Colombo Today Local News

පාස්කු ප්‍රහාරය වලක්වා නොගැනීම: හිටපු ජනපති මෛත්‍රී සහ හිටපු අගමැති රනිලුත් උසාවි ගේන්න දින නියම කෙරේ

පාස්කු ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිව ගොනුකර ඇති මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

පාස්කු ඉරුදින සිදුවූ මරාගෙන මැරෙන ප්‍රහාරය වැළැක්වීමට කටයුතු නොකිරීම සම්බන්ධයෙන් වගඋත්තරකාර පාර්ශ්ව කිහිපයකට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණය හමුවේ මූලික අයිතිවාසිකම් පෙත්සම් 12 ක් ගොනුකර තිබෙනවා. එම පෙත්සම් සැප්තැම්බර් මස 2,  3 හා 4 යන දිනවලදී විභාගයට ගැනීමට ශ්‍රේෂ්ඨාධිකරණය දින නියම කළා.

හිටපු පොලිස්පති පූජිත් ජයසුන්දර,  හිටපු ආරක්ෂක ලේකම් හේමසිරි ප්‍රනාන්දු,  හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් ඇතුළු පාර්ශ්ව කිහිපයකට එරෙහිවයි මෙම පෙත්සම් ගොනුකර ඇත්තේ. වගඋත්තරකරුවන් ලෙස නම්කර ඇති හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන හා හිටපු අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ යන මහත්වරුන් වෙනුවෙන් නීතිපතිවරයා පෙනී නොසිටින බව මීට පෙර ශ්‍රේෂ්ඨාධිකරණයට දැනුම්දී තිබුණා. මෛත්‍රීපාල සිරිසේන මහතා වෙනුවෙන් අද (12) දින පෙනීසිටි ජනාධිපති නීතීඥ ෆයිසර් මුස්තාපා මහතා ප්‍රකාශ කළේ ඇතැම් පෙත්සම්වලට අදාළව තම සේවා දායකයාට මෙතෙක් නොතීසි ලැබී නොමැති බවයි. ඒ අනුව එම පෙත්සම්වලට අදාළ නොතීසි වගඋත්තරකරුවන්ට ලබන 22 වනදාට පෙර යැවීමට කටයුතු කරන ලෙස ශ්‍රේෂ්ඨාධිකරණය නියෝග කළා.

පෙත්සම්වලට එරෙහි විරෝධතා ජුනි මස 16 වනදා වනවිට ගොනුකරන ලෙසත් ප්‍රතිවිරෝධතා ජුලි 16 වනදා ගොනුකරනු ලෙසත් අදාළ පාර්ශ්ව වෙත නියෝග කෙරුණා.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ 12(1) වගන්තියේ සදහන් මූලික අයිතිවාසිකම් බැලූ බැල්මට උල්ලංඝනය වී ඇති බව ශ්‍රේෂ්ඨාධිකරණය මීට පෙර තීරණය කර තිබුණා. මෙම පෙත්සම් අද (12) දින කැදවනු ලැබුවේ බුවනෙක අලුවිහාරේ,  එස් තුරෙයිරාජා සහ ගාමිණි අමරසේකර යන ත්‍රිපුද්ගල විනිසුරු මඩුල්ල හමුවෙයි.

Related posts

“අපිට මැතිවරණ කොමිසම වටලන්න ඉඩ තියන්න එපා”

Admin

මාධ්‍යවේදීන් කියාගත් බඩජාරීන් පිරිසක් ජනපති කොමිෂන් වාර්තාව කණපිට හරවයි…

colombotoday

කොරෝනා වෛරසය සෑහෙන දුරකට පාලනය කර අවසන් – වසංගත විද්‍යා ඒකකය

colombotoday

යුක්‍රේන සංචාරකයින් පිරිසක් සීගිරියට ගිහින්.

colombotoday

පොලිස් නිලධාරීන්ගේ සතිය වඩන්න අලුත් වැඩක්

Admin

මලාපවහන ගාස්තු ඉහළට

Admin