2009 වසරේදී ප්‍රභාකරන්ගේ මිනීමරු ත්‍රස්තවාදී කණ්ඩායම ශ්‍රී ලංකා හමුදාවන් විසින් පරාජය කරනු ලැබීම මුළු රටම සතුටු කළ ඓතිහාසික සිද්ධියක් වුවද ඒ සතුට වැඩි කලක් බුක්ති විඳින්නට ශ්‍රී ලාංකිකයන්ට හැකි වූයේ නැත. ඒ ජිනීවාහි එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලය තුළ ශ්‍රී ලංකාවේ හමුදාවන් යුද අපරාධ කළ බවට දිගින් දිගටම චෝදනා එල්ල වන්නට පටන් ගත් බැවිනි. මේ චෝදනා එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් කවුන්සිලයට බටහිර රටවලින් වසරක් පාසා ඉදිරිපත් කරනු ලබන ලංකාවට එරෙහි යෝජනාවලීන් ලෙස ක්‍රමයෙන් උත්සන්න වී අවසානයේදී 2015දී එවකට අලුතින් බලයට පත්වී සිටි යහපාලන ආණ්ඩුව විසින්ද සම අනුග්‍රාහකත්වය දුන් ජිනීවා 30/1 යෝජනාව දක්වා වර්ධනය විය.
මේ යුද අපරාධ චෝදනා අතර නිතර අසන්නට ලැබුණු චෝදනාවක් වූයේ යුද්ධයට සම්බන්ධ නොවූ සිවිල් වැසියන් 40,000ක් යුද්ධය නිසා මිය ගියා කියන කරුණය. නමුත් යුද්ධය පිළිබඳ නිසි අවධානයෙන් සිටි එවකට ලංකාව තුළ සිටි ඇමෙරිකානු තානාපතිවරයා පවා ඔහුගේ වාර්තාවල ලියා තිබුණේ යුද්ධයෙන් මියගිය සිවිල් වැසියන් ප්‍රමාණය 2500-3500 අතර විය හැකි බවයි. තවත් බොහෝ ලිපි ලේඛනවලිනුත් සනාථ වන්නේ මීට ආසන්න ගණනක් මිස 40,000ක් වැනි විශාල සංඛ්‍යාවක් නොවේ.
නමුත් බාහිර ලෝකය විශ්වාස කළේ එල්.ටී.ටී.ඊ. හිතවාදී බටහිර නාළිකාවල හා එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයට අදාළ වාර්තාවල නිතර සඳහන් වූ මේ 40,000ක් කියනා සාවද්‍ය අංකයයි. මෙහි මූලාශ්‍රය කුමක්ද කියා බොහෝ අය දැන සිටියේ නැත. සමහරු හිතුවේ මේ සංඛ්‍යාව මුලින්ම සඳහන් කළේ එංගලන්තයේ චැනල් 4 නාළිකාව කියායි.
මේ මහා බොරුව ඇත්තෙන්ම බටහිර රටවලට ගියේ කෙසේද කියා හෙළි වුණේ මේ මැතකදී ‘විකීලීක්ස්’ (එඪඬඪතඥචඬඵ) නමැති ලොව පුරා රහස් වාර්තා සොයා හෙළිකරන වෙබ් අඩවිය මඟින් පළ කළ ලිපියක් තුළිනි. මෙම ලිපිය බටහිර තානාපති කාර්යාලවලට පණිවුඩයක් යවා තිබුණේ යුද්ධය අවසන් කාලයේ විපක්‍ෂයේ නායකයාව සිටි රනිල් වික්‍රමසිංහ මහතා විසිනුයි. එම ලිපියේ අරමුණ වූයේ 2009දී යුද්ධය අවසන්වීම වැළැක්වීමට බටහිර රටවල් පටලවා ගැනීමයි. යුද්ධය තවදුරටත් පැවතුණහොත් 40,000ක් පමණ සිවිල් වැසියන් මිය යන්නට ඉඩ තිබෙනවා කියා එහි සඳහන්ව තිබිණි.
