අද අප්‍රේල් 1දාය. අනුන් රැවටීම සඳහා විවිධාකාරයෙන් විහිළු තහළු කරන මෝඩයින්ගේ දවසය. එම දිනයේ විනෝදවිම සඳහා උසස්ම ගණයේ විහිළු තහළු එක්රැස් කිරීම ලොව පුරා සිදුකෙරේ. එදින ලොව වැඩියෙන්ම විනෝදවන ජාතිය වනුයේ නෙදර්ලන්ත වාසීහුය. ශ්‍රී ලංකාවේ ‘යහපාලන’ ආණ්ඩුව මෙම දිනවල සපයන විහිළු තහළු වලින් නෙදර්ලන්තයද දැන් පරදවා ඇත්දැයි සැකයකි. සියළු වැඩ දැන් ජෝන් බාස්ට ගොස්ය. වසරකට දිනක් නොව ඉකුත් වසර පුරාම අරුම පුදුම විහිළු කිරීමෙන් ජනයා විනෝදමත් කිරීමට ඔවුහු සමත්ව සිටිති.
‘යහපාලන’ ආණ්ඩුව බලයට පත්වී අදට දින 470ක් පමණ වන අතර එම දින ගණනට ගෙතූ බොරු ගණනද ඒහා සමානය. ජනපතිවරණයෙන් 2015 ජනවාරි 8වැනිදා ජයගත් පසු වෙච්ච පොරොන්දු සහ ඇත්තටම වෙච්ච දේ රැවටිල්ලකි. සාමාජිකයින් 25කට අඩු කැබිනට් මණ්ඩලය හිතළුවකි. ප්‍රජාතන්ත්‍රවාදය සහතික කිරීම සඳහා පිහිටවූ ජාතික උපදේශක සභාව හොරා පොලිස් ගේමකි. කේවල සහ සමානුපාතික රටාවන් මිශ්‍රවූ නව මැතිවරණ ක්‍රමයක් හඳුන්වාදීමේ මුවාවෙන් රටපුරා පළාත් පාලන ආයතන 336න් 313ක් විසුරුවා හැර ජනතා පරමාධිපත්‍යය වසරකට ආසන්න කාලයක් වළලා දමමින් තිබේ. පොලිස් සහ මැතිවරණ කොමිසම් ඇතුළු ස්වාධීන කොමිසම් සභා ඇතිකලද ඉන් ලැබුණු ප්‍රතිඵල නරියා කහඹිලියා පැලය උඩ වාඩිවුනා වගේ වැඩක්ය. විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කරනවා කීවද සිදුවී ඇත්තේ එහෙන් මෙහෙන් කෑලි ටිකක් හළා මදය තබාගෙන පරණ පුරුදු පාරේම රේස් යෑමය. ජාතික ඖෂධ පනත සම්මත කිරීමෙන් නටපු නැටුමකුත් නැත. බෙරේ පළුවකුත් නැත. ඖෂධ මිලද නහුතෙට නැගලාය.
මාධ්‍ය නිදහස තහවුරු කිරීම සඳහා තොරතුරු දැන ගැනීමේ අයිතිය තහවුරු කිරීමේ පනතක් ‘යහපාලන’ ආණ්ඩුව හදුන්වා දෙන බව කිවේ 2015 පෙබරවාරි 20වැනිදාය. එය පාර්ලිමේන්තුවේ සම්මත කරගන්නවායැයි කීවේ 2015 මාර්තු 20වැනිදාය. පමාවී හෝ තොරතුරු පනත වසරකට පසු 2016 මාර්තු පාර්ලිමේන්තුවට ඉදිරිපත් කළේය. ඒ අව්ව තිබියදී පිදුරු වේලාගත යුතුය යන න්‍යායෙනි. අනේ මෙහෙම රැවටීමක්! තොරතුරු දැන ගැනීමේ පනත දැන් කල දුටු කල වල ඉහ ගැනීමකි. මාධ්‍ය නිදහසට පහරකි. හරියට ඊයේ පෙරේදා සම්මත කිරීමට වලිකෑ පසුව ශ්‍රේෂ්ඨාධිකරණයේ තීරණයෙන් පසු හමස් පෙට්ටියට ගිය භික්ෂු පනත වාගේ වැඩකි. තෙලෙන් බැද්දත් කොබෙයියා කොබෙයියාමය.
