අකුරටියේ නන්ද නාහිමියන්ගේ සංවාදයක් අන්තර්ජාලයෙන් දුටුවා. හැමෝම මහා ගර්වයෙන් ඒක ගැන කතා කරනවා දුටු නිසා මාත් පොඩ්ඩක් එබිල බැලුව. අපේ හතේ පොත සිසුන්ට නිර්දේශ කරන උන්වහන්සේ ඒ අතරවාරයේ හොඳ විවාදාපන්න කරුණු කීපයක් ද මතුකර තිබෙනවා.
පළමුවැන්න බුදු දහම ආගමක් නෙවෙයි දර්ශනයක් කියන එක. බුදු දහම ආගමක්. මගේ වැටහීමේ තරමට ඒකෙ අමුතුවෙන් දර්ශනයක් කියලා පෙරා ගන්න දෙයක් නෑ. බුදුදහම ආගමක් ද දර්ශනයක් ද කියකියා තර්ක කරකර යෑම මානසික රෝගයක්.
දෙවැන්න බුදුගුණවලින් ග්‍රහ අපල දුරු වේවා කියන එක පට්ටපල් බේගල් යාදිනි හැටියට අර්ථ දක්වා තිබීම. ග්‍රහචාරය හා එහි බලපෑම ගැන ජ්‍යෝතිශ විවරණ ගැන පිළිගැනීම හෝ නො පිළිගැනීම ඒ ඒ පුද්ගලයාට සාපේක්ෂ යි. ඒ ශාස්ත්‍රයෙන් ප්‍රකාශ කරන්නේ අර්ධසත්‍යයක්. හැබැයි අග්ගඤ්ඤ දේශනාව අනුව ඔය නක්ෂත්‍රයන්ගේ හටගැනීම සහ මිනිසාගේ අධ්‍යාත්මය අතර සම්බන්ධයක් මම දකිනවා. අපලයක් කියන්නේ මොකක් හරි කර්ම විපාකවාරයක් නෙ. ඒක තේරුම් ගන්න ග්‍රහයා ඉහේ කඩන් වැටෙන්න ඕනෑ නෑ. එහෙව් අභාග්‍යසම්පන්න කාලෙක තමන් අරහං ආදි බුදුගුණ මෙනෙහි කරනවා කියන්නෙ බලවත් කුසලයක් සම්පාදනය කරගන්නා එක. එයින් අතීත කර්ම විපාක යටපත් කරන්ඩ පිළිවන්. ඒ නිසා හැම දේ ම පට්ටපල් බේගල් වෙන්නේ නෑ. බුදුගුණ භාවනාව වඩනවා නම් ඒක යාදින්නක් වෙන්නෙ නෑ. කොයික කළත් අවබෝධයෙන් කරන්න ඕන.
තෙවැන්න එදා වඩිගරජාට දුන්නු වෑංජන 32 දළදාවට පිදුවයි කියල නිවන් යන්න බෑ කියන කාරණය. සම්භාවිත භික්ෂුවක් හැටියට මේ වගේ මරිමෝඩ ප්‍රකාශ කරන්ඩ කලින් දක්ඛිණාවිභංග සූත්‍රයවත් අර්ථ විවරණය කරගැනීම වටිනවා. බුද්ධපූජාවට අන්තරාය කිරීමේ විපාක තිරෝකුඩ්ඩ ප්‍රේතවත්ථුවෙන්වත් කියවා ආදීනව තේරුම් ගැනීම වැදගත් වෙනවා. ශ්‍රමණප්‍රේතයෙකු නො වී ගැළවෙන්ට ඒක ම ප්‍රමාණවත් වෙයි.
