ඉන්දීය අග්‍රමාත්‍ය නරේන්ද්‍ර සිං මෝදි එළඹෙන අප්‍රේල් මස 04 වැනිදා දෙදින නිල සංචාරයක් සඳහා ශ්‍රී ලංකාවට පැමිණීමට නියමිතය. ඉන්දියානු විදේශ කටයුතු අමාත්‍යාංශයේ මේ සම්බන්ධ නිල නිවේදනයක්ද පළ කොට තිබේ. එහි සඳහන් වන්නේ ඉන්දියානු අග්‍රමාත්‍යවරයා අප්‍රේල් 03 සහ 04 දෙදින පැවැත්වෙන 06 වන බිම්ස්ටෙක් (BIMSTEC) සමුළුවට සහභාගි වීම සඳහා තායිලන්තය බලා පිටත් වන බවත්, එම සංචාරය නිම කළ වහා ඔහු ශ්‍රී ලංකාව කරා පිටත් වීමට නියමිත බවත්ය.
එසේම මෙම සංචාරයේදී ඔහු, ශ්‍රී ලංකා ජනාධිපතිවරයාගේ ඉන්දීය රාජ්‍ය සංචාරයේදී සම්මත කරගත් “බෙදාගත් අනාගතයක් සඳහා හවුල්කාරිත්වයන් පෝෂණය කිරීම” සඳහා වූ ඒකාබද්ධ දැක්මෙහි එකඟ වූ සහයෝගීතා ක්ෂේත්‍රවල ප්‍රගතිය සමාලෝචනය කිරීම සඳහා ශ්‍රී ලංකා ජනාධිපතිවරයා සමඟ සාකච්ඡා පවත්වනු ඇතැයි සඳහන් කොට තිබේ.
එසේම මෙම සංචාරයේ කොටසක් ලෙස, අග්‍රාමාත්‍ය මෝදි ඉන්දීය මූල්‍ය ආධාර යටතේ ක්‍රියාත්මක කරන ලද සංවර්ධන ව්‍යාපෘති ආරම්භ කිරීම සඳහා අනුරාධපුරය යාමට නියමිත බවද රජයේ නිල මාධ්‍ය දැනුම්දීමෙහි දැක්වේ. එහෙත්, අගමැති මෝදිගේ සංචාරයේදී සිදුවීමට නියමිත බවට ප්‍රචලිත වී තිබෙන සාම්පූර් බලාගාරයට මුල්ගල් තැබීම පිළිබඳ සෘජු නාමික සඳහනක් එහි නොමැත.
(මූලාශ්‍ර – ඉන්දීය විදේශ කටයුතු අමාත්‍යාංශයේ වෙබ් අඩවිය බලන්න)
කරුණු එසේ තිබියදී ඉන්දීය අග්‍රමාත්‍යවරයාගේ ලංකා ගමනේදී එළඹීමට නියමිත එකඟතා ගිවිසුම් හයක් පිළිබඳ අන්තර් විශ්වවිද්‍යාල ශිෂ්‍ය බලමණ්ඩලයේ හිටපු කැඳවුම්කරු, ජන අරගල සන්ධානයේ සාමාජික වසන්ත මුදලිගේ විසින් අනාවරණය කොට සිටී. අද (29) දින දෙහිවලදී පැවති ජනහමුවක් අමතමින් ඔහු මේ බව කියා සිටියේය.
මේ පිළිබඳ අන්තර්ජාලයෙන් කරුණු පිරික්සා බැලීමේදී අපට විශේෂ කරුණු කාරණා කිහිපයක් සොයාගන්නට හැකි විය. එම කරුණු කාරණා පිළිබඳව පාඨක ඔබ හමුවේ සැකෙවින් සටහනක් තැබිය යුතු යැයි Colombo Today අපි සිතුවෙමු.
මේ පිළිබඳ වැදගත්ම සටහන අපට හමුවන්නේ “Firstpost” වෙබ් අඩවියෙනි. “India, Sri Lanka to sign first-ever defence pact amid China’s growing presence” යන හිසින් යුතුව ඊයේ එනම් මාර්තු 28 වනදා පළ කරන එම ලිපියෙහි යනුවෙන් “India and Sri Lanka are expected to sign a Memorandum of Understanding (MoU) to elevate their defence cooperation during Prime Minister Narendra Modi’s visit to the island nation next week” යනුවෙන් දක්වා තිබේ.
එනම්, ඉන්දීය අග්‍රාමාත්‍ය නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක සහයෝගීතාව ඉහළ නැංවීම සඳහා වන අවබෝධතා ගිවිසුමක් (MoU) අත්සන් කිරීමට අපේක්ෂා කරන බවයි.
මෙම පුවත ඉන්දීය විදේශ කටයුතු ලේකම් වික්‍රම් මිස්රි විසින් තහවුරු කරන ලද්දක් බවද එම පුවත් මූලාශ්‍රය විසින් හඟවයි.
එසේම තවත් පුවත් වෙබ් අඩවියක් වන Business Standerd සඳහන් කරන්නේ, චීනය ශ්‍රී ලංකාව කෙරෙහි සිය මිලිටරි බලපෑම වැඩි කිරීමට දරන නොනවතින උත්සාහයන් මධ්‍යයේ, ලබන සතියේ අගමැති නරේන්ද්‍ර මෝදිගේ ශ්‍රී ලංකා සංචාරයේදී ඉන්දියාව සහ ශ්‍රී ලංකාව ප්‍රථම වරට ප්‍රධාන ආරක්ෂක සහයෝගීතා ගිවිසුමකට අත්සන් කිරීමට නියමිත බවයි.
