ArticlesColombo Today Local News

ශ්‍රේෂ්ඨ පණුවා, නිකං පෑඩ් හා සජිත්ගේ ශ්‍රී මොළය !

2012 ජනාධිපතිවරණයේ දී බැරක් ඔබාමාට අපූරු ප්‍රතිවාදියකු මුණගැසුණේ ය. කලක් ඩිමොක්‍රැටික් සාමාජිකයකුව සිටි එකී අපූරු ප්‍රතිවාදියා ඉන්පසුව රිපබ්ලිකන් මතවාදියකු ද විය. මොහු තමන්ව හඳුන්වාගත්තේ ‘ශ්‍රේෂ්ඨ පණුවා’ යන නමිනි. ඒ ඇමෙරිකාවේ අනෙකුත් සියලු දේශපාලකයන් ‘නිකන්ම නිකන් පණුවන්’ වන බව කියමිනි.

මෙකී ‘ශ්‍රේෂ්ඨ පණුවා’ 2012 ජනාධිපතිවරණයේ ‘අපූර්වතම’ අපේක්ෂකයා වූයේ, ඔහු තමන්ව හඳුන්වාගත් ආකාරය නිසා හෝ විශාල පරිමාණයේ ‘බූට් එකක්’ හිස පැලඳගෙන සිටීම නිසා ම නොවේ. ඒ ඔහු ‘ජනාධිපති වීමෙන් පසුව කරන්නේ යැයි කියූ දේවල්’ නිසා ය. විටෙක ඔහු කීවේ, තමන් ජනාධිපති වූවායින් පසුව සෑම පවුලකට ම ‘පෝනියෙකු’ බැගින් නොමිලේ ලබා දෙන බව ය. එමෙන් ම අධික ලෙස රෝගාතුර වූවන්ට ‘කැනඩා සංචාරයක්’ වෙනුවෙන් ‘ටිකට්පත බැගින්’ නොමිලේ ලබා දෙන බවය. මේ අතර මොහුගේ තවත් ‘පොරොන්දුවකින්’ කියැවුණේ, තමන් ජනාධිපති වුවහොත්, ‘සියලුම ඇමෙරිකානුවන්ට නොමිලේ දත් බෙහෙත් දෙන බව’ ය

2019 අපේ (ශ්‍රී ලංකා) ජනාධිපතිවරණය සඳහා ද එවැනි ‘ශ්‍රේෂ්ඨ පණුවෙකු’ ඉදිරිපත් වී සිටින බව දැන් දැන් මුළු රට ම දනී. ඒ අන් කිසිවෙකුත් නොව, ‘සජිත් ප්‍රේමදාස’ ය.

තමන් ජනාධිපති බවට පත්වූවායින් පසුව, පාන්දර හතරේ සිට රාත්‍රී දොළහ තෙක් වැඩ කරන බව, ජනාධිපති කාර්යයාලය විසි හතර පැයේ ම විවෘතව තබන බව, සෑම රණවිරුවකුගේ ම දෙපතුල ළඟට යන බව, රටවැසියන් සතුටින් සිටීද යන්න පරීක්ෂා කර බැලීමට තමන් ම රෑට රෑට නිවෙස් වෙත එබිකම් කරන බව, අවශ්‍ය තැනට පවුල් සෞඛ්‍ය සේවිකාව යොමු කිරීම වෙනුවෙන් ‘බොත්තම් ඔබන’ බව, පාසල් ළමුන්ට නිල ඇඳුම සහ දිවා ආහාරය නොමිලේ දෙන බව ‘ශ්‍රී මුඛයෙන්’ දෙසා වදාරණ ‘සජිත් ප්‍රේමදාස’ දුන් ‘අලුත්ම පොරොන්දුව’ අන් සියලු පොරොන්දු අබිබවා ගියේ යැයි කිව හැකි ය. එනම් ‘සනීපාරක්ෂක තුවා‘ නොමිලේ ලබාදෙන බව ය.

