Articles

සිංහල බෞද්ධයින්ගේ සදාතනික වීරයා

අද ධර්මපාල දිනයයි. අදට එනම් සැප්තැම්බර් මස 17 වැනිදාට ශ‍්‍රීමත් අනගාරික ධර්මපාලතුමාගේ 155 වැනි ජන්ම දිනය යෙදී තිබේ. සිංහල බෞද්ධයින්ගේ සදාතනික වීරයා වන ධර්මපාලතුමා, දොන් ඬේවිඞ් හේවාවිතාරණ නමින් මෙලොව උපත ලබන්නේ 1864 සැප්තැම්බර් 17 වැනිදාය.

එතුමා 1872 – 74 දක්වා බැප්ටිස්ට් සිංහල පාසලේත්, 1874 – 76 දක්වා ශාන්ත බෙනඩික් විද්‍යාලයේත්, 1876 – 78 දක්වා කෝට්ටේ ක‍්‍රිස්තියානි විද්‍යාලයේත්, 1878 – 83 දක්වා ශාන්ත තෝමස් විද්‍යාලයේත් අධ්‍යාපනය ලැබීය. පාසල් අධ්‍යාපනය නිම වීමෙන් පසුව, අධ්‍යාපන කාර්යාංශයේ ලිපිකරුවකු ලෙස රජයේ සේවයට බැඳුණේය. වයස අවුරුදු 16 දී, ඬේවිඞ් හේවාවිතාරණට කර්නල් හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා බ්ලැවට්ස්කි මැතිනිය හඳුනා ගැනීමට ඉඩ සැලසුණි.

වයස අවුරුදු 19 දී විශේෂ සාමාජිකත්වයකින් හෙතෙම පරම විඥානාර්ථ සමාගමට බඳවා ගන්නා ලදී. 1886 දී හෙන්රි ස්ටීල් ඕල්කට්තුමා හා සී. ඩබ්. ලෙඞ්බීටර් මහතා බෞද්ධ අධ්‍යාපන අරමුදලට ආධාර එකතු කරනු පිණිස ශ‍්‍රී ලංකාවට පැමිණියහ. ඔවුන්ගේ භාෂා පරිවර්තක ලෙස කටයුතු කිරීමට ඬේවිඞ් හේවාවිතාරණ රජයේ රැුකියාවෙන් ඉවත් විය.

ඕල්කට්තුමා සමග රට පුරා කළ සංචාරය ඔහුගේ ඇස් අරවන්නක් විය. සිංහල ජාතියට හා බුදු දහමට සිදුව ඇති පරිහානිය එහි දී එතුමා සියැසින් දුටුවේය. සිදුව ඇති පරිහානියට ප‍්‍රතිකර්ම යෙදීම උදෙසා, තමන් ස්වකීය දිවියම බුදු දහමේ උන්නතිය උදෙසා කැප කිරීමට අධිෂ්ඨාන කර ගත් බවත්, තමාට ගිහි ගෙයින් ඵලක් නැති බවත්, අනගාරිකව විසීමට අවසර දෙන ලෙසත් ඉල්ලමින් ඔහු 1886 ජනවාරි 12 වැනිදා තම පියාට ලිපියක් යැව්වේය. හික්කඩුවේ සුමංගල හිමියන්ගේ කරුණු පහදා දීමකින් අනතුරුව, පියා, ඬේවිඞ් හේවාවිතාරණට අනගාරික වීමට අවසර ලබා දුන්නේය. දොන් ඬේවිඞ් යන විදේශික නාමය අත හැර දමා, ඔහු ධර්මපාල හේවාවිතාරණ යන සිංහල නම භාවිත කරන්නට පටන් ගත්තේ ය. එතුමා ගත කළ බ‍්‍රහ්මචාරී දිවිය නිසා අනගාරික යන පෙර ඈඳිය ඔහු ගේ නමට එක් විය.

ඉන්දියාවේ බොදු පුදබිම් නැවත බෞද්ධ ජනතාවට වැඳ පුදා ගැනීමට මෙන්ම ඒවා දැක ගැනීමට වාසනාව උදා වූයේ උදාරතර බෝධිසත්ව ගුණෝපේත අනගාරික ධර්මපාලතුමා නිසාය. අසෝක රජතුමාගේ ජීවිතයේ අවසාන භාගයේදී බුද්ධගයාවේ ජය ශී‍්‍ර මහා බෝධින්වහන්සේ පිළිබඳ ඉතා දැඩි භක්තියකින් හා ශ‍්‍රද්ධාවකින් සිටි බව මහාවංසයේ සඳහන් පුවතකි. සංසාරගත පුරුද්දක් නිසා අනගාරික ධර්මපාලතුමා  බුද්ධගයාව අන්‍යාගමිකයින්ගේ තර්ජනවලින් බේරාගැනීමට ගෙන ගිය සටන කිසිදු පෞද්ගලික ලාභාපේක්ෂාවකින් තොරව ඉටු කළ මෙහෙයක් බව ලොවම පිළිගනී.

හෙයියන්තුඩුවේ සිරි දේවමිත්ත හිමියන්, ධර්මපාලතුමාට තරුණ කල දුන් අවවාදයක් අනුව, 1931 ජූලි 13 වැනිදා, බෝරුග්ගමුවේ රේවත මහ තෙරුන් වහන්සේ ආචාර්යත්වයෙහි තබා ගෙන, සිරි දේවමිත්ත ධම්මපාල යන පැවිදි නමින්, පැවිදි දිවියට ඇතුළු විය. 1933 අපේ‍්‍රල් 29 දා ධම්මපාල හිමියෝ අපවත් වූහ.

ශ‍්‍රී දේහය ලංකාවට ගෙන ඒමට කටයුතු යොදා තිබුණ ද මළසිරුර නරක් වීම නිසා ආදාහන කටයුතු ඉන්දියාවේදීම සිදු කෙරුණි. භෂ්මාවශේෂවලින් කොටසක් බරණැස ඉසිපතනාරාමයේ තැන්පත් කරන ලදී. ඉතිරි කොටස ලංකාවට වැඩම කරවන ලදී.

Related posts

TNA ගෝත්‍රිකත්වය පෙන්වන උතුරු නැගෙනහිර සිංහල ජනතාවගේ ඉඩම් කොල්ලය

colombotoday

ශ්‍රී ලංකාව යුද්ධය ජයගත්තේ කෙසේද: නොසලකා හැරි ජයග්‍රහණයකින් උගත හැකි උපායමාර්ග – ආචාර්ය පීටර් ලේටන්

colombotoday

දළදා පෙරහැර ඉවර වුණාම අලි ඇතුන් කදුළු සලමින් සමුගන්න හේතුව !

colombotoday

කොටි විරෝධී මාධ්‍යයට එරෙහිව තර්ජන එදා සහ අද

colombotoday

ව්‍යවස්ථා සංශෝධන මගඩියේ කූටප්‍රාප්තිය

colombotoday

දළදා හාමුදුරුවන්ටත් නොපෙනෙන NGO නඩයේ මානසික තදබදය

colombotoday