ඉදිරිපත් කරන ලද කෙටුම්පත තොරතුරු වසන් කිරිම සඳහා ගෙනෙන ලද කෙටුම්පතකි. පනත වෙනුවෙන් එදා පෙනී සිටි සාධාරණ සමාජය දැන් රඟදක්වන්නේ ගොන් කොටි කෝලමකි. පුරවැසි බලය කම් කම් බූරු සිං සිං නෝරු ප්‍රතිපත්තියේය. අලුත් පරපුර ඉන්නේ පුංචි අන්දරේ මඟුල් ගෙදර ගියා වගේය. දූෂණ විරෝධී පෙරමුණ සිදුකරනුයේ කිඹුලා ඇදගෙන යනවිට කොහිල ගහේ එල්ලීමය. ඊශ්වර දෙවියන්‍ගේ ගෙලේ බැඳි නාගයා මොණරුන්ගෙන් දුක සැප විමසනවා මෙන් ෆූටාව නොහොත් සරසවි ආචාර්ය සමිති සම්මේලනයද සුභාෂිතයේ කියන පරිදි ‘ඇසි කිම යහළු තොරතුරු’ කියා ෂේප් තියරියක පේවී සිටී. විදියේ විරෝධයද පාළුව කාන්සිය මකා ගන්නට සිව්පද කවියක් කියා පද පෙරළමින් සමයං නටති. පනත ගෙන එන්නට වසර 2ක් කෑමොර ගැසූ අය දැන් කරන්නේ පුල්ලෙයාර් ගසේ දෙවියන් වෙනුවෙන් කොල අතු එල්ලීමය. මේ සියළු සංවිධාන සහ සමාජ ක්‍රියාකාරිකයන් ලෙස පෙනී සිටින්නන් සියල්ලෝම ඉදිරියේ මහදවල් දැන් නිරාවරණය වෙමින් පවතී. අදාල ප්‍රශ්නවල ගැඹුර විසින්ම අව්‍යාජව එම ප්‍රශ්න ගැන කථාකරන නව රැල්ලක් සෑම කේෂත්‍රයකින්ම නැගී එමින් තිබීම මව්බිමේ වාසනාවකි.
තොරතුරු දැනගැනීමේ පනත වසර ගණනාවක් තිස්සේ පුරවැසි සංවිධාන සහ මාධ්‍යවේදීන්ගේ ඉල්ලීමකි. එහෙත් දැන් එය තොරතුරු සැගවීමේ පනතකි. මෙම පනත් කෙටුම්පත පරික්ෂාවට ලක්කරන විට එය ජනතාවගේ පරමාර්ථයන් බොහෝමයක් ඉටු නොවන බව පෙනී ගොස් ඇත. පළාත් සභා සියල්ලෙන්ම ව්‍යවස්ථාපිතව සම්මත කලැයි කීවද එයද විවාදාත්මකය. තොරතුරු දැනගැනිමේ අයිතිය ස්ථාපිත කිරීමෙන් බලාපොරොත්තු වන්නේ ජනතාවගේ ජීවිතවලට බලපාන තොරතුරු රාජ්‍ය ආයතනවලින් ලබාගැනීමේ අයිතිය ජනතාවට ලැබීමය. අයිතිය සහතික කරන නීති තිබූ පමණින් තොරතුරු පුරවැසියන්ට නිරාවරණය නොවේ. නව පනත් කෙටුම්පතින් එම සීමාවන් පැනවිම දැඩිකර ඇත. එමෙන්ම පරස්පරතාවයන්ද බහුලය. තොරතුරු ලබා නොදෙන්නේනම් ගතයුතු විකල්පය වෙනත් රටවල පැහැදිලි කර තිබුණද නව කෙටුම්පතේ එවැනි සාධනීය ලක්ෂණ නැත.
