මහමෙව්නා අසපුවේ ශාසනවිලෝමක යාන්ත්‍රණය බොහොම සූක්ෂ්ම යි; පියවි ඇසින් දකින්නෙකුට තේරුම් ගැනීමට අපහසු යි. කාලාන්තරයක් තිස්සේ ඔවුන් තමන්ගේ මූල ප්‍රතිපත්තිය විවිධ මුහුණුවරින් නො වෙනස් ව අඛණ්ඩ ව පවත්වා ගෙන එනු ලබනවා. එහි වර්තමාන භාවිතාව විමර්ශනය කිරීමේ දී අප විසින් හඳුනා ගත් අංශ කීපයක් ම තිබෙනවා. එහි ප්‍රධාන තැනක් ගන්නේ සමාජය තුළ පවතින අසපු විරෝධය මැඬපවත්වා ගැනීම යි. පෙර මෙන් නො ව, දැන් අසපුව ඒ සඳහා යථානුයෝජනශීලී ක්‍රමපිළිවෙත් අනුගමනය කරමින් සිටිනවා. ඒ සඳහා ගිහි සමාජය තුළත්, පැවිදි සමාජය තුළත් වෙන වෙන ම ව්‍යාපෘති දියත් කෙරෙමින් පවතිනවා.
ඒ අතර සමාජ සත්කාර ප්‍රධාන යි. සමාජ සත්කාර හරහා තමන්ගේ මතවාදය ගෙන යනවා. නව සමාජීය වටිනාකම් හරහා ධර්මවිරෝධී යාන්ත්‍රණය සැඟවීමට පහසුවෙන් පිළිවන්.
එසේ ම ධනවත් සැදැහැවත් දායකයන් ලවා අසපු විරෝධී ආකල්ප දරන භික්ෂූන් වහන්සේලා බිලී ගා ගැනීම. එම විහාරස්ථානවල සහ භික්ෂූන් වහන්සේලාගේ අවශ්‍යයතා සොයා බලමින් ඒවා ඉටු කරදීමට ක්‍රියා කරනවා. ඒ හරහා උන්වහන්සේලාගේ විරෝධාකල්ප යටපත් කිරීමටත්, මැඬීමටත්, ඉස්මතු වීම වැළැක්වීමටත් ක්‍රියා කරනවා. අනෙක් අතට ලාභසත්කාරවලින් මැඬුණු භික්ෂු කණ්ඩායම් තම පක්ෂයට අවනත කරගැනීමේ ප්‍රවණතාවක් එතුළින් නිරායාසයෙන් ම ගොඩනැඟෙනවා. මෙය අතිසාර්ථක ව ඉදිරියට පැමිණියා. අසපුව පිළිබඳ විරෝධාකල්ප දැරූ බොහෝ භික්ෂූන් දැන් නිහඬ යි; නැතිනම්, අසපුව හොඳ යි කියන අගතියට වැටී තිබෙනවා.
අනෙක් ප්‍රධාන ම කරුණ තමයි ශාසනභක්ෂකයන් මඬින නියමුවා තමන් බව හුවා දැක්වීම. ඒ සඳහා අංශ දෙකක් තුළ අසපුව ක්‍රියාත්මක වෙනවා. එයින් එක් අංශයක් තමයි සද්ධම්මපතිරූපක මඬින මුවාවෙන් ගොඩනැඟෙන අසපුවේ ම ස්වාධීන වේදිකාව. සිංහාවලෝකන වැඩසටහන උදාහරණයක්. අනෙක, ශාසන වේශය දරන තවත් පිරිසක් ලවා තමන්ගේ මූලමතවාදය අනුක්‍රමික ව ඉදිරියට ගෙන යාම. ආභිධම්මික සම්භාෂණ මුවාවෙන් අභිධර්මය විකෘති කරමින් තථාගතයන් වහන්සේගේ ජිනචක්‍රයට පහර දීම; අට්ඨකථා ඇතුළු පිළිගත් ථෙරවාද සම්මුතීන්ට පහර දීම සහ විශේෂයෙන් විනය ශාසනයෙන් වියුක්ත කුලකයක් බවට පත්කිරීම මෙන් ම විවිධ ශාසනික වගකීම් දරන ප්‍රමුඛ පෙළේ නායකකාරකාදී භික්ෂූන් වහන්සේලා තම පක්ෂයට නම්මවා ගැනීම, අවනත කරගැනීම යනාදිය හඳුනාගන්න පුළුවන්. ඒ තුළින් ශාසනික වශයෙන් නැඟී තිබෙන විරෝධය ව්‍යර්ථ කිරීමට අසපුවට පිළිවන්කම ලැබෙනවා. සිංහාවලෝකනයට සමඟාමී ව ගොඩනැඟුණු විභජ්ජවාද වේදිකාව එහෙම එකක්; ලබුනෝරුවකන්දේ භූමිකාව එවැන්නක්. තව ද, නිවැරදි සසුන් පිළිවෙතේ සිටින ශික්ෂාකාමී ස්ථවිරයන් වහන්සේලා උපහාසයට අපහාසයට ලක්කිරීම ද ඉතා සූක්ෂ්ම ව සිදු කරගෙන යනු ලබනවා. අතරතුරේ හිටි අඩියේ පහළ වන ශාසනාරක්ෂකයන්, බණකඩකාරයන් මේ සැලැස්මේ අතකොළු වශයෙන් යොදා ගන්නා බවක් ද පෙනෙන්නට තිබෙනවා. යහපතට මුවා වීම හා උග්‍ර ශාසනික අවශ්‍යතා හේතුයෙන් කිසිවෙකුට මේ යාන්ත්‍රණය හඳුනා ගැනීම දුෂ්කර ව තිබෙනවා.
වහරක මතවාද ආදියට වැඩිවැඩියෙන් නැඹුරු වූයේ මහමෙව්නා අසපුවේ අගතිගාමී වැඩපිළිවෙල නිසා මුලාවේ වැටුණු පිරිස. අසපුව දැන් සිටින්නේ ඔලු ගෙඩි ටික රැකගැනීමේ පරිශ්‍රමයක. වහරක කල්ලිය ඉලක්ක කරගත් ත්‍රිපිටක සංරක්ෂණ පනත ද එහි දිගුවක්. එය සාම්ප්‍රදායික විහාරාරාම පද්ධතිය හා ශාසනසම්ප්‍රදායන් දියකර හැරීමේ දීර්ඝකාලීන කූඨ ප්‍රයෝගයක්. බෝධිඥාන ව්‍යවස්ථාව හරහා අභිධර්මපිටකය බැහැර කළ බව සත්‍යයක්. එහි මීළඟ යොමුව වශයෙන් ත්‍රිපිටක පනතේ කතිකාව තුළ ම ප්‍රමුඛ පෙළේ ආචාර්ය මහාචාර්ය මහතැන් ලවා ම විනය වියුක්ත කුලකයක් බවට පත්කිරීමට දරන වෑයම දැකගන්න පුළුවන්.
මේ පිළිබඳ කතා කිරීමේ ප්‍රතිඵලය අතිශය තිත්ත යි; කටුක යි. නමුත්, මුනිවත රැකීම සුදුසු නැහැ. යථාර්ථය පැහැදිලි වීමට තවත් කාලය ගතවීම අවශ්‍යය යි. මාර සේනාව මඬින ධර්මයුද්ධයට පෙළගැසෙන හැටියට ශාසනකාමී සත්පුරුෂයන්ට ආරාධනා කරනවා.
පංචන ජයසිංහ