මෙම ගිවිසුම අත්සන් කෙරුණහොත්, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව අතර ආරක්ෂක ක්ෂේත්‍රයේ ප්‍රධාන දියුණුවක් පෙන්නුම් කරනු ඇති බවද ඔවුන් සඳහන් කොට සිටී. එසේම, අප්‍රේල් 05 වන දින කොළඹදී අග්‍රමාත්‍ය මෝදි සහ ශ්‍රී ලංකා ජනාධිපතිවරයා අතර පැවැත්වෙන සාකච්ඡාවලින් පසු, ශ්‍රී ලංකාවේ ණය ප්‍රතිව්‍යුහගත කිරීම පිළිබඳ ගිවිසුමක් ඇතුළුව තවත් ද්විපාර්ශ්වික ගිවිසුම් රාශියක් දෙපාර්ශ්වය විසින් තහවුරු කිරීමට ඉඩ තිබෙන බවටද එම මූලාශ්‍රය මගින් තහවුරු කොට සිටී.

එසේම, ප්‍රමුඛ පෙළේ ඉන්දියානු පුවත් වෙබ් අඩවියක් වන “The New Indian Express” ද මෙම කරුණු සනාථ කොට තිබෙන අතර “දෙරටේ ආරක්ෂක අවශ්‍යතා එකිනෙකට බැඳී ඇති බවත්, එහෙයින් මෙම ආරක්ෂක සහයෝගීතා ගිවිසුම ඉක්මනින් අවසන් කිරීමට ඉන්දියානු පාර්ශ්වය විසින් තීන්දු කොට තිබෙන බවටත්” අග්‍රමාත්‍ය මෝදිගේ ප්‍රකාශයක් උපුටා දක්වමින් එම වෙබ් අඩවිය වාර්තා කොට සිටී.
සාම්පූර් බලාගාරයට මුල්ගල් තැබීම පිළිබඳවද එම පුවතින් ඉඟියක් ලබා දී තිබෙන අතරම, මෙම ගමනේදී “ශ්‍රී ලංකාවේ ඉන්දියානු සහාය ඇතිව සිදුකෙරෙන බලශක්ති සම්බන්ධතාවය, ඩිජිටල්කරණය, සෞඛ්‍ය සහ බහු අංශ ප්‍රදාන ආධාර සම්බන්ධ ව්‍යාපෘති කිහිපයක අවබෝධතා ගිවිසුම් හුවමාරු කර ගැනීමට ද නියමිත බවට” ඉන්දියානු විදේශ ලේකම් මිස්රි ප්‍රකාශ කොට ඇතැයි එම පුවත් අඩවිය වැඩිදුරටත් සඳහන් කොට සිටී. එමෙන්ම, තවත් විදෙස් පුවත් වෙබ් අඩවියක් වන SocialNews.XYZ තුළින්ද මෙම කරුණු සනාථ කරන සාධක අපට හමු විය.
රටක අනාගතය තීරණය කිරීමෙහිලා විදෙස් රාජ්‍යයන් සමග ඇතිකරගන්නා ශක්තිමත් සබඳතා ඉතාමත් තීරණාත්මක සාධකයක් වන අතර අතීතයේ සිටම හොඳට නරකට දෙකටම හේතු වූ ඉන්දු – ශ්‍රී ලංකා භූ දේශපාලනික සබඳතා අපගේ අනාගතය පිළිබඳ වැදගත් කාරණයක් බව අපිද අවධාරණය කොට සිටිමු. එසේම, ශ්‍රී ලංකාව ආ ගමන් මගෙහි එක්තරා සංධිස්ථානයකදී චීනයද අපගේ අනාගත අපේක්ෂාවන් සහ ආර්ථික සංවර්ධන සැලසුම් සමග බැඳී ගියේය. චීනය ශ්‍රී ලංකාව කෙරෙහි ආර්ථික වශයෙන් මිසක දේශපාලනික වශයෙන් බරපතල බලපෑමක් සිදු නොකළත්, ශ්‍රී ලංකාව කෙරෙහි වන ඉන්දියානු බලපෑම තුළ බරපතල දේශපාලනික සමපේක්ෂණයන්ද ගැබ්ව තිබෙන බව නොරහසකි.
තත්වය මෙසේ වූ කල්හි, ලෝක ආර්ථිකයේ විශාල පංගුවක කොටස්කරුවන් වීමේ අපේක්ෂාවෙන් කරට කර සටන් වැදෙමින් සීතල යුද්ධයක පැටලී සිටින මේ නව ලොව බලවතුන් දෙදෙනා අප රාජ්‍යය කෙරෙහි කරන බලපෑම සුළු පටු නොවේ.
ඉතින්, රාජ්‍යයක් වශයෙන් අපට මේ ක්‍රීඩාවේ උරුම ස්ථානය කොතැනද? ඒ ප්‍රශ්නයට පිළිතුර නුදුරු අනාගතයේදීම තීරණය වනු නිසැකය.
සටහන – Chalana
මූලාශ්‍ර