පනතට අනුව බැංකු කටයුතු හෝ ණය කටයුතු විධිමත් කිරීමට අදාළ තොරතුරු, බදු පැනවීම හා භාණ්‌ඩ සහ සේවාවල මිල ස්‌ථාවරව පවත්වා ගැනීම, පාලනය සහ ගැලපීම, කුලී සහ අනෙකුත් පිරිවැය හා වේතන අනුප්‍රමාණ වැටුප් සහ අනෙකුත් ආදායම් පිළිබඳ තොරතුරු ද යමෙකු ඉල්ලා සිටියහොත් ඒවා හෙළි කිරීම වරදකි. අධිකරණයට අපහාස වන තොරතුරු හෙළි කිරීම, පාර්ලිමේන්තු වරප්‍රසාද උල්ලංඝනය වන තොරතුරු හෙළි කිරීම, විභාගවලට අදාළ තොරතුරු රහසිගතව තබා ගැනීමට නියමිත අවස්‌ථාවක ඒවා හෙළි කිරීම, ජාත්‍යන්තර ගිවිසුම් හා බැඳීම් පිළිබඳ තොරතුරු හෙළි කිරීම ද වරදකි. වරදට දඬුවම වසර දෙකක සිරි දඬුවමක් හෝ රුපියල් 50,000ක් හෝ දෙකමය. පාර්ලිමේන්තු වරප්‍රසාද පනත, පුවත්පත් මණ්ඩල පනත, අපහාස නීතිය වැනි පනත් මගින් මේවා දැනටමත් ආවරණය වේ. නව පනත මගින් සිදුවන්නේ එම වරදවල් මුවහත්කර දඬුකදේ ගැසීමට පාර කැපීමකි. දූෂණ, හොර ගිවිසුම් හෙළිකිරීම වරදක් බව පනත් කෙටුම්පත කියා ඇති බැවින් දැන් ඒවා හෙළිකිරීම පිළිබදව මාධ්‍යයට ගැඹුරින් සිතා බැලීමට තල්ලු කර තිබේ.
‘යහපාලන’ ආණ්ඩුවට එකඟ නොවන අයට රාජ්‍ය ආයතන මගින් අවලාද නැගීමට දැන් මහා පරිමාණයෙන් සිදුවෙමින් පවතී. ලංකා පුත්‍ර සංවර්ධන බැංකුව මගින් පළාත් ඇමති ඩී.වී උපුල් පන්සලක ඉඩමක් ඇපයට තියා මුදලක් ලබාගෙන ඇතැයි එම බැංකුව ආණ්ඩුවේ නියෝජ්‍ය ඇමතිවරයෙකු මගින් ප්‍රසිද්ධ කළේය. පසුව එය මඩක් පමණක් බව බැංකුව කියා සිටියේය. මෙය 1988 අංක 30 දරණ බැංකු පනතේ රහස්‍යභාවය පිළිබඳ වගන්ති උල්ලංඝනය කිරිමකි. ලංකා පුත්‍ර බැංකුව වර්තමානයේ අක්‍රමිකතා රැසකි. අලුත් පනත අනුව මේවා අනාවරණය කිරීමට වැට බැදෙනු ඇත. එදා 1990 ජනවාරි 8වැනිදා සිට චෙක්පත් ගණනාවක් මගින් දෙමළ කොටින්ට මුදල්, යානවාහන දීම වැනි කරුණුද මින් පසු හෙළි නොවනු ඇත.
