කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් ශ්‍රී ලංකා රජය ගත් තීරණය ‘‘ඒකපාර්ශවීය’’ තීරණයක් බවත් ඒ සම්බන්ධයෙන් ‘‘කනස්සල්ලට’’ පත්වන බවත් ජපානය ප්‍රකාශ කරයි.
නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී වරාය අධිකාරිය සතුව තබාගැනීමට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය තීරණය කර දින දෙකකට පසු ඊට ප්‍රතිචාර දක්වමින් ජපානය ඒ බව ප්‍රකාශ කර ඇතැයි ‘ද හින්දු’ පුවත්පත වාර්තා කරයි.
ශ්‍රී ලංකාවේ ජපාන තානාපති අකිරා සුගියාමා මහතා මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීම සඳහා පෙරේදා (3) විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන මහතා හමු වී සාකච්ඡා පවත්වා ඇත.
ශ්‍රී ලංකාවේ ඉන්දීය මහ කොමසාරිස් ගෝපාල් බාග්ලේ මහතා ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ, අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ සහ විදේශ සබඳතා අමාත්‍ය දිනේෂ් ගුණවර්ධන යන මහත්වරුන් හමු වී සාකච්ඡා පැවැත්වීමෙන් අනතුරුව ජපාන තානාපතිවරයා මෙලෙස විදේශ සබඳතා අමාත්‍යවරයා හමු වී සාකච්ඡා පවත්වා ඇත.
දකුණු ආසියානු කලාපය තුළ ඉන්දු-ජපාන සහයෝගීතාව පෙන්වීම සඳහා නැගෙනහිර පර්යන්තය අවස්ථාවක් වනු ඇතැයි අපේක්ෂා කළ බවත් නමුත් මෙහි වැඩි ප්‍රමුඛතාවක් දී ඇත්තේ චීන යටිතල පහසුකම්වලට බවත් ‘ද හින්දු’ වාර්තාවේ දැක්වේ.
ඉකුත් දා පැවැති කැබිනට් හමුවෙන් පසු අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතා කළ ප්‍රකාශය සම්බන්ධයෙන් ‘‘ජපාන රජය සවිස්තරාත්මකව විමසා බලන බව’’ නවදිල්ලි නුවර ජපාන තානාපති කාර්යාලයේ නිලධාරියෙක් ‘ද හින්දු’ පුවත්පතට පවසා ඇත.
‘‘ජපානය, ඉන්දියාව සහ ශ්‍රී ලංකාව නැගෙනහිර පර්යන්තය සම්බන්ධයෙන් 2019 වසරේ මැයි මාසයේදී සහයෝගීතා ගිවිසුමකට අත්සන් තැබුවා’’ යැයි හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ සමයේදී අත්සන් තැබුණු ඉන්දීය, ජපාන සහ ශ්‍රී ලංකා ත්‍රෛපාර්ශවීය ගිවිසුම සම්බන්ධයෙන් අදහස් දක්වමින් එම නිලධාරියා පවසා ඇත.
‘‘නැගෙනහිර පර්යන්තයේ සංවර්ධන සහ මෙහෙයුම් කටයුතු සම්පූර්ණයෙන්ම ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබාගැනීමට ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය ගත් ඒකපාර්ශවීය කැබිනට් තීරණය ඉතා කනගාටුදායක’’ යැයි ද හෙතෙම සඳහන් කර ඇත.
වරායේ වෘත්තීය සමිති සේවකයන් විරෝධතාවල නියැළීමත් සමඟ ඉන්දීය සහ ජපාන නියෝජිතයන් රාජපක්ෂ ආණ්ඩුව සමඟ පසුගිය මාස කිහිපයේදී සාකච්ඡා පැවැත්වීය. නැගෙනහිර පර්යන්තය තුළි කිසිදු විදේශීය පාලනයකට හෝ ආයෝජනයකට ඉඩ නොදෙන ලෙස ඉල්ලමින් වරාය වෘත්තීය සමිති සේවකයෝ විරෝධතාවල නියැලුණහ.
ඉන්දීය විදේශ අමාත්‍ය ආචාර්ය සුබ්‍රමනියම් ජයිශංකර් මහතා ජනවාරි 6 වැනිදා ශ්‍රී ලංකාවේ සංචාරය කළ අතර එහිදි මේ සම්බන්ධයෙන් සාකච්ඡා කිරීමට වැඩි ඉඩක් ලබා දී තිබිණි. ශ්‍රී ලංකාව අදාළ ගිවිසුමට බැඳී සිටිනු ඇතැයි ඉන්දියාව බලාපොරොත්තු විය.
ජනාධිපති ගෝඨාභය රාජපක්ෂ මහතා සහ ඉන්දීය විදේශ අමාත්‍යවරයා අතර පැවැති සාකච්ඡාවෙන් පසුව ඉන්දියාවේ අදානී සමාගම මෙම ව්‍යාපෘතියේ ආයෝජනය කරන බව ශ්‍රී ලංකා ජනාධිපතිවරයා වරාය සේවකයන්ට දැනුම් දුන් අතර ශ්‍රී ලංකාව කිසිදු ජාතික වත්කමක් විකුණන හෝ බද්දට හෝ නොදෙන බව ද පැවැසීය. ශ්‍රී ලංකාව අදාළ ගිවිසුමට අනුව ක්‍රියා කරන බවට එය සංඥාවක් වී යැයි ද ‘ද හින්දු’ වාර්තාවේ දැක්වේ.