ප්‍රගතිශීලී කාන්තාවන්, පිරිමින් පවා එය ‘ඉහළින් අගයනු’ දක්නට ලැබුණු නමුත් පැති ගණනාවකින් එය සජිත්ගේ පොරොන්දු ලැයිස්තුවේ එන ඉතාම පටු සහ නරකම පොරොන්දුව විය හැකි ය.

එක් අතකින්, එය ‘කුසගින්නේ සිටින අයෙකුට මාළුවෙකු දීම වෙනුවට මාළුවෙකු අල්ලාගන්නා ආකාරය ඔහුට උගන්වන්න…’ යන ඓතිහාසික ආප්තය බිඳ දමයි. ඒ අර්ථයෙන් ගත් කල දශක ගණනාවක් තිස්සේ ශ්‍රී ලාංකීය කාන්තාව විසින් ප්‍රවර්ධනය කරමින් සිටින ‘කාන්තාවන් සවිබල ගැන්වීමේ’ ව්‍යායාමයන්ට සජිත් අතින් වැදී ඇත්තේ දැවැන්ත ‘කුළුගෙඩි’ පහරකි. මන්ද රටක් හැටියට අප මෙතෙක් කටයුතු කළේ, කාන්තාවන්ගේ ආර්ථික හැකියාවන්, සමාජ සහ දේශපාලන හැකියාවන් ඉහළ නංවන ආකාරයන් ගැන ය.

දිළිඳුකම පිටුදැකීමේ සමෘද්ධි සංවර්ධන වැඩසටහන්, දිවිනැඟුම වැඩසටන් මෙන්ම එන්ටප්‍රයිස් ශ්‍රී ලංකා වැනි රාජ්‍ය අංශයේ ව්‍යාපෘති මෙන් ම රාජ්‍ය නොවන අංශයේ විවිධ ව්‍යාපෘතිත් පෙනී සිටියේ ඒ වෙනුවෙනි. විශේෂයෙන් ම තිරසර වශයෙන් කාන්තාවන්ගේ දුගී බව තුරන් කිරීම කෙරෙහි ය. ඒ ඔස්සේ රටක් හැටියට අප කාන්තාවන් අතර අති දක්ෂ ව්‍යවසායකයන්, ස්වයං රැකියා ලාභිනීන් බිහි කළ අතර සජිත්ගේ ‘නිකං පෑඩ් පොරොන්දුව’ යළි ඔවුන්ව ‘හිඟමනට ඇදගෙන යාමට’ සමාන ය.
කෙසේවෙතත්, ඇතැම් අභිමානවත් සහ ප්‍රගතිශීලී කාන්තාවන් ‘මුහුණු පොත’මෙම පොරොන්දුව විවේචනය කරමින්, ‘‘තමන්ට හිඟන්නන්ට මෙන් සලකන්නට එපා…!, ආණ්ඩුවෙන් පෑඩ් ගැනීමට අපේ කාන්තාවන් පෝලිං වල රස්තියාදු කරවන්න එපා…!’’ වැනි සටහන් තබනු දක්නට ලැබුණු අතර තවදුරටත් ‘යැපීම් මානසිකත්වයේ ලගින’ කාන්තාවන් එය අගය කරනු දක්නට ලැබුණි.

සජිත් පවසන ආකාරයට ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගෙන් සාතිශය බහුතරය (70%ක් පමණ) ඔසප් දිනවල ‘සනීපාරක්ෂක තුවා’ අඳින්නේ නැති බව විශ්වාස කළ නොහැකි තරමේ දත්තයක් බව ද කියැවුණි. මේ අතර ඔසප් දිනවල ‘රෙදි කඩක් නවා ඇඳීම’ සෞඛ්‍ය ආරක්ෂිත නොවන ක්‍රමවේදයක් බවත්, එය ගැබ්ගෙල පිළිකා ආදී රෝග තත්ත්වයන්ට හේතුවක් වන බවත් කියැවිණි.
එහෙත් රජයේ වෛද්‍ය නිලධාරීන්ගේ සංගමයේ ලේකම්වරයා ලෙස කටයුතු කරන ප්‍රසව හා නාරිවේද විශේෂඥ හරිත අලුත්ගේ මහතා පවසන්නේ, ‘පෑඩ් සහ ගැබ් ගෙල පිළිකා අතර කිසිදු සම්බන්ධයක් නොමැති බව’ ය.

