සුප්‍රකට ෆිච් රේටින්ග්ස් ගෝලීය මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් ශ්‍රී ලංකාවේ දේශීය හා විදේශීය ණය ගෙවීමේ හැකියාව BB- සිට B+ දක්වා පහත හෙළා ඇත. එමෙන් ම එකී අගයන් stable (ස්ථාවර) සිට Negative (ඍණ) ලෙස පහළ දැමීමට ද ආයතනය කටයුතු කර තිබේ. අපි නිති පෙන්වා දුන් පරිදි, වත්මන් රජය රටේ ආර්ථික ස්ථාවරත්වය ඉහළ නැංවීමට තබා තිබූ අයුරින් පවත්වා ගෙන යාමට ද අසමත් වි ඇති බව මේ අනුව තහවුරු වේ.
ඍණ තත්වයන් ඇති වීමට හේතු සාධක වූ ප්‍රධාන කරුණු කීපයක් ම ලෝක මූල්‍ය පර්යේෂණ ආයතනය විසින් දක්වා ඇත. එහි පළමුවැන්න වන ප්‍රතිමූල්‍යකරණ අවදානම සඳහා විශේෂයෙන් බලපා ඇත්තේ ආර්ථික ප්‍රතිපත්ති පිළිබඳ වියවුල්සහගත තත්වයයි. පසුගිය කාලයේ ජාතික ආර්ථික දැක්ම පිළිබඳ කිසිවෙකුට නිශ්චිත ප්‍රතිපත්තියක් හෝ දැක්මක් නොතිබූ බව මෙහි අර්ථයයි.
දෙවැනි කරුණ නම්, ලංකාව විසින් නොයෙක් කාලවල ගත් ණය 2016 වසරේ දී කල්පීරීම ය. සාමාන්‍යයෙන් එය ප්‍රශ්නයක් නොවේ. එහෙත් එය ප්‍රශ්නයක් වන්නේ දැන් වන ලෙස ආයෝජකයින් රටින් බැහැර වන පසුබිමක ය. ෆිච් පවසන ලෙස 2015 වසරේ දී පමණක් විදෙස් ආයෝජකයින් ඩො.බිලියන 2කට වඩා සිය ආයෝජන විකුණා දමා ගොස් ඇත. මෙවන් තත්වයක, විශ්ලේෂක ආයතනයට අනුව මේ වසරේ ගෙවීමට ඇති ණය ප්‍රමාණය ඩොලර් බිලියන 4ක් වුව ද අපගේ වත්මන් විදෙස් සංචිතය වන්නේ ඩොලර් බි. 6.3ක් පමණි. ණය ගෙවූ පසු අපට ඉතිරි වන්නේ ඩොලර් බිලියන 2.3ක් වැනි සොච්චමකි. එය දෙමසකුත් තව අඩකට පමණක් සෑහේ. කෙසේ වෙතත්, රජයේ මූල්‍ය කළමනාකරන දුබලතා යම් පමණකට හෝ අද තත්වයෙන් දරා සිටින්නේ ලෝක වෙළඳපොලේ අඩු බොරතෙල් මිළ විසින් පමණි.
මේ අතර, 2014 අග දී දළ දේශීය නිෂ්පාදනයට සාපේක්‍ෂ ව සියයට 71 ක් වූ ජාතික ණය බර 2015 අග වන විට සියයට 75කට වඩා වැඩි වී තිබේ. තව ද, 2014 වසරේ දී වූ සියයට 42 සිට, 2015 වසරේ දී සියයට 46 දක්වා රටේ විදෙස් ණය බර ද වැඩි වීම අවධාරිත ය. එසේ වැඩිවීම රුපියලේ අගය පහත යෑමට විශේෂයෙන් බලපා ඇති බව ආයතනය පෙන්වා දෙයි.
ඉහත ආර්ථික තත්වයන් නිසා ක්‍ෂණික ව මතුවන ගැටළු නම් ඉතිරි ආයෝජකයින් ද රටින් බැහැර වන වට පිටාවක නව ආයෝජකයින් රටට නොපැමිණීම ය. මෙවන් තත්වයක දී අනිවාර්යෙන් ම අන්තර් ජාතික මූල්‍ය අරමුදලින් ණය ගත යුතු වන අතර එහි දී සුබදාධන කප්පාදුව හා පඩි වැඩි නොකිරීම හා රැකියා නොදීම වැනි කටුක කොන්දේසිවලට මුහුණ දීමට සිදුවනු නියත ය. මේ අතර, මූල්‍ය අරමුද මග හැර වෙනත් ආයතනවලින් ණය ඉල්ලා සිටිය හොත් එහි දී ගෙවීමට ඇති පොළි අනුපාතය ඉතා අධික වීමට නියමිත ය. මේ සියල්ලෙහි අර්ථය ලෙස මෙරට දුරදිග නොබලන පුරවැසියාට අප කියා සිටින්නේ දේශපාලනය හා ආර්ථිකය යනු දෙකක් නොව එකක් බව ය.
– මහින්ද පතිරණ