ජනතාවට ඉල්ලා සිටිය නොහැකි බැහැර කිරීම් රාශියක් සහිත තොරතුරු දැනගැනීමේ අයිතියෙන් වැඩක් සිදුවන්නේ නැත. නිදසුනක් ලෙස වර්තමාන පනත් කෙටුම්පතින් ජාතික ආරක්ෂාවට සම්බන්ධ, විදේශ ආණ්ඩුවලට සම්බන්ධ රාජ්‍ය ආයතන සමඟ තෙවැනි පාර්ශවයක් බෙදාගන්නා තොරතුරු වරප්‍රසාදයක් වශයෙන් ආරක්ෂාකර ගැනේ. මින් ජාතික ආරක්ෂාව වැනි කරුණකට කොන්දේසි සහිතව එකඟවිය හැකිවූවද තෙවැනි පාර්ශවයක් ලෙස ගම්‍ය කරන රාමුව යටතේ ඉන්දියාව සමඟ අත්සන් කරන එක්ටා වැනි ගිවිසුම් ගැන තොරතුරු ලබාගත නොහැක. ඒවා විදේශ වෙළඳ ගිවිසුම්වලට අවතීරණවීම යටතේ සඟවා ඇත. පනත් කෙටුම්පත උඩින් ඔපේය. යටින් හපේය. ලොව පිළිගත් ආචාරධර්ම අනුව නීතිය සහ යුක්තියට නොගැලපෙන වගන්ති නව කෙටුම්පතට ඇතුලත් කර ඇත. ආණ්ඩුවේ ආර්ථික සහ මූල්‍ය ප්‍රතිපත්ති තීරණ එහි සඳහන් පරිදි ආර්ථිකයට බරපතල හානිකරන දෑය. එය එසේ නම් ලක් ඉතිහාසයේ සිදුවූ දැවැන්ත වංචාව වූ කෝටි 4,280 මහබැංකු බැඳම්කර මගඩිය පිළිබඳව තොරතුරු ලබා ගැනීමේ මංපෙත් අහුරා ඇත. නව පනත අනුව ලිඛිත අනුමැතියක් නැතිව වෛද්‍ය වාර්තා තොරතුරු හෙළි කිරීමද වරදකි. මහින්ද රාජපක්ෂ ආණ්ඩු කාලයේ අගමැති දි.මූ ජයරත්නට විදේශගතව වෛද්‍ය ප්‍රතිකාර ලබාගැනිම සඳහා රේඛනය නොකරන ලද මුදලින් ලබාගත හැකි චෙක්පතක් යටතේ මහාභාරකාර අරමුදලින් රුපියල් ලක්ෂ 220ක් ලබාදී ඇති බව ‘යහපාලන’ ඇත්තෝ එදා පෙන්වා දුන්හ. නව පනත අනුව සිංගප්පූරුවේ ප්‍රතිකාර ගත් දේශපාලනඥයින්ට වැයවූ මුදල් ගැන නෝ කථාය. නරියෝ හූවෙන් හඳුනාගත හැකියි කියන්නේ මේවාටය.
තොරතුරු දැනගැනීමේ පනත මේ ආකාරයට සම්මත වුවහොත් පත්තර වැඩක් නැත. ආණ්ඩුවේ ගැසට් එක බැලුවාම ඇතිය. එසේත් නොමැතිනම් යළි මුද්‍රණයෙන් නිකුත්වී ඇති මාරක කථා චක්‍රවර්තී ඩීමන් ආනන්දගේ ත්‍රාසජනක පොත් බැලුවාද කම් නැත. පනතේ නම තොරතුරු දැන ගැනීමේ පනත වුවද එහි අරමුණ දැනටමත් දැනගැනීමට හැකි තොරතුරු අහිමි කිරීමය. ජනතාවට තොරතුරු දැනගැනීමට තිබූ අයිතියද මෙම පනත හරහා අහිමි කිරීමට උත්සාහ ගනිමින් සිටී. පුරවැසියන් දැනුවත්වීම සඳහා නිදහසේ තොරතුරු ඔවුනට ලබාගැනීමේ හිමිකම නව පනත මගින් අහිමි නොකල යුතුය. ජනතාවට අවශ්‍ය තොරතුරු මගින් දැනුම නොලැබෙන්නේනම් සංවාද සහ විසංවාද සිදුවන්නේ පැරණි ක්‍රමයටය. නව පනත් කෙටුම්පත ‘යහපාලන’ ආණ්ඩුව මගින් කන්දක් විළිලා කෙන්දක් වැදුවා වාගේ වැඩකි.
