” දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලදී. බෝධීන් වහන්සේ රැගත් නෞකාව නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීම එම පළමු බෝධි පූජාවයි.”
ශ්‍රී බුද්ධ වර්ෂ 236 දී සංඝමිත්තා මහරහත් තෙරණිය ප්‍රමුඛ භික්ෂුණීන් වහන්සේ එකොළොස් නමක් ජයශ්‍රී මහා බෝධීන් වහන්සේගේ දක්ෂිණ ශාඛාව ද සමඟ දඹදිව සිට ලක්දිවට වැඩමවූයේ උඳුවප් පුර පසළොස්වක පොහොය දිනෙක ය. දඹදිව ධර්මාශෝක අධිරාජයාගේ අනුග්‍රහය හා අනුබලය ඇතිව ලක්දිව දෙවනපෑතිස් රජුගේ ඉල්ලීමක් අනුව මෙම උතුම් බෝධි ශාඛාව අප වෙත ලැබුණු බව වංස කථාවල සඳහන් වෙයි.
ලක්දිව දඹකොළ පටුනට පළමුවෙන් ම වැඩමකර වූ බෝධි ශාඛාව එහි සිට අනුරාධපුර මහමෙවුනා උයනට වැඩමවීම හා එහි රෝපණය කිරීම නිමිති කරගෙන ලක්දිව එතෙක් නොවූ විරූ අන්දමේ අසිරිමත් උත්සවයක් පවත්වා ඇත. මහාවංසයේ හා බෝධිවංසයේ දැක්වෙන පරිදි ඉතා දැකුම්කළුව සකස් කළ රථයක් මත තැන්පත් කළ බෝධීන් වහන්සේ වැඩම වූ පුද පෙරහර නාගදීපයෙහිත්, තිවක්ක නමැති බමුණා ගේ ගමෙහිත්,පුද සත්කාර’ සඳහා නතරකොට තබා තිබේ. නගරයේ උතුරු දොරටුවෙන් අනුරාධපුර අගනුවරට වැඩම කරවූ පුද පෙරහර, මහමෙවුනා උයනට පිවිස එහි සකස් කළ උස් භූමියෙහි බෝධි රෝපණය සිදු කෙරිණි.
මෙම බෝධි රෝපණ මහෝත්සවය සඳහා කතරගම ක්ෂත්‍රිය රජ දරුවෝ ද, සඳුන්ගම රජ දරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද සහභාගි වූ බව මහාවංසයෙහි දැක්වෙයි. මේ අනුව ශ්‍රී මහා බෝධි රෝපණ මහෝත්සවය ලංකාවේ සියලුම ප්‍රභූ ජනයා ගේ සහභාගිත්වයෙන් ජාතික උත්සවයක් ලෙස සිදු වූ බව මෙම වාර්තාවලින් තහවුරු වෙයි. මෙය බුදුදහම ලංකාවට හඳුන්වාදීමෙන් පසුව සිදු කළ විශාලම උත්සවය විය හැකි ය. සිංහල බෝධිවංසයෙහි දැක්වෙන පරිදි සතියක් පුරාම පැවැති මෙම උත්සවයේදී නගරවාසීන් නටමින් , ගී කියමින්, බෙර වයමින් අපමණ සොම්නසට පත්ව තිබේ. ඒ බැව් එහි මෙසේ දැක්වෙයි.
නුවරවාසී සත්ත්වයන් නටමින්, ගී කියමින් බෙර වයමින්, ගන්ධර්වය කෙරෙමින් එළුසන් ඔල්වර හඬ ගසින් අත් පොළසන් දෙමින් දහස් ගණන් පිළි ඉස් මුදුනෙහි නටවමින් ස්තුති ඝෝෂා පවත්වමින් සිටිය දී නුවර මධ්‍යයෙන් මඟුල් මහ වීථියෙන් ගෙන ඇරැ දකුණු දොරින් පිටත් කොටැ මහමෙවුනා උයනට පමුණුවා…….
දේවානම්පියතිස්ස රජු විසින් ලක්දිව පළමු බෝධි පූජාව පවත්වන ලදී. බෝධීන් වහන්සේ රැගත් නෞකාව නැංගුරම් ලෑමටත් ප්‍රථම කරවටක් දියට බැස පෙර ගමන්කොට තුන්වරක් ශ්‍රී ලංකා රාජ්‍යය බෝධියට පූජා කිරීම එම පළමු බෝධි පූජාවයි. අනතුරුව මිහිඳු මහරහතන් වහන්සේ ද, සංඝමිත්තා රහත් තෙරණිය ද, රෝහණ ජනපදයෙහි කතරගම හා සඳුන්ගම ක්ෂත්‍රිය රජදරුවෝ ද, තිවක්ක බ්‍රාහ්මණයා ද පිළිවෙලින් පූජා පැවැත් වූ හ යි, සිංහල බෝධිවංසයෙහි දැක්වෙයි. ශ්‍රී මහා බෝධි රෝපණයෙන් පසු එදා මෙදා තුර ඒ හා සම්බන්ධ විවිධාකාර වූ පුද පූජා හා උත්සව සිදු කෙරිණි.