පසු කලෙක ජිනීවාහි අප රටට පාරාවළල්ලක් වුණේ රනිල් වික්‍රමසිංහ මහතාගේ මේ බොරුවය.
අද ලංකාවේ විශාල ව්‍යවස්ථා අර්බුදයක් තිබෙන බව ලෝකයට කියන්නේද උතුරේ එදා යුද්ධයෙන් 40,000 සිවිල් වැසියෝ මැරුණා කියා ලෝකයට කී රනිල් වික්‍රමසිංහ මහත්මයාම බව තේරුම් ගත්තොත් වර්තමානයේ වන්නේ මොකද්ද කියලා තේරුම් ගැනීමට අපහසු නැත. කෙසේ වෙතත් එතුමා මේ කතාව කියන්නේ ව්‍යවස්ථාවේ ඉංගී්‍රසි පිටපත පෙන්නමින් නිසා එය කියවන විට විදේශ මාධ්‍යයද මේ ගැන නොසෑහෙන්න සංවේදී වී ඇත.
නමුත් මෙහි සත්‍ය කතාව කුමක්ද?
ව්‍යවස්ථාව යනු ලංකාවේ රටේ නීතිය සම්බන්ධව තිබෙන උත්තරීතරම ලියවිල්ලයි. ඒ ගැන ගැටලුවක් ආ විට අර්ථ නිරූපණය කරන්න බලය ඇත්තේ රටේ ශේ්‍රෂ්ඨාධිකරණයට පමණි. එබැවින් බලයෙන් ගෙයක් අල්ලාගෙන ඉන්න කුලී නිවැසියෙක් මෙන් අරලියගහ මන්දිරයට වී මහජන දේපළ අවභාවිත නොකර පහසුවෙන්ම ශේ්‍රෂ්ඨාධිකරණයට ගොස් ඔක්තෝබර් 26දා ජනාධිපති සිරිසේන තමුන්ව අගමැති පදවියෙන් ඉවත් කොට නව අගමැතිවරයෙක් පත්කළ හැටි ව්‍යවස්ථා විරෝධීද කියා අසන්නට රනිල් වික්‍රමසිංහ මහතාට හා ඔහු වෙනුවෙන් පෙනී සිටින අයට පහසුවෙන්ම පුළුවන්කම තිබුණද ඔවුහු එය නොකළහ. ඔවුන් උසාවි ගියේ ජනාධිපතිවරයා පාර්ලිමේන්තුව විසුරුවාහල පසු එයට එරෙහිවය.
ඔවුන් නඟමින් සිටි සමහරක් තර්කවලට පිළිතුරු සෙවීමට රටේ සාමාන්‍ය පුරවැසියකුට වුණත් අපේ රටේ ව්‍යවස්ථාව කියවා බැලිය හැකියි. කියවිය යුත්තේ 19 ව්‍යවස්ථාව වන සංශෝධනයට අනුමත වූවාට පසු පළවූ සංශෝදිත ව්‍යවස්ථා පිටපතයි. එය කියා යම් කරුණු කිහිපයක් වටහා ගන්නට සාමාන්‍ය බුද්ධිය ඇති අයකුට අපහසු නැත. නමුත් පාඨකයාට අවශ්‍ය නම් අපක්‍ෂපාත නීති විශාරදයන් කිහිප දෙනකුගෙන් අසා බැලිය හැකිය. කවුරු මොනවා කීවත් අවසානයේ යම් පාඨයක් පිළිබඳ ගැටලුවක් ඇති වූ විට එය අර්ථ නිරූපණය කිරීමට නීත්‍යනුකූල බලයක් තිබෙන්නේ ශේ්‍රෂ්ඨාධිකරණයට පමණය.