ඉකුත්දා පාර්ලිමේන්තුවට ඉදිරිපත් කල තොරතුරු දැනගැනීමේ අයිතිය පිළිබද පනත ගැන කිසිදු දැනුවත් කිරීමක් නැත. එදා සතිපතා වාගේ මාධ්‍ය නිදහස වෙනුවෙන් ප්‍රවෘත්ති නිවේදන නිකුත් කල නිදහස් මාධ්‍ය ව්‍යාපාරයද මාධ්‍ය නිදහසට එරෙහි ඉකුත් වසර තුළ තර්ජනයන් ගණනාවක් පිළිබඳව මුනිවත රකිමින් සිටින්නේ දීකිරට බළලුත් සාක්කි කීවා සේය. වර්තමානයේ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයෙන් නිකුත් වන ප්‍රවෘත්ති නිවේදනයක් පවා දක්නට ලැබෙන්නේ හාවා හඳ දකිනවා ගේය. ‘යහපාලන’ ආණ්ඩුව 2015 ජනවාරි 8 බලයට පත්වූ නිදහස් මාධ්‍ය ව්‍යාපාරයේ කැඳවුම්කරු ජනාධිපති නියෝජ්‍ය අධ්‍යක්ෂක(මාධ්‍ය) තනතුරට යෑමෙන්ද මාධ්‍ය නිදහස සඳහාවු ක්‍රියාකාරි කමිටුවේ කැඳවුම්කරු ආණ්ඩුවේ ලේක්හවුස්හි ලොකු තනතුරකට පත්වීමද එයට හේතුවක් වන්නට ඇත. එදා මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි නිදහස් මාධ්‍ය ව්‍යාපාරයට අද ආණ්ඩු සරණං ගච්ඡාමිය.
වර්තමානයේ ආණ්ඩුවේ අකටයුතුකම් ගැන හෙළි කරන මාධ්‍යවේදීන් සම්බන්ධයෙන් ආණ්ඩුව අනුගමනය කරනුයේ ප්‍රජාතන්ත්‍ර විරෝධී ක්‍රමයකි. ඒ අනුව ඇතැම් මාධ්‍යවේදීන් ගෙම්බන්ය. තවකෙකු ඊරි යකෙකි. මෙම විවේචන සංවර්ධනාත්මක විවේචන බවට පත්කරගත යුතුය. ධම්මපදයේ සඳහන් පරිදි දියාළුවෝ තමන් කැමැති තැනට ජලය ගෙන යනු ඇත. හී වඩුවෝ තමන් කැමති පරිදි ලී දඬු නමනු ඇත. වඩුවෝ තමන්ට අවැසි පරිදි ලී නමනු ඇත. එය එසේ සිදුවුවහොත් ප්‍රජාතන්ත්‍රවාදයේ මූලික අංගයක් වන මාධ්‍ය නිදහස වල පල්ලටය. ඇතැම් මාධ්‍ය භාවිතා තුළද ඇත්තේ ජනතාවගේ ප්‍රමුඛ අවශ්‍යතාවයන් පිළිබඳව සැලකිලිමත් නොවන ඔවුන්ගේම න්‍යාය පත්‍රයක් යටතේ ක්‍රියාත්මකවන අධිපති මාධ්‍ය භාවිතයකි. මාධ්‍ය හැසිරිම එලෙසයැයි පවසමින් ඩෑෂ් ප්‍රහාර එල්ල කිරිමට ආණ්ඩුවට අයිතියක් නැත. නිදහස් මාධ්‍ය සංස්කෘතියක් ඇති කිරීමටනම් ඒ සඳහා අවශ්‍ය පරිසරය නිර්මාණ කිරීම ආණ්ඩුවේ ප්‍රමුඛ වගකීමකි.