‘‘ගැබ්ගෙල පිළිකාවට හේතු වන වෛරසයක් තියෙනවා… ඒ තමයි HPV (human papilloma virus) කියන වෛරසය… නමුත් මේක පෑඩ් එකකින් එන්නෙ නෑ… ඒ වෛරස් එක එන්නෙ ලිංගික සම්ප්‍රේෂණයකින් පමණයි… ඒ නිසා ගැබ්ගෙල පිළිකා සහ පෑඩ් අතර සම්බන්ධයක් තිබෙන බව කීම අතාර්කිකයි… නමුත් කාන්තාවන්ගේ සනීපාරක්ෂාව පැත්තෙන් කියනව නම්, ඔසප් කාලයට පිරිසිදු සනීපාරක්ෂක තුවායක් ඇඳීම වැදගත්… මොකද වෙනත් ආසාදන විය හැකි නිසා… මේ සනීපාරක්ෂක තුවාය එක්කෝ වෙළෙඳපොළෙන් මිලදීගන්නත් පුළුවන්… නැත්නම් සෝදා අව්වේ වේලාගත් පිරිසිදු රෙදිකඩක් වෙන්නත් පුළුවන්…’’
ඒ අනුව ඔසප් කාලයට ‘රෙදිකඩක්’ ඇඳීමෙන් ඇතිවන ‘ආසාදන අවදානම’ සාමාන්‍ය යට ඇඳුමකින් පවා ඇතිවිය හැකි ‘පොදු අවදානමක්’ මිස අමුතු මාරාන්තික අවදානමක්’ නොවන බව පැහැදිලිය. ඒ අනුව ඔසප් කාලයට ‘රෙදි කඩක්’ අඳින්නේ නම්, ඒවා ද අනෙක් යට ඇඳුම් මෙන් ම සෝදා අව්වේ වේලා ගැනීම ප්‍රමාණවත්ය. මන්ද අව්වේ ඇති ‘පාර ජම්බුල කිරණ’ මගින් ස්වාභාවිකව විෂබීජ හරණය වන නිසා ය. මේ අතර මෙම ‘රෙදිකඩ’ ප්‍රසිද්ධියේ අව්වේ වනා වේලීම නොකරන ‘ඇතැම් ගම්බද සිරිත්’ පිළිබඳව තිබෙන විවේචන නම් සාධාරණ ය.

මෙවැනි තාර්කික මනසකින් ‘මේ ප්‍රශ්නය’ දෙස නොබලන අයට අමතකව ඇති දෙයක් ඇත. ඒ දශක දෙක තුනකට පෙර ලංකාවේ මෙන් ම ලෝකයේ බොහෝ රටවලද කාන්තාවන් ඔසප් දිනවලට ‘පිරිසිදු රෙදිකඩක්’ ඇන්ද බව ය.
මේ සම්බන්ධයෙන් අදහස් දක්වන රත්නපුර ප්‍රදේශයේ පවුල් සෞඛ්‍ය සේවිකාවක වන එම්. මල්ලිකා බණ්ඩාර මහත්මිය පවසන්නේ මෙසේය.
‘‘සමහර විට ඇතැම් සින්තටික් පෑඩ් වර්ගවලට වඩා පිරිසිදු කපු රෙදිකඩක් හොඳ වෙන්නත් පුළුවන්… සමහර අම්මලා පුංචි දරුවන්ට කපු රෙදි නැප්කින් අන්දවනවා… නමුත් සමහර අම්මලා පැම්පස් අන්දනවා… ඒ වගේ තමයි… සමහර කාන්තාවන් සැනිටරි පෑඩ්ස් අඳිනවා… කලාතුරකින් කෙනෙක් ‘රෙදි කඩක්’ අඳිනවා… අපි ඒ අයට කොයිම වෙලාවකවත් කඩෙන් ගන්න පෑඩ් එකක් ම අඳින්න කියන්නෙ නෑ… පිරිසිදු රෙදි කඩක් ඇන්දත් ඇති… එහෙම නැත්නම් අපි රෝහල්ගත වෙන ගර්භණී මව්වරුන්ට දෙනවා ජීවානුහරණය කරපු කපු පුළුන් ගෝස්වලින් දවටලා හදපු පෑඩ් එකක්… ඒ වගේ එකක් ඕනම කාන්තාවකට ගෙදරදිම හදාගන්න පුළුවන්… ඇත්තටම වෙන්න ඕනි එකම දේ, ඒක පිරිසිදුව තියන එක…’’ මේ අතර ඔසප් දිනවල ‘රෙදි කඩක් ඇඳීම’ විවේචනය කරන සජිත්ට සහ සජිත්වාදීන්ට ‘පෑඩ් සම්බන්ධ ලෝක ප්‍රවණතාවන්’ ගැන ද අවබෝධයක් නැති බව ද පැහැදිලිය.

