
අද ඓතිහාසික දිනයකි.
ලාංකීය දේශපාලනයේ සුවිශේෂී සංධිස්ථානයක් වන 71 අප්‍රේල් කැරැල්ලට අදට 54 වසරක් සපිරෙයි.
71 අප්‍රේල් කැරැල්ලෙන් ඇරඹි ලාංකේය දේශපාලනය උඩු යටිකුරු කළ ජනතා විමුක්ති පෙරමුණේ ගමන රාජ්‍ය බලය උරුම කර ගැනීමේ ජයග්‍රහණය දක්වා දීර්ඝ ගමනක් පැමිණ තිබෙන මොහොතක අද දිනය වඩාත් සුවිශේෂී වෙයි. එසේ වන්නේ එදා ඔවුන් එරෙහි වූ එළිපත්තට පැමිණි සතුරා අද මිතුරු වෙසින් අපගේ ආලින්දය කරා පැමිණි සිටින නිසාමය.
අද ආලින්දයේ සැප පුටුවක වාඩි ගෙන සිටින ඒ කතුරු මිතුරාට මිත්‍රත්වයේ දෑත් දිගු කරමින් සිටින්නේ එදා එකී සතුරා වෙනුවෙන් ජීවිත පරිත්‍යාගයේ යෙදෙමින් සටන් වැදුණු විප්ලවීය නායකයාගේ අනුප්‍රාප්තිකයා වීම දෛවයේ සරදමක් බඳුය.
එදා ඉන්දියාව අප කෙරෙහි කරන ලද බලපෑම අතිශයින්ම සහ සම්පූර්ණ වශයෙන් දේශපාලනික වූවක් බව ඔබත් මමත් දන්නා කරුණකි. සිරිමාවෝ සමයේ සිට කෙමෙන් කෙමෙන් හිස එසවූ එකී බලපෑම පිටුපස ඉන්දියානු රෝ ඔත්තු සේවය මෙන්ම, CIA එකද හරි හරියට සිටගෙන සිටියේය. එසේම 71 ජවිපෙ කැරැල්ල මැඩපැවැත්වීමට සිරිමා රජයට බ්‍රිතාන්‍ය MI6හි සහය ලැබුණු බවට පසුකාලීනව කරුණු හෙළිව තිබේ.

1971 ඉන්දු – සෝවියට් මිත්‍රත්ව ගිවිසුම අත්සන් කිරීම සීතල යුද්ධයේදී ඉන්දියාව අනුගමනය කළ නොබැඳි ස්ථාවරයෙන් සැලකිය යුතු අපගමනය වීමක් බවට සැක පහළ කළ ඇමරිකාව ආසියානු කලාපයේ සිය ආධිපත්‍ය රැකගනු පිණිස මෙහෙයුම් පුළුල් කරන ලදී. එතැන් පටන් ඇරඹෙන ශ්‍රී ලංකාව කෙරෙහි වූ ඇමරිකානු බලපෑම වඩාත් තීව්‍ර තැනකට එළඹෙන්නේ 1977 සිරිමා රජය පෙරලා ජේ. ආර්. බලයට පත් වීමත් සමගයි.
83 කළු ජූලියෙන් ඇරඹුණු දමිළ ජාතිකවාදී විමුක්ති ව්‍යාපාරය ශ්‍රී ලංකාව කෙරෙහි වූ ඉන්දියානු බලපෑම වැඩෙන්නට නිසඟ තෝතැන්නක් වූ අතර, ඉන්දියානු රජයේ රහසිගත ආශීර්වාදයෙන් උතුරේ සටන්කාමී කණ්ඩායම් අවි පුහුණුව ලබමින් හැදී වැඩුණේ රෝ ඔත්තු සේවයේ අනුග්‍රහය ලබමිනි. දකුණේ දේශප්‍රේමී විමුක්ති ව්‍යාපාරය මර්දනය කරන්නට රාජ්‍ය තන්ත්‍රය කල් මරද්දී උතුරේ ඇවිලෙන ත්‍රස්තවාදයේ ගිනිදලු ඔවුන් දුටුවේද, නොදුටුවේද යන කරුණ වෙනම සිතා බැලිය යුතුමය.
කෙසේ වුවද, දේශපාලන ඉතිහාසයේ අප රට ලැබූ දරුණුතම පරාජය වන 87 ඉන්දු ලංකා ගිවිසුම කරළියට පැමිණෙන්නේ රටම දෙකොන ඇවිලෙන විලක්කුවක් බවට පත් කරමිනි.
එදා ජේ. ආර්. ගේ අත ඇඹරුවා!

ඊනියා ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කිරීමට ජේ. ආර්. පොළඹවනු ලැබූයේ සාපරාධී බලහත්කාරය සහ අවම බලයද යොදවමින් බව නොරහසකි. කෙසේ වුවද, ඇමරිකන් ගැති ජේ. ආර්. ඉන්දීය බලහත්කාරයට නතු වන විට එයට එරෙහි බලය වූයේ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරයයි. “මවුබිම නැතිනම් මරණය” සටන් පාඨ කොට ගනිමින් ජවිපෙ ප්‍රමුඛ දේශප්‍රේමී ජාතික ව්‍යාපාරය අවි අමෝරන විට ඒ සටන් පාඨය පිටුපස සිටි අදිසි හස්තය ඇමරිකානු CIA සංවිධානය බව අමතක නොකළ යුතුමය. අද මාලිමාකරණය වූ ජවිපෙ පැටලී සිටින ලෙහා ගත නොහැකි පඹගාලේ හේතුව නිර්මාණය වන්නේ ඒ අයුරිනි.
