හැව්ලොක් සිටි නිවාස සංකීරර්ණයේ නිවසක සඟවා තිබියදී අත්අඩංගුවට ගන්නා ලද ආන්දෝලනාත්මක රන් ආලේපිත T56 ගිනිඅවිය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ප්‍රබලම දේශපාලනඥයකුට අයත් එකක් බව පොලිස් විමර්ශනවලින් හෙළි වී තිබේ.
උතුරු මැද පළාත නියෝජනය කරන මෙම දේශපාලනඥයාගේ පියා ද ප්‍රබල දේශපාලඥයෙකු වන අතර ඔහු මේ වන විට ජීවතුන් අතර නොමැත.
හිටපු ප්‍රබල අමාත්‍යවරයකු ද වන මෙම දේශපාලනඥයා මීට මාස හයකට උඩදී සිය අරක්කැමියා මාර්ගයෙන් මෙම ගිනිඅවිය හැව්ලොක් සිටි පදිංචි කාන්තාවගේ නිවසට යවා ඇත්තේ සඟවා තබන ලෙස උපදෙස් ලබා දෙමින් බව පොලිසිය හෙළිකරගෙන තිබේ.
මෙම අවිය හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ පදිංචි හැටඅට හැවිරිදි කාන්තාව වෙත අවිය ගෙනවිත් බාරදුන් හිටපු ඇමතිවරයාගේ අරක්කැමියා අත්අඩංගුවට ගැනීමට විශේෂ පොලිස් කණ්ඩායමක් ඊයේ සවස අවිස්සාවේල්ල ප්‍රදේශයට ගොස් තිබිණි.
විමර්ශනවලින් හෙළි වී ඇති අන්දමට මෙම හිටපු ඇමතිවරයා හැව්ලොක් සිටි නිවසේ පදිංචි හැටඅට හැවිරිදි කාන්තාවගේ සමීපතම මිතුරෙකු වන අතර එම කාන්තාව මෙම අවිය සහිත බෑගය බාරගෙන ඇත්තේ එහි T56 ගිනි අවියක් තිබෙන බව නොදැන බව අනාවරණය වී තිබේ.
මෙම බෑගය මාස හයක් තිස්සේ කාන්තාවගේ නිවසේ තිබී ඇති අතර පෙරේදා එම කාන්තාවගේ පුත්‍රයකු විනෝද චාරිකාවක් යෑම සඳහා මෙම බෑගය පිටතට ගෙන තිබේ.
ඒ අවස්ථාවේ ගිනි අවිය සහිත බෑගය කාන්තාව විසින් සිය මෝටර් රථයේ ඩිකියේ දමාගෙන ගොස් ඇති අතර හැව්ලොක් සිටි නිවාස සංකීර්ණයේ ආරක්ෂක නිලධාරීන් මෙම අවිය දැක ඇත්තේ ඒ අතරතුරදීය.
පසුව ඔවුන් මේ බව වැල්ලවත්ත පොලිසිය වෙත දැනුම් දී තිබිණි.
පොලිස් නිලධාරීන් පැමිණ අවිය පරීක්ෂා කිරීමේදී එය සෙල්ලම් අවියක් නොවන බවත් නවීන පන්නයේ T56 ගිනි අවියක් බවත් හෙළිවී තිබේ.
ඒ අනුව මෙම අවිය සඟවාගෙන සිටි හැටඅට හැවිරිදි කාන්තාව සහ තවත් කාන්තාවක් පොලිසිය මගින් අත්අඩංගුවට ගනු ලැබිණි.
එහිදී කාන්තාව පවසා ඇත්තේ මෙම බෑගය හිටපු ඇමතිවරයාගේ අරක්කැමියකු විසින් තමන්ට භාරදුන් බවයි.
මෙම සිද්ධිය සම්බන්ධයෙන් හිටපු ඇමතිවරයාද අත්අඩංගුවට ගැනීමට නියමිත බව පොලිස් ආරංචි මාර්ග පවසයි.
මෙම අවිය කුමන හේතුවක් නිසා මෙසේ සඟවා තැබුවේද, ඒ අවියෙන් කුමන හෝ අපරාධයක් සිදුකළේ ද යන්න සොයා පොලිස් විමර්ශන මේ වන විටත් පැවැත්වෙයි.