ව්‍යවස්ථාවේ 23 (1) වන වගන්තියට අනුව ලංකාවේ නීති සහ අනුනීති පැනවීම නැතහොත් සෑදීම කළ යුත්තේ සිංහල හා දෙමළ භාෂාවලින් පමණි. ඉංගී්‍රසි බසින් කරන්නේ ඒ සාදන ලද නීති පරිවර්තනය කිරීම පමණි.
එසේ වුවත් ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් බල පැවැත්විය යුත්තේ කවර පාඨයද යන්න පාර්ලිමේන්තුව විසින්ම යම් නීතියක් පනවන අවස්ථාවේදී තීරණය කළ යුතුය.
මේ අනුව අප විමසා බැලිය යුත්තේ මේ පිළිබඳව 19 ව්‍යවස්ථා සංශෝධනයේ කුමක්ද සඳහන් වේද කියාය.
19 ව්‍යවස්ථා සංශෝධනයේ 48 වැනි කොටසේ ඉතා පැහැදිලිව කියා ඇත්තේ ඒ ඒ භාෂාවෙන් වූ පාඨ අතර යම් අනනුකූලතාවක් ඇති වුවහොත් බල පැවැත්විය යුත්තේ සිංහල භාෂාවෙන් වූ පාඨය බවය.
එසේ නම් 19 වැනි සංශෝධනය සම්බන්ධව කතා කරන විට රනිල් වික්‍රමසිංහ මහතා ලෝකයට පෙන්වන ඉංගී්‍රසි පිටපත සාකච්ඡාවටවත් ගත යුතු නැත. එය පරිවර්තනයක් පමණි.
රනිල් වික්‍රමසිංහ මහත්මයා තමුන් අගමැතිකමෙන් අයින් කරන්න නොහැකි යැයි කියන්නේ 19 වැනි ව්‍යවස්ථා සංශෝධනය හරහා තමුන් විසින්ම කපටි ලෙස ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවට රිංගවා ගත් 46 (2) වගන්තිය නිසායි. එහි කියන්නේ කුමක්ද අපි විමසා බලමු.
46 (2) අග්‍රාමාත්‍යවරයා (අ) ස්වකීය අස්සන යටතේ ජනාධිපතිවරයා වෙත යවන ලිපියක් මඟින් ස්වකීය ධුරයෙන් ඉල්ලා අස්වුවහොත් හෝ, (ආ) තවදුරටත් පාර්ලිමේන්තුවේ මන්ත්‍රිවරයෙක් නොවුණහොත් හෝ මිස ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාවේ විධිවිධාන යටතේ යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක් කල් ස්වකීය ධුරය දරන්නේය.
මෙහි වැදගත්ම කොටසක් වන්නේ ‘යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක්කල් ස්වකීය ධුරය දරන්නේය’ යන කොටසයි.
19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් ලංකා පාර්ලිමේන්තුවේ අමාත්‍ය මණ්ඩලය 30කට සීමා කරනු ලැබිණි. 30කට වඩා විශාල අමාත්‍ය මණ්ඩලයක් සිටිය හැක්කේ පාර්ලිමේන්තුවේ වැඩිම ඡන්ද ගත්ත පක්‍ෂය තවත් පක්‍ෂයක් හෝ කිහිපයක් සමඟ එකතුවී ගිවිසුම් ගතවී ජාතික ආණ්ඩුවක් පිහිටුවූවොත් පමණි. එයට අදාළ විධිවිධාන ඇත්තේ ව්‍යවස්ථාවේ 46 (4) වගන්තියේයි.
46 (4)ට අනුව ජාතික ආණ්ඩුවක් පිහිටුවන අවස්ථාවේ අමාත්‍ය මණ්ඩලයේ සාමාජිකයන් සංඛ්‍යාව පාර්ලිමේන්තුව විසින් තීරණය කළ යුතුය.
2018 ඔක්තෝබර් 26දා එක්සත් ජනතා නිදහස් සන්ධානය හා එක්සත් ජාතික පක්‍ෂය එක්ව පිහිටුවා තිබුණු 30කට වඩා වැඩි ඇමැතිවරු ප්‍රමාණයක් සිටි ජාතික ආණ්ඩුව බිඳ වැටිණි. ඒ එක්සත් ජනතා නිදහස් සන්ධානය ජාතික ආණ්ඩුවෙන් ඉල්ලා අස්වූ බැවිනි.