ගතවූ අඩසියවසක කාලය පුරාම “ඊනියා ඉන්දියානු බලපෑම” ජවිපෙ දේශපාලන ව්‍යාපාරයේ ප්‍රමුඛ සටන්පාඨයක් විය. අද අනුර දිසානායක ප්‍රමුඛ රජයට එකී සටන්පාඨයම පාරාවලල්ලක් වී තිබේ.
එසේම, එදා මුළුමනින්ම දේශපාලනික වූ ඉන්දියානු මැදිහත්වීම එහි සළු පිළි වෙනස් කරමින් අද වනවිට ආර්ථික කරුණු කාරණාද පසුබිම් කොට ගනිමින් ගොඩනැගී තිබේ. මුලුමනින්ම ආර්ථික බලපෑමක් ලෙසින් පැමිණෙන ශ්‍රී ලංකාව කෙරෙහි වූ මෙකී නව ඉන්දියානු යටත් විජිතවාදයේ පිටුපස සැඟවී සිටින දේශපාලනික බිල්ලා වෙන්කොට හඳුනා ගැනීමද අතිශයින්ම අමාරු කාරියක් වී තිබේ.
එසේ හෙයින්ම, මේ තීරණාත්මක මොහොත සියුම් ලෙස දේශපාලනිකව කියවා ගත යුතු බවට අපි අවධාරණය කොට සිටිමු.
එදා පසමිතුරන් වූ ඇමරිකාව සහ ඉන්දියාව අද සමීප මිතුරන් බවට පත්ව සිටී. එසේම, සිය කලාපීය ප්‍රතිවාදියා වන චීනය සමග කරට කර සටනක යෙදෙන ඉන්දියාව ඉදිරි දශකයේ ලෝකයේ දෙවන ප්‍රබලතම ආර්ථිකය බවට පත් වීමේ ගමනට පිඹුරුපත් අඳිමින් සිටී. ඔවුන්ගේ ආර්ථික අපේක්ෂාවන් ඇමරිකාව මෙන්ම, දියුණු වන මැදපෙරදිග ලෝකයේ ආර්ථිකයන් සමගද බැඳී පවතී.
එසේ හෙයින්, මේ සිදුකෙරෙමින් පවතින්නේ හුදු ඉන්දියානු දේශපාලනික වුවමනාවක් පමණක් නොව ලිබරල්වාදයේ පෑලදොර පනිමින් දැවැන්ත පරිවර්තනයකට සැරසෙන ලෝක භූ දේශපාලනයේ අවශ්‍යතාවක් බවද අප සිහි තබාගත යුතුමය. අප නැවතුනද ලෝකය නොනවතින ගමනක යෙදෙමින් සිටී.
සම්බන්ධ වුණාට කමක් නෑ! හැබැයි සාධාරණ පංගුව ඕනේ!!
අද කලුතරදී පැවති අප්‍රේල් විරු සමරු උළෙලේදී ලාල්කාන්ත කළ මේ ප්‍රකාශය, මෙකී අර්බුදයට විසඳුම කුමක්දැයි කෙරෙන සාකච්ඡාවේදී ඉතා වැදගත් සළකුණකි. මක්නිසාද යත්, රටක් ලෝකය සමග කෙරෙන ආර්ථික සහ දේශපාලනික ගනුදෙනු වලදී එකී රට අත්පත් කරගන්නා පංගුව කොතෙක්ද යන කාරණය මත එකී රාජ්‍යයේ අනාගතය රැඳී පවතින බැවිනි.
එදා අනුර කුමාර ජනාධිපති වීමටත් පෙර ඉන්දියානු අමුල් සමාගමේ ආරාධනයක් පිට බව පවසමින් ගිය සංචාරය අතිශයින් ආන්දෝලනාත්මක එකක් විය. ඒ වනවිටත් ඉන්දියානු ඔත්තු සේවා මගින් මාලිමාවේ ජය තහවුරු කොට තිබූ බැවින් අනුර ඉන්දියාවට ගෙන්වූ ඒ ගමන වනාහි “මුට්ටිය දමා බැලීමක්” බව පැහැදිළිවම කිව හැකිය.
වත්මන් ජනපතිවරයා පත් වූ වහා ඉන්දීය විදේශ කටයුතු ඇමතිවරයා මෙරටට පැමිණීමද, ඉනික්බිති සිදුවූ ජනපතිවරයාගේ ඉන්දීය සංචාරයද මෙකී පංගුව සාකච්ඡා කිරීමේ සහ තීන්දු කිරීමේ තීරණාත්මක නිමේශයන් බවට අපට සිතිය හැකිය. එහෙයින්, අප ඉදිරියේ අවධානයෙන් බලා සිටිය යුත්තේ මේ ඉන්දියානු ගනුදෙනුවෙන් මාලිමා රජය රටක් වශයෙන් අපට දිනා දෙන පංගුව කොතරම් ප්‍රමාණයක්ද යන කාරණය පිළිබඳව බව අවසන් වශයෙන් සඳහන් කොට සිටිමු.
දෛවයේ කුරිරුතම සරදම වන්නේ එදා ඉන්දියානු බලපෑමට එරෙහි වුණු ජවිපෙ අද ඉන්දියාවට මිත්‍රත්වයේ දෑත් දිගු කරද්දී, ජවිපෙන් කැඩී ආ පෙරටුගාමීන් අද එදා ජවිපෙ භූමිකාව රඟ දක්වමින් ඉන්දියානු ව්‍යාප්තවාදය පතුරු ගසමින් සිටීම බවද සිහිපත් කළ යුතුය.
අප නැවතී සිටියද ලෝකය නොනවතින ගමනක යයි. රවුමට!
සටහන – Chalana