මල් පූජාදි පිංකම් හරහා බිස්නස්කාරයෝ බිහිවෙලා ඉන්නවා කියල පිනට ගරහනවා. ඔය බිස්නස් කාරයො ඉන්නෙත් බහුතරයක් සංඝසමාජයෙ ම යි. නිවන් යන පිළිවෙත එකක්; ලාබ ලබන පිළිවෙත අනෙකක් කියලා වටහා දීලා බිස්නස්කාර චින්තනයෙන් පුදපූජා වත්පිළිවෙත් ගළවා ගැනීම නෙව කළ යුත්තේ. විනයකර්ම සංඝකර්ම පොහොය සීමා තියෙන්නෙ ඒව සාකච්ඡා කරගන්න. කළ යුතු දේ නො කර පිනට ගරහා කොයි වළ යන්න ද? හරියට ශ්‍රද්ධාවෙන් පින් කරන පින්වන්තයින් ගිහි පැවිදි දෙපක්ෂයේ ම ඉන්නවා. ඒ ඇත්තන්ගෙ පින්කම් දැකල අපිත් කොච්චර පින් රැස්කරගන්නව ද….. ඒ නිසා මේ වාගෙ අලජ්ජි ප්‍රකාශ නො කළ යුතු යි. අපදානපාළියවත් කියවා ගැනීම වටිනවා ආමිසය නිවනට උපනිශ්‍රය සම්පත්තියක් වූ බව වටහා ගන්නට.
පිංවාක්‍ය ‘කන්ට වාක්‍ය’ කියලා නින්දා කරනවා. ගණින්නාන්සේලා ඕවා හැදුවා වුණත් පත්තිදාන පත්තානුමෝදනා පුණ්‍යක්‍රියා නො වෙයි ද? සාසන අන්තර්ධානය පෙනි පෙනී තිබුණු ඒ මහා දුර්භාග්‍ය සමයෙ අඩු ම තරමින් පිංවාක්‍යයක්වත් ඇහෙන්න ලැබීම දුර්ලභ සම්පත්තියක් හැටියට යි මම දකින්නේ. ඒක අදට නො ගැළපේ නම් ගැළපෙන කන්ටසූත්‍රයක් නො වන පිංවාක්‍යයක් හදා ගැනීම වටිනවා. ත්‍රිහේතුක උත්කෘෂ්ට කුසලයක් රැස් කරගන්නට ආනිසංස පක්ෂය වටහා දීම මොන තරම් උත්තම ක්‍රියාවක් ද? මං එහෙම වටිනා පිංවාක්‍යය අසා තිබෙනවා.
ඔය සංවාදයෙ විහිලු සහගත ම කාරණය තමයි ඒකාසනභෝජනය ගැන විකාලභෝජනයෙන් වැළකීම ගැන කියා තිබෙන කාරණය. පෙර ආත්මභාවවල කාකයෝනියේ උපන්න භද්දාලි පරපුරක් ශාසනභාරධාරීත්වය උසුලනා හැඩයි. තථාගතයන් වහන්සේගේ පිරිනිවීමෙන් ශාස්තෘත්වය අන්තර්ධාන වුණේ යැයි අභද්‍ර වචන කී මහළු සුභද්‍ර භික්ෂුවගේ පරමාර්ථ නැවතනැවතත් කරලියට එන හැඩයි. මා පෞද්ගලික ව භික්ෂූන් වහන්සේලා රෑට වළඳනවා ද නැද්ද කියා කවදාවත් සොයන කෙනෙක් නෙවී. නමුත්, විකල් බොජුනෙන් වැළකීම ගැන, ඒකාසනභෝජනය ගැන සුගතෝවාදය, බුද්ධාඥාව බැහැර කරන්න ගිහි පැවිදි අපි කාටවත් බෑ. ඒක මොන පාපයක් ද?
මමත් ජපුරෙ පාලි ශිෂ්‍යයෙක්. විද්‍යොදය උරුමය මගෙත් ජීවිතයේ කොනක හෝ ගෑවිලා තියෙනවා. මා දන්නා මහ ලොකු මඟුලක් නැතත්, ඒ නිසා ම දෝ මේ වචන ටික ලියැවුණා. සමා අවසර!
පංචන ජයසිංහ