ඒ සමඟම ජාතික ආණ්ඩුවේ අමාත්‍ය මණ්ඩලය අහෝසි විය.
එසේ නම් 46 (2)හි ඇති ‘අග්‍රාමාත්‍යවරයා යම්තාක් කල් අමාත්‍ය මණ්ඩලය පවතින්නේද ඒ තාක්කල් ස්වකීය ධුරය දරන්නේය’ යන කොන්දේසිය අනුව රනිල් වික්‍රමසිංහ මහතා තවදුරටත් අග්‍රාමාත්‍ය නොවිණි. අලුත් අගමැතිවරයකු තෝරා පත් කිරීමට ජනාධිපතිවරයාට හැකි වූයේ ඒ අනුවය.
ඒ අනුව මෙහි කිසිම ව්‍යවස්ථා කුමන්ත්‍රණයක් තිබුණේ නැත. තිබෙන බලය අතහැරීමට රනිල් වික්‍රමසිංහ මහතා තුළ වූ දැඩි අකැමැත්ත පමණි.
වික්‍රමසිංහ මහතා දිගින් දිගටම ව්‍යවස්ථාවේ ඉංගී්‍රසි පිටපත විදේශ තානාපති කාර්යාලවලට, විදේශ මාධ්‍යවලට පෙන්නූ නිසා නිතර සාකච්ඡාවට ලක්වූ 48 (1) වගන්තියද යමකුට විමසා බැලිය හැකිය. අමාත්‍ය මණ්ඩලය විසිරෙන ක්‍රමවේදයක් ගැන එහි කියවේ.
එහි ඉංගී්‍රසි පිටපතේ ඇත්තේ අග්‍රාමාත්‍යවරයා මරණයට පත් වුණොත් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකට අමාත්‍ය මණ්ඩලය විසිරීමක් ගැනය. ඒ නිසා රනිල් හිතවාදීන්ගේ තර්කය වූයේ ඔහු මියගොස් හෝ ඉල්ලා අස්වී නැති නිසා ඔහුව ධුරයෙන් අයින් කරන්නට කාටවත් නොහැකිය යන්නය.
නමුත් සිංහල පිටපතේ ‘මරණය’ වෙනුවට ඇත්තේ ‘ධුරයෙන් ඉවත් කරන ලද විට’ කියායි.
සිංහල පිටපතේ 48 (1) කියන ආකාරයට ධුරයෙන් ඉවත් කරනු ලැබීමෙන් හෝ ඉල්ලා අස්වීමෙන් හෝ අන්‍යාකාරයකට අග්‍රාමාත්‍යවරයා ධුරය දැරීම නතර වූ විට අමාත්‍ය මණ්ඩලය විසිරේ.
මේ වගන්තියද 19 වැනි ව්‍යවස්ථා සංශෝධනයෙන් හඳුන්වා දුන්නකි. ඉංගී්‍රසියෙන් කුමන්ත්‍රණය කළාට නීතිය සාදා තිබුණේ සිංහලෙනි. ඒ අනුව පිළිගනු ලබන්නේ සිංහල භාෂාවයි.
සිංහල පිටපතේ තියෙන ‘ධුරයෙන් ඉවත් කරනු ලැබීම’ වෙනුවට ඉංගී්‍රසි පරිවර්තනයේ ඇත්තේ ‘මරණයට පත්වීම’ කියායි.
මෙය අගමැති කමින් ඉවත් කරනු ලැබීම මරණයට සමාන දුකක් යැයි සිතා එදා ඉංගී්‍රසි පරිවර්තකයා විසින් කරන ලද විහිළුවක්ද කියා සොයා බැලිය යුතුය.
ආචාර්ය නාලක ගොඩහේවා