කෙසේ නමුත් අග්‍රාමාත්‍ය මහින්ද රාජපක්ෂ මහතාගේ ප්‍රධානත්වයෙන් ඉකුත් දා (2) පැවැති කැබිනට් හමුවේ දී කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තයේ සම්පූර්ණ අයිතිය ශ්‍රී ලංකා වරාය අධිකාරිය සතුව තබාගැනීමට තීරණය කෙරුණි. ඒ අනුව කලින් සැලසුම් කළ පරිදි එය ඉන්දියාව සහ ජපානය සමඟ හවුල් ව්‍යාපාරයක් ලෙස ක්‍රියාත්මක නොවන එයින් පෙනුණි. දැනට පවත්වා ඇති සාකච්ඡා අනුව ශ්‍රී ලංකා රජයේ කැබිනට් මණ්ඩලය ගත් තීරණය සම්බන්ධයෙන් ඉන්දියාව සහ ජපානය පුදුමයට පත්ව ඇතැයි ද ‘ද හින්දු’ වාර්තාවේ සඳහන් ය. කොළඹ වරායේ නැගෙනහිර පර්යන්තය හරහා කෙරෙන ප්‍රති නැව්ගත කිරීම්වලින් සියයට හැත්තෑවක්ම (70) ඉන්දියාවට සම්බන්ධ ය.
ජපානය ශ්‍රී ලංකාවට ලබා දී ඇති දායකත්වය ද සුළු පටු නොවේ. ජපානය ණය වශයෙන් ශ්‍රී ලංකාවට යෙන් ට්‍රිලියන 1.1ක් ලබා දී තිබෙන අතර මේ දක්වා කාලයේදී ශ්‍රී ලංකාවට ආධාර, ප්‍රදාන සහ තාක්ෂණික ආධාර වශයෙන් යෙන් බිලියන 300කට ආසන්න මුදලක් ලබා දී තිබේ. එවැනි තත්ත්වයක් තුළ ජපානය, ශ්‍රී ලංකා රජයේ මෙම තීරණය අපේක්ෂා නොකළ බව ද ජපාන ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.
නැගෙනහිර පර්යන්තයට අනෙක් පස තිබෙන කොළඹ ජාත්‍යන්තර බහාලුම් පර්යන්තය (කලම්බු ඉන්ටර්නැෂනල් කන්ටේන්ර් ටර්මිනල් – සී.අයි.සී.ටී) ක්‍රියාත්මක වන්නේ චයිනා මර්චන්ට් පෝට් හෝල්ඩින්ග්ස් සමාගම සහ ශ්‍රී ලංකා වරාය අධිකාරිය අතර ඇති හවුල් ව්‍යාපාරයක් ලෙස ය.රාජපක්ෂ ආණ්ඩුව ඉන්දියාවට සහ ජපානයට ද ඒ අයුරින් සලකනු ඇතැයි අපේක්ෂා කළ බව ද රාජ්‍ය තාන්ත්‍රික ආරංචි මාර්ග උපුටා දක්වමින් ‘ද හින්දු’ පුවත්පත වාර්තා කර ඇත.
යම් වෙනසක් කිරීමේ බලාපොරොත්තුවෙන් රාජපක්ෂ ආණ්ඩුව කොළඹ වරායේ බටහිර පර්යන්තය වසර 35ක ගිවිසුමකට ඉන්දියාවට සහ ජපානයට දීමට තීරණය කර ඇත. කෙසේ නමුත් මේ සම්බන්ධයෙන් තවමත් සාකච්ඡා කර නැතැයි වාර්තා වන අතර බටහිර පර්යන්තයට අදාළව කිසිදු යටිතල පහසුකම් විවෘත කර නොමැති අතර එය තවමත් යෝජනා මට්ටමේ පවතී. බටහිර පර්යන්තය නිසි පරිදි සංවර්ධනය කර හෝ නැගෙනහිර පර්යන්තය මෙන්ම උපායමාර්ගිකව වැදගත් නැතැයි ද රජයේ ආරංචි මාර්ග සඳහන් කරයි.
ශ්‍රී ලංකාව 2018 වසරේ දී ඉන්දියාවට බටහිර පර්යන්තය සංවර්ධනය කිරීම සම්බන්ධයෙන් වන යෝජනාව ඉදිරිපත් කළ බවත් ඉන්දියාව අදාළ යෝජනාව ප්‍රතික්ෂේප කළ බවත් ‘ද අයිලන්ඩ්’ පුවත්පතට ලිපියක් ලියමින් ඉන්දියාවේ හිටපු ශ්‍රී ලංකා මහ කොමසාරිස් ඔස්ටින් ප්‍රනාන්දු මහතා සඳහන් කර ඇත.
ඉන්දියාව සහ ජපානය ශ්‍රී ලංකා රජය ඉදිරිපත් කරන විකල්ප යෝජනාවක් සම්බන්ධයෙන් නැවත සලකා බලනු ඇත් ද සහ රාජපක්ෂ ආණ්ඩුව ඔවුන්ගේ තීරණය නැවත සලකා බලනු ඇත්ද යන්න සම්බන්ධයෙන් බලා සිටිය යුතු යැයි ද ‘ද හින්දු’ වාර්තාවේ තවදුරටත් දැක්වේ.
( ‘ද හින්දු’ ඇසුරිනි )