ඇත්තවශයෙන් ම ‘පෑඩ් පිළිබඳ’ වර්තමාන ලෝක ප්‍රවණතාව වන්නේ, ‘නැවත පාවිච්චි කළ හැකි’ මට්ටමට රෙදිවලින් සකසන ‘reusable menstrual pad’ හඳුන්වාදීම ය. මෙය ප්‍රවණතාවක් බවට පත්වන්නේ, ‘වරක් පාවිච්චි කර ඉවත් කරන’ සනීපාරක්ෂක තුවා නිසා සිදුවන ‘පෑඩ්මය පරිසර දූෂණය’ට ‘pad pollution’ එරෙහිව ය. මේ සම්බන්ධයෙන් උනන්දුවක් දක්වන ‘හරිත මිතුරන්’ පවසන්නේ, කාන්තාවක් සිය ජීවිත කාලය තුළ ‘පෑඩ්’ 7200 ක් පමණ පාවිච්චි කරන බවත්, ඒ අනුව ඔවුන් මිහිතලය මත ‘පෑඩ් කඳු ගසමින් සිටින බව’ ය. එහිදී ‘හරිත මිතුරන්’ මීට වසර කිහිපයකට ඉහතදී ඔසප් කාලයට රෙදිකඩක් ඇඳීමේ ‘සාම්ප්‍රදායික ක්‍රමවේදය’ දියුණු කරමින්, කාන්තාවන් ‘රෙදි කඩකින් මනාව නිමවන ලද පෑඩ්’ භාවිතයට මාරු වියයුතු බවට ‘මතවාදීමය ප්‍රචාරණයක්’ දියත් කරමින් සිටී. ‘හරිත ස්ත්‍රීවාදීන්’ ද ඊට අනුග්‍රහය දක්වමින් සිටින අතර, ඔවුන්ද කාන්තාවන් දිරිගන්වමින් සිටින්නේ, ඔසප් කාලයට නැවත පාවිච්චි කරන පෑඩ්, කාබනික පෑඩ් නැත්නම් ගැබ් ගෙල තුළින් ඇතුළට ඔබන ‘කපු වලින් තැනූ ටැම්පොන්’ අඳින ලෙස ය. එසේත් නැත්නම්, ඔසප් රුධිරය එක් රැස් කර ඉවත් කළ හැකි ‘කුඩා කෝප්පයක්’ පලඳින ලෙස ය.

මේ අතර ප්‍රජා සෞඛ්‍යය අපේ තරමට දියුණු නොවන තුන්වැනි ලෝකයේ ඇතැම් රටවල කාන්තාවන් ඔසප් දිනවලදී තවදුරටත් ‘පිදුරු හෝ වෙනත් තෘණ වර්ග’ කඩදාසි වලින් ආවරණය කර ඇඳීම මෙන් ම ‘බැම්බූ කෙඳි හෝ වියළාගත් කෙසෙල් පට්ටා’ අඹරාගෙන ඇඳීම සිදු කරනු ලබන අතර ‘අනාරක්ෂිත ඔසප් ඇඟලුම්’ වශයෙන් සාමාන්‍යයෙන් හඳුන්වන්නේ ඒවා ය. ඒ අනුව ‘ආර්ථව දුගී බව’ (menseus poverty) යටතේ සාකච්ඡාවට ගැනෙන්නේ ද මෙවැනි වර්ගයේ ‘ක්‍රම’ සම්බන්ධයෙනි. මන්ද ඒවා අතිශයින්ම අවදානම්කාරී සහ ඉතාම නොදියුණු ගෝත්‍රික ක්‍රම වන නිසා ය.