දුටුගැමුණු රජු විශාල වියදමක් දරා මහා බෝධි පූජාවක් සිදුකළ බව මහාවංසයේ 28 වන පරිච්ඡේදයේ සඳහන් වෙයි. භාතිකාභය රජු ඉතා සිත්ගන්නා සුලු බෝධි පූජාවක් සිදු කොට තිබේ. මෙම පූජාව සඳහා මහාවංසයෙහි යොදා තිබෙන්නේ බෝධි සිනාන පූජා” යන වචනය යි. මෙය බෝධිය නෑවීමක් හෝ බෝධියට ජලය ඉසීමක් විය හැකි බව වචනාර්ථය අනුව විග්‍රහ කළ හැකි ය. ධාතුසේන රජු බෝ ගෙයක් තනවා දෙවන පෑතිස් රාජ්‍ය සමයේ සිදු කළ ආකාරයේ බෝධි පූජා පෙරහරක් ද බෝධියට විශේෂ නානුමුර පූජාවක් ද සිදු කළේ ය. සිලාකාල රජු දිනපතා කඩ නො කොට බෝධි පූජා පැවැත් වීය. 1 වන දප්පුල රජු මද කලක් රාජ්‍ය පාලනය කළ නමුදු අසිරිමත් බොධි පූජා උත්සව කිහිපයක් ම පවත්වා තිබේ. “වඩ්ඪමාන බෝධි” යන නමින් ද ආමන්ත්‍රණය කළ මහින්ද නමැති යුව රජු ද බෝධි පූජා කිහිපයක් ම පවත්වා තිබේ. අභාසලමෙවන් රජු ද, දෙටුතිස් රජු ද, තවත් එවැනිම බෝධි පූජා කිහිපයක් ම පැවැත්වූ හ.
පුරාතන යුගයේ දී වැස්ස ලබා ගැනීම සඳහා ද, රටට ආරක්ෂාව ලබා ගැනීමටද, රාජ රාජ මහා මාත්‍යාදීහු බෝධි පූජා සිදු කළ හ. ස්ථාන අටක හා දහසයක් බෝධි රෝපණය කිරීම නිසා බෝධි පූජාව ඒ ඒ ප්‍රදේශවල ද පැතිරී ගියේ ය. මෙම බෝධි පූජා උත්සවයන් හි දී දක්නට ලැබෙන ප්‍රධාන ලක්ෂණ ලෙස කුඩා කොඩි එසවීම, තොරණ බැඳීම, චිත්‍ර කර්ම කිරීම, නැටුම් ගැයුම් පැවැත්වීම හා සුදුවැලි ඉසීම යනාදිය පෙන්වාදිය හැකි ය.
සිරිලකට සිරිමහ බෝ සමිඳු වැඩම කරවීම සේ ම සිරිලක මෙහෙණි සමාජය ඇරඹීම ද උඳුවප් පොහොය හා සම්බන්ධව ඉතා වැදගත් තැනක් ගනියි. සංඝමිත්තා තෙරණිය සමඟ ලක්දිවට සැපත් වූ භික්ෂුණීන් වහන්සේලා අතර උත්තරා, හේමා, පසාදමාලා, අග්ගිමිත්තා , දාසිකා, ථෙග්ගු, පබ්බතා, මන්තා, ධම්මදාසිකා , මහාදේවී, පදුමා,හේමසා, උන්නලා ,අංජලී සහ සුමා යන භික්ෂුණීන් ද සිටි බව දීපවංසයෙහි සඳහන් වෙයි. සංඝමිත්තා තෙරණිය ලක්දිවට සැපත්වීමෙන් පසුව අනුරාධපුර උපාසිකා විහාරයෙහි පැවිද්ද අපේක්ෂාවෙන් සිටි අනුලා දේවිය හා පිරිවර ස්ත්‍රීහු භික්ෂුණී සමාජයෙහි පැවිද්ද ලැබුවෝ ය.
අනුලා දේවිය හා පැවිදි වූ පිරිස අතර හේමාධම්මපාලා, මහිලා, සණ්හා, කාලි, උත්තරාධම්ම සහ සෝභනා යන කාන්තාවන් සිටි බව දීපවංසය සඳහන් කරයි. දෙවනපෑතිස් රජු විසින් පෙර “උපාසිකා විහාරය” නමින් හැඳින්වුණු මෙහෙණ අසපුව පිළිසකර කරන ලදී. තවත් ගොඩනැගිලි කිහිපයක් ද එයට එකතු කළ අතර “හත්ථාල්හක විහාරය” යනුවෙන් එය නම් කෙරිණි. එය භික්ෂුණීන් වහන්සේලාගේ වාසස්ථානය වූවාක් සේ ම සංඝමිත්තා තෙරණිය ද එම මෙහෙණ අසපුවෙහි ම වාසය කළා ය.
මෙසේ සිරිලක ඇරඹි භික්ෂුණී සමාජය කාන්තාවන්, අතර ඉතා ජනපි‍්‍රය වූ ආකාරයත් කෙටි කාලයක් තුළ දී සිරිලක පුරාම එය පැතිරී ගිය ආකාරයත් ඓතිහාසික තොරතුරුවලින් පැහැදිලි වෙයි. මෙසේ ලක්දිව භික්ෂුණී සමාජයේ ඇරඹීම තුළින් මෙරට කාන්තාවනට එතෙක් නොතිබුණු ජාතික හා ආගමික නිදහසක් ලැබුණි.
ඌරුගමුවේ අස්සජි හිමි