මාධ්‍යවේදීන් දුසිම් දෙකක් පමණ ඉකුත් පාලන කාලයේදී දේශපාලන රැකවරණය පතා විදේශගත විය. වර්තමානයේ ‘යහපාලන’ ආණ්ඩුවක් පවතින බව ඔවුන්ම පිළිගන්නා හෙයින්ද මාධ්‍ය නිදහස දිනා ගැනීමේ සටන පවතින්නේ රට අභ්‍යන්තරය වන බැවින්ද සටන ඇරඹිය යුත්තේ ලංකාවේ පොලවේ පය ගසා බව වමේ හඬ කර්තෘ ධර්මසිරි ලංකාපේලි ඉකුත්දා අවධාරණයකර තිබිණි. ඔහු වැඩිදුරටත් පවසන පරිදි විදේශ ගතවූ මාධ්‍යවේදීන්ගේ ඇත්ත පැටිගිරිය දන්නේ ඔවුන්මය. මාධ්‍ය නිදහස සඳහා පියවර තැබීමට අවශ්‍යනම් ප්‍රථමයෙන් රාජ්‍ය මාධ්‍ය රාජ්‍ය මැදිහත්වීමෙන් නිදහස් කල යුතුය. අවශ්‍යනම් ඒ සඳහා 1994 ආර්.කේ. ඩබ්ලිව්. ගුණසේකර හා සිදත් ශ්‍රී නන්දලෝචන කමිටු මගින් ඉදිරිපත් කෙරුණු මාධ්‍ය ප්‍රතිසංස්කරණ යෝජනා වර්තමානයට ගැලපෙන පරිදි සංශෝධනය කරගත හැකිය.
ඩොලරය 150කි. පොලිස් හූරෝ වන්නියලැත්තන්ගේ උත්සව පොජ්ජට මන්දු කොරලා කැකුළන්ට බැටන් පොජ්ජෙං පත බාලාය. බෝම්බ බිය යළි හිස ඔසවමින් පවතී. පෙරටුගාමි සමාජවාදී පක්ෂයේ කුමාර් ගුණරත්නම්ට වසරක සිර දඬුවමක් සමඟ රුපියල් 50,000ක දඬ මුදලකි. යාපනයට කෝච්චියේ යන්නට ආරාධිත මාධ්‍යවේදීන්ට ආසන වෙන්කරවා ගැනීමට නොහැකිව ජනමාධ්‍ය ඇමතිවරයා සහ නියෝජ්‍ය ඇමතිවරයා අසීරුතාවයට පත්කල ජනමාධ්‍ය අමාත්‍යාංශයට දිව බොජුන් තිබියදී නිවුඩු සහලේ බත් කන්නට අවැසි නැත. පෝර්ට් සිටියට වන්දිද ගෙවා දැන් ගජරාමෙට වැඩය. රුසියාවට වඩා ඊරිසියාව ලොකුය.
ශබ්දකෝෂයටද දැන් අලුත් අර්ථකථන ලැබෙන අපූරු යුගයකි. මාධ්‍ය නිදහස කප්පාදු කරන තොරතුරු පනතට කියන්නේ ජයග්‍රහණයක් කියාය. නිවටකමට කියන්නේ වීරකම කියාය. පාවාදීමද ආඩම්බරයකි. මංතීරු කඩාදමා රජයේ දේපල විනාශකිරීම හපන්කමකි. සියළු වැඩ එසේ ජොන් බාස්ලාට ගියාමෙන් තොරතුරු දැන ගැනීමේ පනත් කෙටුම්පතද මෙසේ අයාලේ යාම එක් අතකින් පුදුම විය යුතු නොවේ. එපා වාහෙට හොඳි බෙදන්නා සේ මේවා කරන්නේ තම බලය රැකගැනීමට එක මල්ලේ ලුණු කන අය එකට සෙට්වෙලාය. මාධ්‍ය නිදහස වෙනුවෙන් පෙනී සිටි සැමට කිවයුත්තේ නුඹ නාඩං, නුඹ නාඩං, නුඹට ඕවා හොඳ පාඩම් කියාය.
-ධර්මන් වික‍්‍රමරත්න-