මේ අතර ඉන්දියාවේ ග්‍රාමීය පාසල්වල බාලිකාවන් මෙන් ම ඉන්දීය ගැමි කාන්තාවන් ද ‘ඔසප් දිනවල’ කිසිදු විශේෂ ඇඳුමක් අඳින්නේ නැති අතර එහෙයින් පාසල් යන බාලිකාවන් සෑම මසකට ම දින තුනක් පමණ පාසල් නොයාම සහ වැඩිහිටි කාන්තාවන් ‘ගෙට වැදී සිටීම’ නිරීක්ෂණය කළ හැක. මේ ආකාරයට ඔසප් කාලයට කිසිදු ආකාරයක විශේෂ ඇඟලුමක් නොඅඳින මෙකී ඉන්දියානු ගැමි කාන්තාවන් පොදු බස්රථවල, දුම්රියවල යාම නිසා ඒවායෙහි ආසන අපවිත්‍ර වීමද සාමාන්‍ය පොදු තත්ත්වයක් වී ඇත.

මේ ආකාරයට ඉන්දියාවේ ‘ඔසප් සනීපාරක්ෂාව’ තබා ‘වැසිකිළි සනීපාරක්ෂාව’ ද හරි හැටියකට නැත. ජනාධිපතිවරණ අපේක්ෂකයකු වූ නරේන්ද්‍ර මෝදිගේ ‘වැසිකිළි පොරොන්දුව’ ට ඉන්දියාවේදී ඉහළ අගයක් ලැබුණේ එනිසා ය. එහෙත් ප්‍රජා සහ ප්‍රජනන සෞඛ්‍ය අතින් ද, සනීපාරක්ෂාව අතින් ද ශ්‍රී ලංකාව සිටින්නේ ඉන්දියාවට සාපේක්ෂව ගව් ගණනාවක් ඉදිරියෙනි. එහෙයින් ශ්‍රී ලංකාවේ කාන්තාවන්ගේ ඔසප් වීම අරබයා ඉන්දියාවේ මෙන් දැඩි සමාජ-සෞඛ්‍ය අර්බුදකාරීත්වයක් උද්ගත වී ඇති බවට කිසිදු ආකාරයක ‘සමාජ-මානව විද්‍යාත්මක’ හැදෑරීමකින් තහවුරු වී නොමැත. මේ අර්ථයෙන් ගත් කල, සජිත් වැන්නෙකුගේ ‘නිකං පෑඩ් පොරොන්දුව’ ඉන්දියාවේ මහ මැතිවරණයකට හෝ ජනාධිපතිවරණයකට මිස ශ්‍රී ලංකාවට නම් කොහෙත්ම ගළපාගත හැකි නොවනු ඇත. මේ අනුව ‘නිකං පෑඩ් පොරොන්දුව’ සම්බන්ධයෙන් සාකච්ඡාවට බඳුන් කළ යුත්තේ ශ්‍රී ලංකාවේ ‘ඔසප් දුගීබව’ ගැන නොව, ‘සජිත්ගේ දැක්මේ දුගීබව’ ගැනය.

