Colombo Today Local News

බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට සහ චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීමට ලබාදී තිබූ අවසරය අත්හිටුවයි


මෙතෙක් කලක් විදුලිය පහසුකම් නොතිබූ, බලංගොඩ කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට හා චෛත්‍යය පිවිසුම් මාර්ගයට  විදුලිය ලබාදීමට ලංකා විදුලිබල මණ්ඩලය විසින් ගෙනතිබූ පියවර, මේ වනවිට පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ මැදිහත්වීමෙන් තවකාලිකව අත්හිටුවා තිබේ.

පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව සතු මෙම ස්ථානයන්ට විදුලි ආලෝකය ලබාදෙන ලෙස කරතිබූ ඉල්ලීමකට අනුව කොන්දේසි කිහිපයක් යටතේ ඒ සදහා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ අවසරය හිමිවී තිබිණි. ඒ බව දන්වා පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) විසින් 2019.06.26 දිනැති ලිපිය මගින්  කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු වෙත ලිපියක් යොමුකර තිබේ. ඒ අනුව ක්‍රියාත්මක වූ කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු කාර්යාලය විසින් විෂයභාර අමාත්‍යවරයාගේ ‍උපදෙස් පරිදි ඊයේ (27) පෙරවරුවේ විදුලිය ලබාදීමේ කටයුතු වෙනුවෙන් එම ස්ථානයට ගියද, අදාළ කටයුත්ත සිදුකිරීමට නොහැකිවී තිබේ.

ඊට හේතුව වී ඇත්තේ, 2019.06.27 දිනැති ලිපියෙන් පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂ (රත්නපුර) විසින් කහවත්ත ප්‍රාදේශීය විදුලි ඉංජිනේරු අමතමින්, කූරගල පුරාවිද්‍යා පරිශ්‍රය හා චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීම තාවකාලිකව අවලංගු කරන බවට දන්වා තිබීමයි. මේ පිළිබදව පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් කරුණු විමසූ විට අදාළ නිලධාරියා විසින් ඒ පිළිබදව වැඩිදුර කරුණු දැක්වීම ප්‍රතික්ෂේප කර තිබේ.

අදාළ සිද්ධිය සම්බන්ධයෙන් විදුලිබල, බලශක්ති ව්‍යාපාර සංවර්ධන අමාත්‍ය රවී කරුණානායක මහතා පවසා සිටියේ, කාලාන්තරයක් තිස්සේ දැඩි අවශ්‍යතාවක්ව පැවති මෙම විදුලිය පහසුකම ලබාදෙන ලෙස තමාගෙන් ඉල්ලූ අවස්ථාවේ තමා ඒ සදහා ක්ෂණිකවම යහපත් ප්‍රතිචාර දැක්වූ බවත්, ඒ අනුව අද පෙරවරුවේ ලංකා විදුලිබල මණ්ඩලය විසින් අදාළ ස්ථානයට විදුලිය ලබාදීමට ක්‍රියාත්මකවූ නමුත්,  නොදන්නා බලවේගයක් තුළින් අදාළ කටයුතු නැවැත්වීමට ක්‍රියාකර ඇති බවත්ය.

වැඩිදුරටත් අදහස් දැක්වූ අමාත්‍යවරයා, සියලුම බලධාරීන්ගෙන් ඉල්ලා සිටියේ මෙම ස්ථානයට විදුලිය ලබාදීම සදහා හැකි ඉක්මණින් අවසර ලබාදෙන ලෙසයි. පුරාවස්තු දෙපාර්තමේන්තුවෙන් මේ සදහා අවසර ලබාදී තිබූ නමුත් අද පෙරවරුවේ මෙම වැඩකටයුතු නවත්වන ලෙස එම දෙපාර්තමේන්තුවෙන්ම  තම අමාත්‍යාංශය වෙත ලිඛිතව  දැනුම්දී ඇතැයි පැවසූ කරුණානායක මහතා,  විදුලිය ලබාදීම නවතා දමා ඇත්තේ පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවෙන් බැවින් මෙහි පූර්ණ වගකීම ඔවුන් සතු බවත් පැවසූ  අතර මෙය කිසිසේත්ම දේශපාලන කටයුත්තක් නොවන බවත් අවධාරණය කළේය.

කූරගල පුරාවිද්‍යා පරිශ්‍රයට සහ චෛත්‍යය ප්‍රවේශ මාර්ගයට විදුලිය ලබාදීමට දී තිබූ අවසරය අත්හිටුවීම සම්බන්ධයෙන් කරුණු විමසීම සදහා විදුලිබල, බලශක්ති සහ ව්‍යාපාර සංවර්ධන අමාත්‍යාංශයට පැමිණි කොටුවේ පොඩි හාමුදුරුවන් සහ ඉරාජ් වීරරත්න මහතාද මෙම සිද්ධිය සම්බන්ධයෙන් අදහස් දැක්වීය.

https://youtu.be/toQL8kPXIgY

Related posts

“මා යුධ රහස් හෙළිකරන තුට්ටු දෙකේ මිනිහෙක් නොවේ“ සෙන්පති කමල් කුහකයන්ගේ කන පැළෙන්න දෙයි !

colombotoday

දවසක් ඇතුලත ආරම්භ කරපු යුනියිටඞ් ෆාමස් ට‍්‍රස්ට් එකවුන්ට් සමාගම පොහොර ගෙන්නුවේ කොහොමද…? විජිත හේරත් අසයි

colombotoday

මිහින්තලයේ කතක් අභිරහස් ලෙස මිය යයි

colombotoday

පළමු පිම්ම හකීම්ගෙන්… හතක් සමග අලුත් ආණ්ඩුවට එක්වෙයි….

colombotoday

නසීර් අහමඩ්ට එරෙහිව ත්‍රිවිධ හමුදාව කෙළින් හිටගනී.. හමුදා කදවුරක් අහලකටවත් වද්දා ගැනීම තහනම්

colombotoday

බැදුම්කර වාර්තාව කල් යයි.. කොමිසමේ කාලය දීර්ඝ කෙරේ !

colombotoday