනදී අපේ අයත් තුවාල වුණා. ඒ සියල්ල මැඬගෙන අපේ භට කණ්ඩායම් දක්ෂ ලෙස ඉලක්කය සපුරාගත්තා” යැයි, මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා සිය අත්දැකීම් ස්මරණය කරමින් පැවසීය.
මෙකී මෙහෙයුම් සමග මැයි 14 දා වනවිට සර්වාර්තෝඩ්ඩම් වඩ්ඩුවාකල් පාලම අල්ලා සිවිල් වැසියන්ට පැමිණීමට ප්‍රවේශ මාර්ග තැනුවේය. සිවිල් වැසියන්ට තුවක්කු පෙන්වා බියවද්දමින් බලෙන් රඳවාගෙන සිටින කොටි ත්‍රස්තයන් යුද හමුදාවේ ස්නයිපර්වරුන් (ඉලක්ක වෙඩික්කරුවන්) යොදවා මරා දැමීමත් සමග සිවිල් වැසියන්ට හමුදා පාලන ප්‍රදේශයට ඒමට මාර්ගය විවර විය.
එම ප්‍රවේශයත් සමග දසදහසක පමණ සිවිල් වැසියන් පිරිසක් පමණ යුද්ධය අත්හළ කොටි ත්‍රස්තයෝද 59, 58 සේනාංක වෙත පැමිණ භාර වූහ. යුද මුක්ත කලාපයේ සිවිල් වැසියන් මුදාගන්නා මෙකී මෙහෙයුම සජීවීව ගුවන් හමුදාවේ බ්‍රිච් කාෆ්‍ර්ට් යාත්‍රාව හා නියමුවන් රහිත යාත්‍රාවලින් කොළඹට ලැබිණි. එකී සජීවී දර්ශන මෙරට බටහිර තානාපති කාර්යාලවල තානාපතිවරුන් කැඳවා දැකගැනීමට රජය සැලැස්වූයේද මෙය ත්‍රස්තවාදීන්ගේ ග්‍රහණයේ සිටි අහිංසක වැසියන් මුදාගැනීමේ සැබෑ මානුෂීය මෙහෙයුමක් බවටත්, ත්‍රස්තවාදයේ ම්‍ලේච්ඡත්වය තහවුරු කරන්නටත්ය.
මේ අයුරින් මුලතිව් සිට කොටින්ගේ යුද මුක්ත කලාපය වෙත යාමට වූ ප්‍රධාන බාධකය බිඳ අවසන් සටනට නව ප්‍රවේශයක් ලබාදීමටත්, එකී සමස්ත මෙහෙයුම අවම ජීවිත හානියකින් කරන්නටත් මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා කළ මෙහෙවර අතිමහත්ය.
ඔහුගේ නොසැලෙන නායකත්වය යටතේ අභිමානයෙන් පෙරට ගිය භට පිරිස් එදා වන්නි මානුෂීය මෙහෙයුමේ ප්‍රධාන මෙහෙවරක් කර ඊළාම් යුද්ධයේ අවසන් අදියරට ගෙනයාමට සමත් වූහ.
විශේෂ බළකා නිලධාරියකු ලෙසින් ත්‍රස්තවාදීන්ට එරෙහිව සටන් පෙරමුණේත්, කොටි අඩවියේත් කුඩා කණ්ඩායම් මෙහෙයුම් කරමින් ලත් අත්දැකීම් සම්භාරයක් ගරිල්ලා ත්‍රස්තවාදී උපක්‍රම පරාජය කිරීමෙනි. පැවැති උපක්‍රමශීලී භාවයන් නිසා සටන් බිමට නව පන්නරයක් දෙන්නට මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා එදා සමත් විය. සංග්‍රාමික භූමියේ පෙන්වූ දස්කම් නිසා වැඩිම සංග්‍රාමික පදක්කම් ප්‍රමාණයක් යුද හමුදා ඉතිහාසයේ නිලධාරීන් අතළොස්ස ලබාගත්තත් අතරේ සිටින ඔහු වීර වික්‍රම විභූෂණ පදක්කම (wwv) පමණක් තෙවතාවක් හිමිකරගෙන තිබේ.
කොළඹ ආනන්ද විද්‍යාලයේ ආදි සිසුවකු වන මේජර් ජෙනරාල් ප්‍රසන්න ද සිල්වා සංග්‍රාමික ඉතිහාසයේ කීර්තිමත් සෙන්පතියකු ලෙස ඉතිහාස ගතවන්නේය.
තිස්ස රවීන්ද්‍ර පෙරේරා
[email protected]