මෙහිදී මීට වසර කිහිපයකට ඉහතදී රාජ්‍ය ප්‍රතිපත්තියක් වශයෙන්, පාසල් සිසුවියන්ට ‘නොමිලේ පෑඩ් දීම’ ට පටන් ගත් ‘ස්කොට්ලන්ත වැඩපිළිවෙළ’ සම්බන්ධයෙන් ද අවධානය යොමු කිරීම වැදගත්ය. එහිදී ඔවුන් එසේ කළේ රට තුළ නිෂ්පාදනය කරන ‘පරිපූර්ණ වශයෙන් දේශීය පෑඩ් කර්මාන්තයක්’ ද නගා සිටුවමිනි. එහෙත් එවැනි කිසිදු වැඩපිළිවෙළක් නැති සජිත් ජනාධිපති වුවහොත්, ඔහුට සිදුවන්නේ අමුද්‍රව්‍ය හෝ කෙළින්ම නිමි භාණ්ඩ පිටරටින් ගෙන්වා මාසිකව පෑඩ් කට්ටලය බැගින් කාන්තාවන් අතරේ නොමිලේ බෙදාහැරීමටය.

ඒ අනුව තමන්ගේ ‘ශ්‍රී මුඛයට ආ පලියට’ හෝ ‘කවුරුන් විසින් හෝ ශ්‍රී මුඛයට දුන් පලියට’ ජනාධිපතිවරණ පොරොන්දුවක් වශයෙන් ඔහු විසින් ප්‍රකාශයට පත්කළ මෙකී ‘නිකං පෑඩ් පොරොන්දුව’ ක්‍රියාවට නැංවීම නම් ‘කියන තරම්’ ලේසි පහසු නොවනු ඇත. මන්ද මාසයක් පාසා ඔසප්වීමට ලක්වන ශ්‍රී ලාංකීය කාන්තා ජනගහනය ආසන්න වශයෙන් ‘හැට පන් ලක්ෂය’ක් පමණ වන නිසාත්, එම කාන්තාවන් සඳහා මාසයකට වතාවක් සනීපාරක්ෂක තුවා කට්ටලයක් නොමිලේ ලබාදීමේදී ඒ වෙනුවෙන් ආණ්ඩුවට රුපියල් කෝටි 2000 ක පමණ වැය බරක් දරන්නට සිදුවන නිසාත් ය. එමෙන්ම එහිදී ‘නිකං පෑඩ් දී’ තවත් දේවල්වලට පණවන ‘බදු වලින්’ එම වියදම ප්‍රතිපූරණය කරගැනීමට ද සිදුවිය හැකි ය.

මේ අතර ‘බොත්තමක් ඔබා පෑඩ් එකක් ගැනීමේ සැලසුමක්’ සජිත්ගේ ‘ශ්‍රී මොළයේ’ ඇඳී නැත්නම්, ඒ වෙනුවෙන් වූ රාජකාරී යන්ත්‍රණයක් ද ‘අමුතුවෙන්’ ක්‍රියාවට නැංවීමට සිදුවනු ඇත.

මේ ආකාරයට ශ්‍රී ලංකාවේ පවතින වත්මන් ‘පෑඩ් අර්බුදය’ සම්බන්ධයෙන් නිවැරදි සහ පුළුල් දැකීමක් තිබුණි නම් සජිත් විසින් කළ යුතුව තිබුණේ ‘නිකං පෑඩ් දීමට’ යාම නොව, ස්කොට්ලන්තයේ මෙන් ශ්‍රී ලංකාවේ ද ‘පෑඩ් සෑදීම සඳහා’ රජයේ කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීම ය. ඇත්තෙන්ම කාන්තාවන් ‘65 ලක්ෂයකට නිකං පෑඩ් දීම’ සඳහා මාසයකට වැය වන මුදල, ‘දේශීය වශයෙන් අඩු මිල පෑඩ්’ නිෂ්පාදනය සඳහා වන කර්මාන්ත ශාලාවක් ආරම්භ කිරීමට ප්‍රමාණවත් වනු ඇත. එමෙන්ම එවැනි කර්මාන්තයක් ක්‍රියාවට නැංවුවහොත්, කාන්තාවන් දහස් ගණනකට රැකියා දීමටද හැකි වනු ඇත.

මෙහි පළමු පියවරක් ලෙස සජිත් විසින් කළ යුතුව තිබුණේ, පෑඩ්වලට යොදන ‘රසායනික බහුඅවයවය’ (polymer) ලංකාවේ නිෂ්පාදනය කිරීම සම්බන්ධයෙන් අපේ රටේ පර්යේෂකයන් උනන්දු කළ යුතුය. එසේත් නැත්නම් තමන්ගේ ප්‍රයෝජනයට තමන් විසින්ම ‘පෑඩ් නිපදවාගනිමින්’ සිටින වැලිකඩ බන්ධනාගාරගත කාන්තාවන්ගේ වැනි සරල තාක්ෂණ ක්‍රම දියුණු කළ යුතුය. මේ සියල්ලට ම වඩා වටින්නේ, ‘නැවත පාවිච්චි කළ හැකි පරිසර හිතකාමී පෑඩ් වර්ගයක්’ ජනගත කිරීම සඳහා වෙහෙසෙන කාන්තා ක්‍රියාකාරිනී නීතීඥ රදිකා ගුණරත්න වැනි අයගේ ‘නෙළුම්යාය’ වැනි සමාජ සත්කාරක ව්‍යාපෘතිවලට රාජ්‍ය අනුග්‍රහය ලබාදීමය.

කෙසේ වෙතත්, ‘පෑඩ් එකේ’ සිට ‘නිවසක්’ දක්වා සියල්ල නොමිලේ ලබාදෙන්නට ‘ප්‍රතිපත්ති සකස් කරන’ සජිත්ගේ ‘ශ්‍රී මොළයට’ එබඳු ‘තාර්කික කල්පනාවල්’ පහළ නොවීම ගැන ජාතියක් වශයෙන් අප කනගාටු විය යුතු ය.

මේ අතර පසුගිය දිනවල සජිත් ප්‍රේමදාසව ‘පෑඩ් මෑන්’ට අන්දවමින් ‘මුහුණු පොතේ’ ගෙන ගිය ධනාත්මක මෙන් ම සෘනාත්මක ප්‍රචාරණ දෙකම ඉන්දියානු ජාතික අරුනාචලම් මුරුගනාතන් නමැති ‘නියම පෑඩ් මෑන්’ ට කරන බලවත් අපහාසයක් වන බව ද කිව යුතුය. මන්ද ඔහු සජිත් ප්‍රේමදාස මෙන්, පෑඩ් නැති ඉන්දියානු කාන්තාවට ‘නිකං පෑඩ් දීම’ ආණ්ඩුව මත පැටවූයේ නැති නිසා ය. එමෙන් ම ‘පෑඩ් සෑදීමේ’ දැවැන්ත ‘සමාජ ව්‍යවසායකයෙකු’ වෙමින් ඒ ඔස්සේ ග්‍රාමීය කාන්තාවන් බොහෝ දෙනෙකුට රැකියාද ලබා දුන් නිසා ය.

එහෙයින් ඔහු ඇමෙරිකානුවන්ට ‘නිකං දත්බෙහෙත්, පෝනියන් සහ කැනඩාවට ටිකට්’ දෙන්නට පොරොන්දු දුන් ‘supreme vermin’ හෙවත් ‘ශ්‍රේෂ්ඨ පණුවා’ ට ඇන්දවීම සුදුසු බව යෝජනා කළ හැකිය. ඒ ඔහුගේ ‘නිකං දෙන පොරොන්දු’ පිළිවෙළ නිසාය.

– සුරේඛා සමරසේන

Related posts

“2020 ජනාධිපතිවරණයට තරග කිරීමට මාත් සූදානම්” – ෆොන්සේකා

colombotoday

මහ බැංකුවට ඇතුලු වෙන්න ගිය 10කට ඇප

Admin

රුපියල ඓතිහාසික වාර්තාවක් තබයි…

colombotoday

ජපන් යුද නෞකා දෙකක් කොළඹ වරායට සේන්දු වෙයි

colombotoday

දකුණෙත් වාහන ආදායම් බලපත්‍ර නිකුත් කිරීම අත්හිටුවයි

Admin

ජොනී ඇතුළු තුනකට අධි චෝදනා භාර දෙයි

colombotoday